නවදිල්ලිහිදීය (රොයිටර්)
 
ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියට පැමිණ තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ප්‍රාන්තය වනුයේ ද ගුජරාට් ප්‍රාන්තයයි. මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිළුල වලින් ඉදිරියට පැමිණීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුවද  එය පෙර වසර හා සැසඳීමේදී තරමක පසුබැසීමක් යැයි වාර්තා වේ. 
 
භාරතීය ජනතා පක්ෂය හා විපක්ෂය දිනාගනු ඇතැයි අපේක්ෂිත ආසන ප්‍රමාණය අතර ඇති පරතරය අඩු වීම විපක්ෂය ලැබූ යම් ජයග්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. 
 
ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයට කොංග්‍රස් පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් සන්ධානයක් ඉදිරිපත් වූ අතර මෝදිගේ බලය දුර්වල කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබිණි. ඉන්දියා ටුඬේ, සී.එන්.එන් සහ ටයිම්ස්නව් යන පුවත්සේවා කරන ලද සමීක්ෂණ වාර්තාවලට අනුව ගුජරාට් ප්‍රාන්තයේ ආසන 182න් 100ක බලය හිමි කරගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය සමත්වනු ඇතැයි වාර්තා වී තිබිණි. 
 
ප්‍රාන්ත ආණ්ඩුවේ බලය හිමි කරගැනීමට නම් ආසන 182න් 92ක බලය හිමි කරගත යුතුය. මෙවර කොංග්‍රස් පක්ෂයේ නායකත්වය රාහුල් ගාන්ධි විසින් හොබවනු ලබයි.

පසුගිය සතියේදී රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ නිල නායකයා වශයෙන් පත්වූ අතර මෙවර ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය ආසන 70කට වැඩි ප්‍රමාණයක් දිනාගනු ඇතැයි පැවසේ. එය කොංග්‍රස් පක්ෂය පෙරට වඩා ඉදිරියට පැමිණීමක් යැයි ද දේශපාලන විචාරකයෝ තවදුරටත් පෙන්වාදෙති. 
 
(055)