පාකිස්තාන මහ මැතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජනවරමක් හිමිකර ගත් නවාස් ෂරීෆ් පෙරේදා (14) සවස සිය ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන ඉම්රාන් ඛාන් හමුවීමට ලාහෝර් නුවර රෝහලට ගියේය.
ඉකුත් 7 වැනිදා ලාහෝර් නුවර ජන රැලියක් අමතද්දී ඇද වැටී තුවාල වූ ඉම්රාන් මේ වනවිට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී. මැතිවරණයේදී තෙවැනි ස්ථානයට පත් වූයේ ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි.
ඉම්රාන් හමුවී ඔහුගේ සුව දුක් විමසා බැලීමෙන් පසු නවාස් ෂරීෆ් කියා සිටියේ පාකිස්තාන ජනතාව වෙනුවෙන් මෙන්ම පාකිස්තානය වෙනුවෙන් ද එකමුතු වී කටයුතු කරමු යැයි කියාය.  ඉම්රාන් ඊට එකඟ වූ බවත් ලැබූ ජයග‍්‍රහණය වෙනුවෙන් ඔහු ෂරීෆ්ට සුබ පැතූ බවත් වාර්තාවේ.
පාකිස්තාන මහ මැතිවරණයේ අවසන් නිල ප‍්‍රතිඵලය පෙරේදා ප‍්‍රකාශයට පත් කෙරුණි. නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය සමස්ත ආසන 272 න්, ආසන 123 ක් හිමි කරගෙන තිබුණි. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ජනපති සර්දාරිගේ පාලක ජනතා පක්ෂයයි. එම පක්ෂය ලැබූ ආසන සංඛ්‍යාව 31 කි. ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පත් වූයේ තෙවැනි ස්ථානයටය. ලැබූ ඡුන්ද සංඛ්‍යාව 26 කි.