නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ සජිවි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු කරගත් පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් මාස 21ක සිරදඬුවමක් පනවා ඇත.

මෙම පුද්ගලයා අදාල වීඩියෝ දර්ශනය තවත් පුද්ගලයන් 30දෙනකුට යවා තිබුණු අතර එම දර්ශන යොදාගෙන සංස්කරණය කරන ලද වීඩියෝවක් ද සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

පිලිප්ස් අර්ප්ස් ක්‍රයිස්චර්ච් දිස්ත්‍රික් අධිකරණයේදී මෙම චෝදනාවලට වරදකරු බව පිළිගත්තේය.

ආර්ප්ස්ගේ ක්‍රියාව මුස්ලිම් ප්‍රජාව සමඟ වෛරයෙන් යුතුව කළ අපරාධයක් බවත් කෲරත්වය පිළිබිඹු වන බවත් විනිසුරුවරයා සිය දේශනයේදී පැවසීය.

පසුගිය මාර්තු 15වැනිදා ආගමික වතාවත් පැවැත්වෙන අතරතුර ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයකට සහ ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයකට තුවක්කුකරුවකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් 51දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

(බීබීසී ඇසුරිණි - 085)