ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල එල්.පී 92 (ලංකා අයි.ඕ.සී. 92) පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 142ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් බවත් එම සමාගම සඳහන් කරයි.
ලංකා අයි.ඕ.සී. ඩීසල් ලීටරයක මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමාන බව එම සමාගම කියයි.
එම සමාගම නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘‘2020 අප්‍රේල් 06 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලද පෙට්‍රල් (එල්.පී.92) ලීටරයක මිල රුපියල් 5කින් අඩුකිරීම යළි සංශෝධනය කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කර ඇත. මෙම සංශෝධනයත් සමඟ දැන් ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල එල්.පී.92 ප්‍රෙට්‍රල් ලීටරයක මිලරුපියල් 142ක් වන අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල එය ලීටරයටරුපියල් 137කි. කෙසේවුවද, ලංකා අයි.ඕ.සී. ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමානය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා IOC ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය: “කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ උදාවූ අභියෝත්මක කාලවකවානුව තුළදී ශ්‍රී ලාංකේය ජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙරට රජය විසින් දරන ලද උත්සාහයන් අපි ඉතාම අගය කොට සලකනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සාර්ථක මඟපෙන්වීම හා දූරදර්ශී නායකත්වය යටතේ සමස්ත සෞඛ්‍ය සේවක පිරිස්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඇතුළු සියලු දෙනාගේ සාමූහික කාර්යභාරයන් මඟින් මේ වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකිවී තිබෙනවා.“
වැඩිදූරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය: “උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුකොටගෙන බොහෝ ආර්ථික අභියෝග එල්ලවී ඇති අතර,ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කිරීමට රජය හැකි සෑම අයුරින්ම කටයුතු කරමින් සිටිනවා. ආර්ථිකය යළි ගොඩනැංවීමට සැමවිටම අවංක ලෙසම සහයෝගය සහ කැපවීමෙන් යුතු දායකත්වය ලබාදෙන ලංකා අයි.ඕ.සී. සමාගම අවහිරතාවකින් තොරව ඉන්ධන සැපයුම් පවත්වා ගනිමින් දැයට සේවය සැලසීමට කටයුතු කරනවා.
ප්‍රසම්පාදන පිරිවැය ඉහළ අගයක තිබියදී වුණත්, 2020 අප්‍රේල් 06 වැනිදා සිට ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකරනු ලැබුවේ ඒ නිසායි. එසේ කරනු ලැබුවේ අපගේ මිල ගණන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මිල ගණන් සමඟ සමපාත කිරීමටයි. ඩීසල් මිල 2019 මැයි 14 වැනිදා සිට වසරකට වැඩි කාලයක් පුරා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මිල ගණන් හා සමපාත වන පරිදි පවත්වාගනු ලැබ තිබෙනවා.”
2020 මාර්තු සහ අප්‍රේල් කාලය අතරතුරදී ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් විශාල වශයෙන් පහත බැසීම නිසා ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය සඳහා අදාළ වන අධිභාර ගාස්තු ඇතුළු රේගු තීරුබදු අගයන් 2020 මාර්තු 14 වැනිදා ඉහළ නංවන ලද අතර, 2020 අප්‍රේල් 23 වැනිදා ඒවා තවදුරටත් සංශෝධනය කරනු ලැබිණි. කෙසේවුවද,එයින් පසු විදෙස් මිල ගණන් සියයට 100 කටත් අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
අද වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 31.5ක් වන අතර, 2020 අප්‍රේල් 22 වැනිදා එය ඩොලර් 14.6ක් පමණක් විය. ඇඳිරිනීතිය හා සීමාකාරී තත්ත්වයන් ඉවත්කිරීමෙන් පසු ගෝලීය ආර්ථික යළි ගොඩනැගීමත් සමඟ මෙම මිල ගණන් කාලයත් සමඟ කෙමෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
තවදුරටත් සිය අදහස් පළකරමින් ප්‍රකාශකයා මෙසේද පැවසීය: “දැනට පවතින ජාත්‍යන්තර මිල ගණන් අනුව පෙට්‍රල් වගේම ඩීසල් සම්බන්ධයෙනුත් අප විශාල වශයෙන් පාඩු දරාගනිමින් සිටින නමුත්,කිසියම් සීමිත ප්‍රමාණයකට හෝ එම පාඩු අවම කර ගැනීම සඳහා එල්.පී. 92 පෙට්‍රල් ලීටරයකට ලබාදෙන රුපියල් 5ක මිල අඩුකිරීම ආපසු වෙනස් කිරීමට අපට සිදුව ඇත. 2019 - 20 මූල්‍ය වර්ෂයේ ජනවාරි - මාර්තු කාර්තුව තුළදී ලංකා අයි.ඕ.සී. සමාගම රු. මිලියන 346ක පාඩුවක් ලබා තිබෙනවා. ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් දැනට පවතින තීරුබදු ව්‍යුහය යළි සංශෝධනය කෙරෙනු ඇතැයි අපි ඉතා සුබවාදීව සිතනවා.“
ඔහු අවසාන වශයෙන් මෙසේ අවධාරණය කළේය: “පාරිභෝගිකයින්ට හැකි හොඳම මිල පිරිනමන්නටත්,යළි ගොඩනැංවීමේ ක්‍රියාවලියට අපගේ දායකත්වය උපරිම ලෙස ලබාදීමටත් ලංකා අයි.ඕ.සී. සමාගමේ අපි නිබඳව කැපවෙනවා.”
055
COMMENTS
එයාලා වැඩි නම් අපි නොගහ ඉමු. මම නම් යන්නෙම නෑ එදා ඉඳලම...
අයි.ඕ.සී. ටොක්කක් ඇනලා, ඔළුව අතගානව වගේ මොකක්ද කතන්දරයක් කියන්න උත්සාහ කරලා තියෙනවා. ආණ්ඩුවට ජනතාව ගැන සැබෑ ලෙසම කටයුතු කරන්නේ නම්, මෙම සමාගමේ බටර් ගෑමට වහල් නොවී, අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක මිල රු. 7/- කින් (එවිට රු. 130/-) සහ ඩීසල් මිලද යම් ප්‍රමාණයකින් (රු. 5-10 වැනි ප්‍රමාණයක් වත්) අඩු කර අයි.ඕ.සී. වෙත යන පාරිභෝගික පිරිස අඩු කිරීමට කටයුතු කළ යුතුය. මේ දිනවල බොරතෙල් මිල අඩු බැවින් එය කිරීමට ප්‍රායෝගිකව බාධාවක් නොවන අතර, එමඟින් අඩුවන ආදායම, ඉන්ධන අලෙවිය වැඩිවීම නිසා (අයි.ඕ.සී. වෙත යන පිරිස අඩුවීම මඟින්) මහ හැරී යයි.
එයාලා පාඩු ලබනවලු. ඉතින් පාඩු නැතුව දාලා යන එකනේ තියෙන්නේ.
ඉන්දියාවේ මෝදිට බය වෙලා මොකුත් කියන්නේ නැහැ.. රටට පේන්න කියන්නේ කාටත් බය නැහැ කියලා.. නමුත් ලෙඩ වැටෙනකොට මේක නැහැ. අනේ මෙහෙම නායකයෝ...
දැන් ඉන්නෙ සිරිසේන මහත්තයාද තවම... මේ මම නිකමට ඇහුවේ..
මහ ලොකුවට කියන්නේ ජාත්‍යන්තරේ එක්ක හැප්පෙනවා කියලා... පොඩි විදේශීය සමාගම් පාලනය කරන්න බැහැ. සිරිසේන මහතා නම් හොඳයි වගේ.. අපරාදෙ මගේ ඡන්දෙ...
යහපාලන හැත්ත අපේ රටට කරපු කොඩිවින මේවා. අයින් කරන එක ඒ තරම් ලේසිපහසු වැඩක් නොවෙයි.
අපේ රටේ මිනිස්සුන්ට ජාතික හැඟීමක් නැහැ. ලංකාවේ මිනිස්සු ඒකෙන් තෙල්ගන්නේ නැතුව හිටියා නම් මෙලහකටත් ඔවුන් ලංකාවෙන් පිටවෙලා. මේක හොඳ අවස්ථාව... ඒ ආයතනයෙන් ඩීසල්, පැට්‍රල් නොගෙන සිටියා නම් හරි. මම නම් හුළං ටිකවත් ගන්න ගිහින් නෑ අද වෙනකම්...