හරිත විප්ලවයකට යමින් සිටින ගමනට තවත් අලූත් දෙයක් එක් කරමින් බඳෙහි ආලේප කර ඇති තීන්ත වලින් පවා බලය සැපයෙන අපූරු මෝටර් රථයක් බෙන්ස් සමාගම පසුගියදා එළිදැක්වූවේය.

මෙම රථයට ආලේප කර ඇති තීන්ත හිරු එළියෙන් ශක්තිය උරා ගන්නේයැයි පැවසෙන අතර එම ශක්තිය විද්‍යුතය බවට හරවා රථයේ එන්ජිම පණගැන්වීමට යොදාගන්නා බව සඳහන්ය.සාමාන්‍ය සූර්ය පැනලයකට එහා ගිය තාක්ෂණයක් මෙහි භාවිතා කෙරී ඇති බව නිර්මාපකයෝ කියති.

එතැනින්ද නොනැවතී මෝටර් රථය ධාවනය වෙද්දී බඳෙහි වැදී ඇතිල්ලීගෙන යන සුළං දහරා වලින් නිපදවෙන ස්ථිති විද්‍යුතය පවා එක් රැස්කර ගත හැකි සේ මෙම රථය නිර්මානය කර ඇත.

රථයේ පසුපස රෝද විදුලි මෝටරයකිනුත් ඉදිරිපස රෝද ජලකර වායුවෙන් දිවෙන එන්ජිමකිනුත් ජවගැන්වේ.

රථයේ අභ්‍යන්තරය විද්‍යා ප‍්‍රබන්ධ කතාවක එන යානයක් සිහිකැදවන අතර වාතය තවත් පිරිසිදු කිරීමට යැයි කියා අමතර ඔක්සිජන් සැපයුමක්ද එහි ඇත.

මෝටර් රථය පිළිඹද වැඩිදුර විස්තර තවමත් හෙළිවී නොමැති අතර නුදුරේදීම මෙය ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කළ පසු සියලූම තොරතුරු ලබාදෙන බව නිර්මාපකයින් පවසයිි.