පෞද්ගලික ගුවන් සේවා සමාගමක් වන ‘ජෙට් එයාර්වේස්’ සමාගම බංකොලොත් වීම වළක්වා ගැනීම සඳහා සහාය වන්නැයි ඉන්දීය ආණ්ඩුව එරට රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 

අප්‍රේල් හා මැයි මාසවලදී ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ‘ජෙට් එයාර්වේස්’ සමාගම බංකොලොත් වුවහොත් දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති අතර එම නිසා ඊට පෙර කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපදෙස් දී ඇතැයි ද පැවැසේ. 

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් දෙදෙනකු එම කරුණු සඳහන් කර ඇත. 

පසුගිය වසර මුළුල්ලේ ඉන්දීය මුදල් අමාත්‍යාංශය ඉන්දීය රාජ්‍ය බැංකුව (ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා) ඇතුළු බැංකුවලින් ‘ජෙට් එයාර්වේස්’ සමාගමේ මූල්‍ය තත්ත්වය විමසා ඇතැයි එම නිලධාරීහු දෙදෙනා කීහ. පසුගිය මාස කිහිපයේදී බැංකු එම සමාගමේ තත්ත්වය සම්බන්ධයෙන් සතිපතා ආණ්ඩුව දැනුවත් කර තිබෙන අතර රජයේ උපදෙස් ද ඉල්ලා ඇතැයි පැවසේ. 

සමාගමේ ණය අගය කරමින් එම සමාගමේ කොටස් මිලදී ගන්නැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුව බැංකුවලට උපදෙස් දී ඇතැයි ද ආරංචි මාර්ගවලින් කියැවිණි. 

මෙය ඉන්දියාව පෞද්ගලික සමාගමක් බංකොලොත් වීම වළක්වා ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් භාවිත කරන දුලභ අවස්ථාවක් යැයි ද පැවැසිණි. 

රොයිටර් ඇසුරිනි 

055