සිරියාවේ පවතින අර්බුදකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනාන්, බීජීං අගනුවරට පැමිණීමට නියමිත බව චීන රජය පවසයි. සිරියා අර්බුදයට මැදහත්ව සිටින එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතවරයා වන්නේ කොෆී අනන්ය. ඔහු සිරියා අර්බුදය විසඳීමට සාම සැලැස්මක් ද සකස් කර ඇත. අනන් ඉදිරිපත් කළ එම සාම සැලැස්මට අනුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියා රජයෙන් ඉල්ලීමක් ද කර ඇත. සිරියාවේ පවතින අර්බුදකාරී තත්ත්වය නතර කිරීමට බාධාවක් ව ඇත්තේ චීනය සහ රුසියාව යැයි බටහිර රටවල් චෝදනා කරයි. මීට පෙර අවස්ථාවක, සිරියා ජනපති බෂීර් අසාද් බලයෙන් ඉවත් කිරීමේ අරමුණින් සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ඒමට සැරසුණු යෝජනාවලියට රුසියාව සහ චීනය නිෂේධ බලය භාවිත කරමින් විරෝධය පළ කළේය.