හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් තමන් සාකච්ඡා පවත්වන්නේ ඇමෙරිකාව සමග නොව, ඕමානය සමග යැයි ඉරානය පවසයි. 

ඉරානය, වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පලක් නොමැති බවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත්තේ ඉරානයයි. ඒ, ඇමෙරිකන් ප්‍රහාරවලට විරෝධය පළ කරමිණි. හෝමූස් සමුද්‍ර සන්ධිය වැටී ඇත්තේ ඕමානය සහ ඉරානය මැදිනි. නැව් ගමන් කිරීමට හැකි නැව් මාර්ග ඇත්තේ ඉරානය දෙසට වන්නටය. 

ඉරානය විල්පවීය හමුදාව, නාවික බලඇණි යොදවමින් සහ බෝම්බ අතුරමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇතැයි පැවැසෙන්නේ ඒ නිසාය.

හෝමූස් හරහා වෙළෙඳ නැව්වලට ගමන් කිරීමට නම්, ඒ වෙනුවෙන් මුදලක් අය කර ගන්නා බව ඉරාන රජය පවසා ඇති අතර, ඉරාන පාරිලිමේන්තුවේ ද අනුමැතිය ඊට හිමිවී අවසන්ය.

ඉරානය මේ සම්බන්ධයෙන් ඕමානය සමග සාකච්ඡා පවත්වා ඇති අතර, නාවික ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් මුදල් අය කර ගැනීමට තමන් ඕමානය ද හවුල් කර ගන්නා බව ඉරානය පවසා ඇත.

ඕමානය සමග කිසිදු ගිවිසුමක් ඇති කර ගැනීමට ඉරානයට ඉඩ නොදෙන බව ට්‍රම්ප් තර්ජනය කර ඇති අතර, ඉරානය සමග ගිවිසුමකට යෑමෙන් වළකින්නැයි ඕමානයට තරයේ අවවාද කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ තම නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතරේ යළි සාකච්ඡා ආරම්භ කළ බවත්, එම සාකච්ඡාවලට ඉඩ සලසා දීමට ඉරානයට ප්‍රහාර එල්ල කිරීම වහා නැවැත්වූ බවත්ය. ඊශ්‍රායලය ද ඉරානයට ප්‍රහාර එල්ල කිරීමක් නොකරන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවැසීය.