රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ රෝගය එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත බැස ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන වැඩසටහන කියයි.

තත්ත්වය මෙලෙසම පවතින්නේ නම් ඉදිරි වසර 15 දී ඒඩ්ස් මෙලොවින් තුරන් කිරීමට හැකිවනු ඇතැයිද පැවසේ.

පසුගිය වසරේ ලොව එච්.අයි.වී.ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 15 ක් වුනි.එය ඊට පෙර 2012 වසරේ වාර්තා වූ ලක්ෂ 17 වඩා ලක්ෂ 2 ක් පහළ යාමකි.

මෙය එදා මෙදා තුර ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පහළ යාමක් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම අගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අලූත එච්.අයි.වී.ඒඩ්ස් ආසාදනය වන්නන්ගේ සංඛ්‍යාවද සැළකිය යුතු අන්දමින් පහළ ගොස් තිබෙන බව සදහන්ය.

කෙසේනමුත් ලොව එච්.අයි.වී ඒඩ්ස් ආසාදනය වී ඇති බවට වාර්තා වන පුද්ගලයින් ලක්ෂ 350 ක් පමණ වන දෙනාගෙන් හරි අඩක්ම තමන්ට ඒඩ්ස් වැළදී තිඛෙන්නේයැයි නොදැන සිටින වාතාවරණයක් පැවැතෙන හෙයින් ඒඩ්ස් මෙලොවින් ඉක්මනින්ම තුරන් වනු ඇතැයි සිතා නිකම් සිටීම නොකළ යුතු වන බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් පිළිඹද වැඩසටහනේ ප්‍රධානී මයිකල් සිඩිබේ පවසයි.

‘‘ඒඩ්ස් මර්දනය කරන්න අපට හොද අවස්ථාවක් තිඛෙනවා.නමුත් අපි දැන් දැන්ම කටයුතු කළ යුතුයි.අපි එළඹෙන වසර 5 ක කාලයේදී කටයුතු කරන හැටියට තමයි තවත් වසර 15 කින් පසු ලැඛෙන ප්‍රතිඵල මොන වගේ ඒවාද කියලා තීරණය වෙන්නේ‘‘ ඔහු කියයි.

ඒඩ්ස් ආසාදිතයින් වැඩි වශයෙන් සිටින්නේයැයි රටවල් 15 ක් හදුනාගෙන තිඛෙන අතර ඒවායින් 9 ක්ම එනම් කැමරූන්, කෙන්යාව, මොසැම්බික්, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, උගන්ඩාව, සැම්බියාව, හා සිම්බාවේ යන රටවල් පිහිටා තිඛෙන්නේ අප්‍රිකා මහාද්වීපයේය.

බ්‍රසීලය,චීනය,ඉන්දියාව,ඉන්දුනීසියාව,රුසියාව, හා ඇමරිකාව ඉතිරි රටවල් වේ.

සමලිංගික සබඳතා ඉහළ යෑම, අනාරක්ෂිත ලිංගික සබඳතා, මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කර ගැනීමට භාවිතා කරන ඉඳිකටු ආදිය මෙම රටවල ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු ලෙස හදුනාගෙන තිබේ.

ඇතැම් රටවල සංස්කෘතිකමය හා වෙනත් සීමා මායිම් නිසා ඒඩ්ස් වැළඳී ඇතැයි දැන සිටියත් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලයින් මැළි වන තත්ත්වයක්ද හඳුනාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

2015 වන විට සංවිධානයේ අපේක්ෂිත ඉලක්ක කරා යෑම ආරම්භ කර ලොවින් ඒඩ්ස් තුරන් කරලීමට කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවයි.