සෞදි අරාබියේ මක්කම නුවර හජ්ජි වන්දනා කිරීමට පැමිණ තෙරපීමෙන් මියගිය බැතිමතුන්ගේ ගණන මේ වන විට 717 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 850 ඉක්මවා ඇති බවද පැවසේ.කෙසේවුවද මියගිය සහ තුවාල ලැබූවන්ගේ ගණන තවත් ඉහළ යා හැකි බව බලධරයින් පවසයි.සෞදි ආරක්ෂක අංශ සහ ගැලවීමේ හමුදා තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබාදෙමින් සිටී.

මක්කම සිට කිලෝමීටර 5 ක් දුරින් පිහිටි අංක 204 දරන වීදියේ සහ ඒ ආසන්නයේ ඇති එක් ලක්ෂ හැටදහසකට අධික කූඩාරම් සහ ලැගුම්හල්හි නැවතී සිටින බැතිමතුන්ගේ තෙරපීමෙන් මෙම මරණ හා තුවාල සිදුවීම් සිදුව ඇත.

රටවල් 168 ක පමණ ලක්ෂ 20 කට අධික ඉස්ලාම් බැතිමතුන් ගුවනින්,ගොඩබිමෙන් හා මුහුදු මාර්ග වලින් හජ්ජි උත්සවය සැමරීමට සෞදි අරාබියේ මක්කම සහ මීනා වෙත පැමිණෙමින් සිටී.හජ්ජි වන්දනා කරුවන් රැගෙන පැමිණෙන ගුවන්යානා 800 ක් පමණ දිනකදී ජෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන බවද සඳහන්ය.

මියගිය සහ තුවාළ ලැබූවන් අතර ශ්‍රීලාංකිකයින් සිටීද යන්න පිළිඹඳව සොයා බැලීමට ජෙඩාහි ශ්‍රීලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද හජ්ජි නිවාඩු සමය නිසා කාර්යාලය වසා තිබුණු හෙයින් කිසිවෙකුත් දුරකතනය හා සම්බන්ධ කරගත නොහැකි විය.කෙසේවුවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රියාද් තානාපති කාර්යාලයේ සිරිපාල ගම්මන්පිල මහතා පැවසූයේ ඉදිරි දින කිහිපයේදී මේ පිළිඹඳ තොරතුරු ලබාගැනීමට කටයුතු කරන බවයි.

SAUDI-NEW-0925-01 SAUDI---NEW-0925-02