මියන්මාරයේ පසුගිය සතිය පුරා ඇවිලී ගිය වාර්ගික ගැටුම් නිසා අවතැන් වූ සංඛ්‍යාව 22000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. මියගිය පිරිස 84 ක් බව වාර්තා වේ.විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 5000 කට ආසන්නය. අවතැන් වූවන් සරණ පතා මියන්මාරයේ බටහිර වෙරළ තීරයේ කදවුරු වල රැඳී සිටිති .ඒවා මේ වන විට අවතැන් වූවන්ගෙන් පිරී ඇති බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි. තවත් බොහෝ දෙනා රැකවරණය පතා කදුකර ප‍්‍රදේශවල සැඟවී සිටින බව සදහන්ය. අවතැන් වූවන්ට මියන්මාර රජය,එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහන සළසමින් සිටී. ගැටුම් ඇතිවී තිබෙන්නේ බෞද්ධ රැක්නිවරුන් හා මුස්ලිම් ජාතිකයන් වන රොහින්ග්යාවරුන් අතරය.ගැටුමට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැත. ඉරිදා  වන විට දෙපාරශවය අතර ගැටුම් අවසන්ව ඇති සෙයක් පෙනෙන්නට තිබිණි. රොහින්ග්යාවරුන් මියන්මාරයේ ස්ථිර පුරවැසියන් නොවේ. ඔවුන් බංගලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක‍්‍රමනිකයන් ලෙස මියන්මාරය සළකනු ලබයි. අනෙක් අතට බංගලාදේශයද ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස නොසළකයි. ඒ ඔවුන් බංගලාදේශය අතහැර පලා ගිය පිරිසක් බව කියමිනි. මෙනිසා රොහින්ග්යාවරුන්ට බංගලිදේශයේද දොරටු වැසී ඇත. රොහින්ග්යාවරුන් හා මියන්මාරයේ නිත්‍ය පුරවැසියන් වන රැක්නිවරුන් අතර ගැටුම් බොහෝ අවස්ථාවන්හි ඇතිවන්නේ ඉඩම් බෙදා ගැනීමට යාමේදීය. මේ ගැටුම් දුරදිග යාමට ඉඩ නොදී විසදා ගැනීමට මියන්මාර රජය කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියා සිටී.