මැලේසියාවේ ජොහා පළාතේ පාසර් ගුඩෑන්ග්හි කර්මාන්ත පුරයක් ආශ්‍රිතව සිදුවූ වායු දූෂණයක් හේතුවෙන් පාසල් 400ක් පමණ වසා දැමීමට සිදුවී ඇත.

ශ්වසන අපහසුතා හා වමනය යන රෝග ලක්ෂණ වලින් පෙළුණු සිසුන් 75දෙනකු පමණ රෝහල්ගත කිරීමෙන් පසුව මෙම පියවර ගැනීමට සිදුවූ බව බලධාරීහු පවසති.

ප්‍රාථමික හා ද්විතියික පාසල් 100ක් පමණ ද පෞද්ගලික පෙර පාසල් 300 ක් පමණ ද මෙසේ වසා දැමීමට කටයුතු කර ඇති අතර සතියක පමණ කාලයක් යන තුරු නැවත පාසල් විවෘත කිරීමට නොහැකිවනු ඇතැයි සඳහන් වේ.

පසුගිය මාර්තු මාසයේ ද මෙලෙසම දරුවන් පිරිසක් රෝගීවීම හේතුවෙන් ආසන්න නගරයක පාසල් 111ක් වසා දැමුණු අතර කිම්කිම් ගංගාව රසායනික ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වීම නිසා එම තත්ත්වය ඇතිවූ බවට හෙළිවිය.

කෙසේ වුවද එය මෙම සිද්ධිය හා සම්බන්ධයක් නොමැති බව බලධාරීහු පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ වර්තමාන සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)