ඊශ්‍රායෙල ගුවන් ප්‍රහාරයකට හසුව මියගිය ගැබිණියකගේ කුසයේ සිටි දරුවාට මෙලොව එළිය දැකීමේ වරම් ලබාදීමට පලස්තීන වෛද්‍යවරු සමත්වූහ.

ගුවන්ප්‍රහාරයට ලක්ව තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි මේ ගැබිණි මාතාව වහ වහා රෝහල කරා ගෙන ඒමට සහන සේවා අංශ කටයුතු කර තිබුණි.

වෛද්‍යවරු දැඩි උත්සාහයක් දැරුවද ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකිවූයේ නැත.

නමුත් ඇයගේ කුසයේ සිටි දරුවා නිරුපද්‍රිතව සිටින්නේයැයි හදුනාගත් ඔවුහු සිසේරියන් සැත්කමක් ආධාරයෙන් දරුවා පිටතට ගත්හ.

ඇය බිළිදියකි.

සැත්කමට සහභාගීවූ සියලූදෙනා ඇයගේ උපත් ප්‍රාතිහාර්යයක් යැයි පැවසූහ.

ඇය දැනට නොමේරූ ළදරු ඒකකයේ පසුවන්නීය.ඇයගේ තත්ත්වය සතුටුදායක බව වෛද්‍යවරු කියති.

දින 21 ක් පුරා දිවෙන ඊශ්‍රායෙලය හා ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් අතර ගැටුමින් මේ වන විට පලස්තීන ජාතිකයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සඳහන්ය.ඊශ්‍රායෙලයට හමුදා භටයින් 43 දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු අහිමිව ඇත.

ලොව පුරා මුස්ලිම් ජාතිකයින් ඉතා උත්කර්ෂවත් ලෙස සමරන රාමසාන් උත්සවය සැමරීමට පවා අවස්ථාවක් මෙවර ගාසා තීරයේ වැසියන්ට නැත.නිවෙස් වලට කොටුවී සිටින ඔවුහු කොයි මොහොතේ ගුවන් ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි බියෙන් සිටිති.

තම ප්‍රහාර සාධාරණීකරණය කරන ඊශ්‍රායෙලය පවසන්නේ හමාස් සංවිධානය ඔවුන්ගේ අවි ආයුධ සගවා ඇත්තේ සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වල බවයි.එනිසා අකමැත්තෙන් හෝ තමන්ට ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවත් නොඑසේනම් හමාස් සංවිධානය සිවිල් වැසියන් පළිහක් ලෙස යොදාගෙන එල්ල කරන ප්‍රහාර වලින් හානි සිදුවන්නේ තමන්ට බවත් ඔවුන් කියයි.

ඊශ්‍රායෙලය මෙසේ නිදහසට ඉදිරිපත් කරන කරුණු පිළිගන්නට දැන් බොහෝ දෙනා සූදානම් නැත.ඒ එතරම්ම දරුණු හානියක් දැනටමත් සිදුව ඇති හෙයිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය,ඇමරිකාව ඇතුලූ ලෝක බලවතුන් ස්ථීර සටන් විරාමයකට පැමිණෙන්නයැයි ඊශ්‍රායෙලයට හා හමාස් සංවිධානයට බල කරමින් සිටිති.නමුත් දෙපාර්ශවය තම තමන්ගේ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටිනවා විනා දුවෙමින් පවතින හානිය සළකා සටන් විරාමයකට පැමිණීනෙනු ඇති බවත් පෙනෙන්නට නැත.