කාගේවත් බලපෑමකට යටත් වීමට සූදානම් නැති බවත්, තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉවත් වන්නේ නැති බවත් ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ (3) ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කළේය.
දිගින් දිගටම ජනතාව පීඩාවට පත් කරන්නේ නම් වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ඊජිප්තු හමුදාව, ඉකුත් පළමු වැනිදා ජනපති මොර්සිට පැය 48 ක් කල් දී තිබුණි. එම කාල සීමාව ඊයේ (3) සවස අවසන් විය.
ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා ද වන මොර්සිට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේ සිටය. ඒ, ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දීය. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල මැදිහත් වීමෙන් මොර්සිට එරෙහි විරෝධතා සංවිධානය කෙරුණි.
ලක්ෂ දෙකකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් එරට කයිරෝ අගනුවර තරීර් චතුරස‍්‍රයට රැස් වී ජනපති මොර්සිට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරන්න වූහ.
ඊයේ (3) මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ ආධාරකරුවන් සහ මොර්සි හිතවාදීන් විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම්වලින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.