චීන රජයේ අනතුරු ඇඟවීම් නොතකමින් අද දිනයේදීත් විරෝධතාකරුවෝ දහස් ගණනක් හොංකොං නුවරට රැස්වූහ. 

සෙනසුරාදා දිනයේදීත් හොංකොං නුවර විරෝධතා පැවැති අතර එම විරෝධතා සාමකාමීව පැවැත්විණි. 
කෙසේ වෙතත් පසුගිය සති දහයක කාලයක් මුළුල්ලේ හොංකොං නුවර විරෝධතා පැවැති අතර බොහෝ අවස්ථාවලදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවිණි. 

උදර්පණ පනත් කෙටුම්පතක් මුල් කරගනිමින් හොංකොං නුවර විරෝධතා ඇරැඹුණු අතර හොංකොං ආණ්ඩුව මේ වනවිට එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම තාවකාලිකව නවතා දමා ඇත. 

හොංකොංහි ඇතිව තිබෙන නොසන්සුන් තත්ත්වය සහ විරෝධතාකරුවන්ගේ හැසිරීම් ත්‍රස්තවාදයට ඉතා සමීප යැයි චීනය චෝදනා කරයි. 

සෙනසුරාදා පැවැති විරෝධතාවලට පොලිසියේ අවසරය හිමි වූ අතර නගර මධ්‍යයේ තිබෙන වික්ටෝරියා උද්‍යානයේදී විරෝධතා පැවැත්විණි. එහෙත් පාගමන් තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. වර්ෂාව මධ්‍යයේ විරෝධතා පැවැති අතර එහි පැමිණි පිරිස් කුඩ ඉහලාගෙන සිටියහ. කුඩ හොංකොං විරෝධතාවල සංකේතයකි. 

හොංකොං බ්‍රිතාන්‍යය කොලනියක්ව පැවැති අතර මේ වනවිට විශේෂ තත්ත්වයක් හිමිව ඇත. හොංකොං චීනයේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් ලෙස සැලකුවද එයට වෙනම නෛතික සහ අධිකරණ පද්ධතයක් හිමි අතර චීනයේ නොමැති අයිතිවාසිකම් සහ නිදහසක් ද ඇත. එසේ වුවත් එම නිදහස තර්ජනයකට ලක්ව ඇතැයි හොංකොං ක්‍රියාකාරීහු විශ්වාස කරති. 

හොංකොං විරෝධතාකරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ පොලිසියේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඉල්ලා සිටිති. 

විරෝධතාකරුවෝ පසුගිය සතියේදී ගුවන් තොටුපොළට කඩා වැදුණු අතර එම නිසා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට පාලනාධිකාරියට සිදුවිය. 


(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි) 

 055