නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල උත්සවයට පැමිණි, ඇමෙරිනා ජනපති බැරැක් ඔබාමා වැනි ලෝක නායකයන් අසලට වී, ඔවුන්ගේ ශෝක ප්‍රකාශ දේශන ගොළු බිහිරි ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් කළ හස්ත සංඥා පරිවර්තකයා මිනීමැරුම් චෝදනා ලැබූවකු බව  අනාවරණය විය.

තැම්සැන්කා ජැන්ටිජේ නැමැති එම පරිවර්තකයා බොරුකාරයකු බවට චෝදනා එල්ල කර ඇත්තේ අප්‍රිකා  ගොළු බිහිරි පදනමෙනි.

එම පදනම කියා සිටියේ තැම්සැන්කා ජැන්ටිජේ භාවිතා කළ හස්ත සංඥා සාම්ප්‍රදායික හස්ත සංඥා නොවන බවය. ඒ ගැන වහාම පරීක්ෂණයක් පවත් වන ලෙස ද එම පදනම දකුණු අප්‍රිකා රජයෙන් ඉල්ලීමක් කළේය.

එම චෝදනාවලට පිළිතුරු දෙමින්, කරුණු පැහැදිලි කළ තැම්සැන්කා ජැන්ටිජේ ඉකුත් සිකුරාදා කියා සිටියේ, තමා බොරුකාරයකු නොවන බවත් ශෝක ප්‍රකාශ දේශන පැවැත්වෙද්දී තමාට දේව දූතයන් පෙනී සිහි විකල් වූ බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ දකුණු අප්‍රිකා  කැබිනට් ඇමැතී බොගොපානේ සූලා පවසා ඇත්තේ සිදුවූ දේ ගැන තමා සමාව ගන්නා බවත්, අවමංගල කටයුතු කඩිනමින් සංවිධානය කළ නිසා අතපසු වීමක් සිදුවූ බවත්ය.

කෙසේ නමුත් ජනපති ඔබාමා වැනි ලෝක නායකයකු අසලට zඋම්මත්තකයකුZ යැවීම ගැන අවමංගල උත්සවයේ සංවිධායක මණ්ඩලයට දිගින් දිගටම දොස් අහන්න සිදුවී ඇත.

තැම්සැන්කා ජැන්ටිජේපරිවර්තන කටයුත්තට සම්බන්ධ කර ඇත්තේ ප්‍රජා ආයතනයකිනි. එම ආයතනයේ නිලධාරීන් ද මේ වනවිට රටින් පිටවී ගොස් ඇතැයි පැවැසෙයි.

(ඩේලිමේල් ඇසුරිනි)