මොරොක්කෝව, එරට දිගම අධිවේගී මාර්ගය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර ඇත. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාට ගෞරව දැක්වීමක් වශයෙනි.

‘ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මාර්ගය’ යන නමින් නම් කළ මෙම අධිවේගී මාර්ගය කිලෝ මීටර් 1,055 ක් දිගින් යුක්තය. මෙම මාර්ගය මීට පෙර ‘ටින්සිට් ඩක්ලා’ යනුවෙන් හැඳින්වුණු බව මාධ්‍ය පවසයි.

අධිවේගී මාර්ගය ට්‍රම්ප් නමින් නම් කෙරුණේ, බටහිර සහරාව අයිති මොරොක්කෝවට යැයි ට්‍රම්ප් කළ ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමිනි.
බටහිර සහරාව යනු උතුරු අප්‍රිකාවේ අත්ලාන්තික් මුහුදු තීරයට මායිම්ව පිහිටි, ඛනිජ සම්පතින් සහ මත්ස්‍ය සම්පතින් පිරුණු උපායමාර්ගිකව ඉතා වැදගත් භූමි ප්‍රදේශයකි. 1975 තෙක් ස්පාඤ්ඤයේ යටත් විජිතයක්ව ලෙස මෙම භූමිය පැවැතිණි.

ස්පාඤ්ඤය ඉවත් වීමෙන් පසු එය අයිති තමන්ට බව මොරොක්කෝව පවසයි. මොරොක්කෝවේ තර්කය වන්නේ යටත් විජිත යුගයට පෙර සිටම මෙම කලාපයේ ජීවත් වූ ගෝත්‍රිකයන් මොරොක්කෝ සුල්තාන්වරුන්ට පක්ෂපාතීත්වය දක්වා තිබූ බැවින්, බටහිර සහරාව මොරොක්කෝවේ ඓතිහාසික හා නොබෙදිය හැකි කොටසක් බවය.

2020 වසරේ දී බටහිර සහරාව අයිති මොරොක්කෝවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. අධිවේගී මාර්ගය ට්‍රම්ප් යනුවෙන් නම් කිරීමට මොරොක්කෝව තීරණය කළේ ට්‍රම්ප් කළ මෙම ප්‍රකාශයට කෘතඥතාව පළ කරමිණි.

මොරොක්කෝවේ 6 වැනි මොහොමද් රජු, මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.