පසුගිය වර්ෂයේ ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සහ බර්මන් යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ස්නේවර්ඩින්ගන් නගරයේ ශ්‍රී ලංකා මහා විහාරයට වසරක් පිරිම නිමිත්තෙන්  ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව සියලු දෙනා වෙත සාමය හා සෞභාග්‍යය ප්‍රර්ථනා කරමින් ඔක්තෝබර්  3 සහ 4 යන  පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන් ප්‍රධාන විහාර සංගමය කටයුතු යොදා ඇත.

ජර්මනියේ සංචාරක පුරවරයක් ලෙසින් ප්‍රකට මෙම පළාත ගිම්හාන හා සිසිර ඍතුවලදී සංචාරකයින්ගෙන් පිරි පවතී. මෙම නගරයේ මහායාන විහාරස්ථාන දෙකක්ද ඇත. එනිසාම පළාතේ බොහෝ දෙනා අතර බුදුදහම පිළිබඳ කිසියම් අවබෝධයක් ද පවතින බව පෙනෙන්නට ඇත.

මෙම සති අන්තයේදී ශ්‍රී ලංකා මහා විහාරයේදී පැවැත්වෙන පින්කම් මාලාවට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්, සංඝගත දක්ෂිණාවක්, භාවනා වැඩසටහන්, මව්පිය වන්දනා වැඩසටහනක් සහ උත්සව සභාවක් ද ඇතුළත් වෙයි.

පැරිස් නුවර ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමි, ස්කැන්ඩිනේවියා රටවල ප්‍රධාන සංඝනායක ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පැරිස් නුවර ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, යුරෝපා සංඝපති ඔස්ට්‍රියාවේ වියනා ඥාණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති විජයරාජපුර ශීලවංශ නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක සිසිලි බෞද්ධ විහාරාධිපති වගේගොඩ සීලානන්ද නාහිමි, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, ස්විට්සර්ලන්ත ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති ලේඩියන්ගල සුදස්සී හිමි, ලුණුකඩවැල්ල රජමහා විහාරයේ භාරකාර කාව්‍ය ශ්‍රී කිරිදිගල්ලේ ඥානරතන හිමි, ජර්මනියේ බොහුම් බෞද්ධ මධ්‍යස්ථානාධිපති තම්මන්නාවේ ධම්මානන්ද හිමි, ජර්මනියේ රෝසන්හයිම් බෞද්ධ මධ්‍යස්ථානාධිපති කන්නිමහර පියසිරි හිමි, ජර්මනියේ බොන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති පානදුරේ සාරානන්ද හිමි, ජර්මනියේ ඔඩන්වර්ල්ඩ් බුදුමඟ බෞද්ධ මධ්‍යස්ථානයේ මොක්කිත හිමි, ජර්මන් ශ්‍රී ලංකා මහා විහාරවාසී උණගතලාවේ උපරතන හිමි, මහදමනේ ජනානන්ද හිමි,  මහදමනේ අස්සජි හිමි සහ පුන්චිවැව සිරිනන්ද හිමියන්ද මෙම පිංකම සඳහා සහභාගී විමට නියමිතය.  

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ද ශ්‍රී ලාංකික මෙන්ම ජර්මන් සහ අන් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක්ද පිංකම සඳහා සහභාගී වනු ඇත.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ජර්මනියේ වාසය කරන සියලුම බොදු සැදැහැවතුන් වෙත ගෞරවයෙන් ඇරයුම් කරන බව විහාරාධිපති ආචාර්ය පුඤ්ඤරතන හිමියෝ පැවසුහ. 

10624807_400998706733370_4981359987954100116_n-(1)