පසුගිය සතියේ සෞදි අරාබියේ මක්කම නුවර ප්‍රධාන දේවස්ථානයේ දොඹකරයක්  පෙරළීමෙන් ඇති වූ අනතුරෙන් ජිවිත අහිමි වූවන් වෙනුවෙන් සෞදි රජයෙන් වන්දි මුදලක් ගෙවීමට තීරණය කර ඇති බව සෞදි පුවත් පත් සදහන් කරයි. මියගිය පුද්ගලයකු වෙනුවෙන් සෞදි රියාල් මිලියනය (රුපියල් තුන් කොටි හැට ලක්ෂය) බැගින්ද සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ අයකු සඳහා රියාල් මිලියනය බැගින්ද ආබාධිත තත්වයට පත්වූ අයෙකු සදහා රියාල් පන් ලක්ෂය බැගින්ද ලබාදීමට සලමාන් රජතුමා නියෝග කර ඇති බවද සඳහන් වේ. මෙම අනතුරෙන් ආබාධිත තත්වයට පත්වීමෙන් මක්කම වන්දනා කිරීමට සහ ආගමික වතාවත් සම්පුර්ණ කිරීමට නොහැකිවූ සියලුම බැතිමතුන්ට එළබෙන වසරේදී සෞදි රජතුමා වන සලමාන් රජු සමඟ මක්කම වන්දනාමාන කිරීමටද අවස්ථාව සලසා දීමට ද සෞදි රජය තීරණය කර ඇති බවද පුවත්පත් සඳහන් කරයි.

දැනට සෞදි රෝහල් වල ප්‍රතිකාර ලබන අයගේ පවුල් වල සාමාජිකයින් හට  සෞදියට පැමිණීමට සංචාරක විසා ලබාදීමටද කටයුතු කරන බවත් සදහන් කරයි. මක්කම දේවස්ථානයේ අනතුරෙන් 111 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 238 දෙනෙක් තුවාල ලදහ.

මෙම අනතුර පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිකරන සෞදි පුවත්පත් සඳහන් කරනුයේ මක්කම ප්‍රධාන දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු දීර්ග කාලයක් තිස්සේ සිදුකරනු ලබන මෙම දොඹකරය හිමි සෞදි  බින් ලාඩින් ගෘප් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට සෞදි අරාබියෙන් පිටවීම තහනම් කර ඇත්තේ අනතුර පිළිබඳව පරීක්ෂණ කටයුතු ඉදිරියටත් කරගෙන යාම සදහා බවයි . කෙසේ වුවද මෙන අනතුර පසුගිය දිනවල මක්කම ප්‍රදේශයට හමා ආ දැඩි සුළඟ නිසා සිදුවූවක් බවට අනුමාන කරයි. අනතුරට බඳුන්වූ විශාල දොඹකරය නිෂ්පාදනය කරන ලද ජර්මාන් සමාගම පවසා ඇත්තේ මෙවැනි විශාල දොඹකර තිහක් පමණ ලෝකය පුරා විසිරී ඇති අතර මෙතෙක් කිසිදු අනතුරක් වාර්තා වී නොමැති බවයි.