එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (25) ආරම්භ වූ අතර ඊට සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ඉරාන ජනපතිට විරෝධය පළ කරමින් විරෝධතා රැලි පැවැත්විණි. එම විරෝධතා පැවැත් වූයේ ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් නැවැතී සිටි වෝවික් හෝටලය ඉදිරිපිටය. නිව්යෝක් පොලිසිය පැවැසුවේ විරෝධතාවට සිය ගණනක් දෙනා සහභාගී වූ බවය. ඇමෙරිකානුවන්ට අමතරව ඉරානයෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ ජීවත් වන ඉරාන විපක්ෂ කි‍්‍රයාකාරීන් ද විරෝධතාවට එක් ව සිටි බව වාර්තා විය. විරෝධතාවට එක් ව සිටි ඇතැම්හු ජනාධිපති අහමදිනෙජාද්ගේ මුහුණට සමාන අයුරින් වෙස් මුහුණු පැළැඳි සිටියහ. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවත්, ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය බවත්, ජනපති අහමදිනෙජාද් යක්ෂයකු බවත් පවසමින් ද තවත් විරෝධතාකරුවෝ පිරිසක් කෑ කෝ ගසන්න වූහ. 2005 වසරේ ජනපතිධුරයට පත් වීමෙන් පසු ඉරාන ජනපති අහමදිනෙජාද් සෑම වසරකම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහභාගී වී සමුළුව අමතා ඇත. මෙවර ඔහු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වන්නේ අවසන් වතාවටය. පසුගිය වසරවල සමුළු ඇමැතූ සෑම අවස්ථාවකදීම ජනපති අහමදිනෙජාද්, ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානයේ සතුරා වන ඊශ‍්‍රායලයට බැණ වැදුණේය.