රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.6 ක් සටහන් කළ භූමි කම්පාවකින් චීනයේ ගොන්ෂූ පළාතේ ඩින්ග්සී නගරය ඊයේ (22) උදෑසන කැළැඹී ගියේය.
භූමි කම්පාවෙන් දෙදරා ගිය නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වූ අතර එයින් 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 200 ක් යැයි චීනයේ ෂින්හුවා පුවත් සේවය පවසයි.
භූමි කමිපාව හටගත්තේ ඊයේ උදෑසන 7.45 ට පමණය. එහි අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 20 ක් පොළෝ ගැඹුරේ යැයි භූ කම්පන සමීක්ෂණ ඒකක පවසයි.
ගොන්ෂූ පළාතේ මිලියන 26 ක පිරිසක් ජීවත් වෙති. භූමි කම්පාවෙන් පසු අතුරු කම්පන කිහිපයක් සිදුවිය. ඒවා රික්ටර් මාපකයේ ඒකක 3 ත් 4 ත් අතර අගයන් සටහන් කළේය.
ගොන්ෂූ පළාතේ බහුලව ජීවත් වන්නේ ගොවීන්ය. භූමි කම්පාවෙන් වගාබිම් රැසකට ද හානි සිදුවී ඇතැයි ද පැවැසෙයි. ඩින්ග්සී නගරය පිහිටා ඇත්තේ බීජීං අගනුවර සිට කිලෝ මීටර් 1,233 ක් දුරිනි.
භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූ පිරිස් සඳහා අවශ්‍ය සහනාධාර බෙදා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇතැයි චීන බලධාරීහු පවසති.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සහන සේවා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා බැකෝ යන්ත‍්‍ර ද යොදා ගෙන ඇතැයි වාර්තා වේ.
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර හමුදාවේ සහාය ද ඒ සඳහා හිමිවිය.
චීනය බහුලව භූමි කම්පාවලට ගොදුරු වෙයි. 2008 වසරේ චීනයේ ෂින්හුවා පළාත අති ප‍්‍රබල භූමි කම්පාවකට ගොදුරු විය. එයින් මියගිය ගණන 90,000 කි. සිදුවුණු දේපොළ හානිය අතිමහත්ය.