පාකිස්තානයේ මගී දුම්රිය දෙකක් ඊයේ (17) උදෑසන එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 25 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ කරච්චි නුවරට නිරිත දෙසින් පිහිටි ක්වසීම් නමැති නගරය අසලදීය. පාකිස්තාන පුවත් සේවා පැවැසුවේ අනතුරින් 25 දෙනකු මියගිය බවත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් කියාය. කෙසේ නමුත් ඇතැම් විදෙස් පුවත් සේවා වාර්තා කළේ අනතුරින් මිය ගියේ දෙදෙනකු පමණක් කියාය. දුම්රිය දෙක එකිනෙක ගැටීමෙන් එක් දුම්රියක් පීලි පැන අනෙක් දුම්රිය මත පතිත වී ඇත. දුම්රිය මැදිරි තුළ තුවාල ලබා සිරවූවන් බේරා ගැනීමට ප‍්‍රදේශවාසීන් සහ සහන සේවා නිලධාරීන් යුහුසුළු වූ අතර ඔවුන්ට හමුදාවේත් පොලිසියේත් සහාය හිමි වී ඇත. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ සවස් වන තුරුම සිදු වූ අතර ජින්නා රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කළේ තුවාල ලැබූවන්ට කඩිණමින් ප‍්‍රතිකාර ආරම්භ කර ඇති බවය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තාවේ. ඒ අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද රෝහල් බලධාරීහු පවසති. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවුණේ කුමක්දැයි සෙවීමට කඩිණමින් පරීක්ෂණ ආරම්භ කළේ යැයි පාකිස්තාන රජය පවසයි. කරච්චි දුම්රිය ස්ථාන බලධාරීන් පවසන්නේ සංඥා පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවූ බවය. අනතුර සිදුවෙද්දී දුම්රිය දෙකෙහි අටසියයකට වැඩි පිරිසක් ගමන් කළ බව ද පාකිස්තාන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.