ඉදිරි සති 6 ත් 8 ත් ඇතුළත ඉන්දියාව තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙනු ඇති බවත්, එය වැළැක්වීමට කළ හැකි කිසිවක් නොමැති බවත් ඉන්දීය ජාතික වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රධානී වෛද්‍ය රන්දීප් ගුලේරියා අනතුරු අඟවයි.

ඉන්දීය ජාතික වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රධානියා මෙසේ අනතුරු අඟවා ඇත්තේ, වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න ලැබෙනවා යැයි පවසමින්, මේ වනවිට ඉන්දීය ප්‍රාන්තවලට පනවා තිබූ ලොක්ඩවුන් තහංචි ඉවත් කර ඇති බැවිනි. ලොක්ඩවුන් තහංචි ඉවත් කිරීම සිදු කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ අනුවය.

එසේ වුවත්, ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිනොපැඳීමත්, ඩෙල්ටා සහ ඩෙල්ටා ප්ලස් වයිරස ප්‍රභේද වේගයෙන් ව්‍යාප්ත වීමත්, එන්නත්කරණ කටයුතු අක්‍රමවත්ව සහ මන්දගාමීව සිදුවීමත් හේතුවෙන්, අඩුවෙමින් පවතින කොරෝනා ආසාදිතයන් සහ මරණ යළි ඉහළ ගොස් තෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වනු ඇති බව වෛද්‍ය රන්දීප් ගුලේරියා පැහැදිලි කර තිබේ.

'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් ආරම්භ වූ 'කොවිඩ් 19' විකෘති වයිරස ප්‍රභේදයයි. 'ඩෙල්ටා ප්ලස්' යනු ඩෙල්ටා වයිරසය තවත් විකෘති වී නිර්මාණය වුණු වයිරස ප්‍රභේදයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පෙන්වා දෙන ආකාරයට අද ලෝකයට තර්ජනයක් වී ඇත්තේ මෙම 'ඩෙල්ටා' ප්‍රභේදයයි.

නවදිල්ලියේදීය (රොයිටර්)