“දෑස දැවෙන” විස දුම මධ්‍යයේ ඉන්දියාවේ අගනුවර වෙසෙන මිලියන ගණනාවක් ජනතාව අද (4) සිය සතියේ කටයුතු ආරම්භ කළහ.
ජනතාව සිය දෛනික කටයුතු ආරම්භ කළ ද නවදිල්ලියේ පාසල් වසා දමා ඇති අතර, මාර්ග හිස්ව පැවැතුණි. එමෙන්ම නවදිල්ලියේ ඉදි කිරීම් කටයුතු ද නවතා දමා ඇත.
සෑම ශීත ඍතුවකදීම ඉන්දියාවේ අගනුවර විස දුමකින් වැසී යයි. වාහනවලින් නිකුත් වන විස දුමාරය, කර්මාන්තශාලාවලින් පිටවන දුම් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අසල්වැසි ප්‍රාන්තවල කරන ගිනිතැබීම්වලින් නිකුත් වන දුම යනාදිය නිසා නවදිල්ලියේ වායූ දූෂණය ඉහළ ගොස් තිබේ.
කෙසේ නමුත් මේ වනවිට නවදිල්ලියේ තත්ත්වය බරපතළ අතට හැරී තිබේ. වායූ දූෂණය “දරාගත නොහැකි මට්ටමකට” පැමිණ ඇතැයි නවදිල්ලියේ මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් පැවැසීය. වායූ දූෂණය පාලනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බව පැවැසූ අර්වින්ද් කෙජ්රිවාල් එම පියවර නිසා රටේ වායූ දූෂණය අඩුවන එකම තැන දිල්ලිය පමණක් යැයි ද කීවේය.
“හැමතැනම විස දුමාරය. පොඩි දරුවෝ, වැඩිහිටියන්, තරුණයන් යනාදී හැමෝටම හුස්ම ගන්න අමාරුයි” යැයි ඉරිදා දිනයේදී සිය ට්විටර් සමාජ ජාල ගිණුම විඩියෝ පටයක් නිකුත් කරමින් අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කළේය.
“ඇස් දනවා. දූෂණය එතරම්ම නරක අතට හැරිලා” යැයි ඔහු කීවේය.
ඔත්තේ සහ ඉරට්ටේ වාහන ලියාපදිංචි ක්‍රමවේදය අනුව මාර්ගවලින් මෝටර් රථ ඉවත් කිරීමට ද කෙජ්රිවාල්ගේ දිල්ලි ආණ්ඩුව පියවර ගෙන තිබේ. නවදිල්ලියේ පාසල් වසා දමා ඇති අතර පාසල් දරුවන්ට මුව ආවරණ ලබාදෙන්නැයි ද අර්වින්ද් කෙජ්රිවාල් බලධාරීන්ට උපදෙස් දී තිබිණි.
ඒ.එෆ්.පී
055


COMMENTS
අපේ රටේ කැලෑ කපන දේශපාලුවනේ, කැලෑ පාලුවනේ.....බලන්න ඔබලා නිසා අද හෝ හෙට අපිටත් වෙන්න යනදේ. රුපියල් කිහිපයකට වටිනා ගස් බිම හෙළන මිනිමරුවනේ. මොවුන් අපේ දේශයේ මාරයෝයි.