බ්‍රයිඩි ස්පාර්ක්ස් (24) හා ක්‍රිස්ටෝෆර් රිචර්ඩ්ස් (34) වසර ගණනක් පුරා පෙමින් වෙලී සිට අවසානයේ තීරණය කළේ විවාහ වීමටය. ක්‍රිස්ටෝෆර්ට හරිහමන් රැකියාවක් නොමැති වූවද එය විවාහ වීමට බාධාවක් ලෙස සැළැකීමට බ්‍රයිඩි කැමැති වූයේ නැත.

විවාහ වී සිය නෑහිත මිතුරන් වෙනුවෙන් සාදයක් පැවැත්වීමට ද බ්‍රයිඩ් සිතාගෙන සිටියද අතමිට කාසි නොමැති වීම අයට මහත් ගැටලූවක් විය. කරන්නට දෙයක් නොහැකි වූ තැන සාදය පැවැත්වීමට ඇය අදහස් කරගෙන සිටි අවන්හලේ හිමිකරු සොයා යන්නේ රිචර්ඩ්ටත් නොදන්වාය. ඇයගේ දුක්ගැනවිල්ල අසා අවන්හලේ හිමිකාරිය වන කැතරින් මර්ෆි මහත්මිය උත්සවයක් වෙනුවෙන් තමන් අයකරනු ලබන මුදලට වඩා හරි අඩක් අඩුවෙන් අය කිරීමටත් චැම්පේන් ඇතුළු මද්‍යසාර සියල්ල නොමිලේත් ලබා දීමට එකග වන්නීය.

මහත් සතුටට පත්වන බ්‍රයිඩි ක්‍රිස්ටෝෆර් සොයාගොස් මේ බැව් පවසන්නේ ක්‍රිස්ටෝෆර්ටද මහත් අස්වැසිල්ලක් ගෙන දෙමිනි.

බ්‍රයිඩි පිටවූ වහාම සිය දෙවැනි මනමාලයා ලෙස කටයුතු කිරීමට නියමිත ජෝර්ජ්ට කතා කර පෑදුනු ඉල්ලම ගැන පැහැදිලි කරන ක්‍රිස්ටෝෆර් තීරණය කරන්නේ උත්සවය දිනට පෙරදින රාත්‍රියේ අවන්හල බිදීමටය.ජෝර්ජ්ගේ අනුමැතියද මේ යෝජනාවට උඩින්ම හිමිවේ.

උත්සවය දිනට පෙරදින මධ්‍යම රාත්‍රියේ අවන්හලට ඇතුළු වන මොවුන් දෙදෙන ඊළග දිනයේ තමන්ගේ හිතමිතුරන් වෙනුවෙන් සූදානම් කර තිබූ මද්‍යසාර බෝතල ඇතුළු සියල්ල සොරාගෙන පලා යාමට කටයුතු කරන අතර තමන්ගේ කෙරුම් සියල්ල අවන්හලේ තැන් තැන් වල සගවා තිබූ ආරක්ෂක කැමරා වල සටහන් වන බව දැන සිටියේ නැත.

පසුදිනයේ සිය අවන්හල වෙත පැමිණෙන කැතරින් මහත්මිය සිදුව ඇති හානිය දැක ක්‍රිස්ටෝෆර්ට කතා කරන්නේ උත්සවය වෙනත් දවසක පැවැත්වීමට ඔහුගේ අනුමැතිය ලබා ගැනීමටය.ඇයගේ ‘තත්ත්වය‘ තේරුම් ගන්නා ක්‍රිස්ටෝෆර්ද උත්සවය කල් දැමිීමට එකග වේ.කැතරින් මහත්මිය ඊළගට කරන්නේ පොලිසිය කැදැවීමයි.ආරක්ෂක කැමරා පට නිරීක්ෂණය කරනා ඔවුහු වහා සොරුන් හදුනාගැනීමට සමත් වන්නේ ‘සොරුන්ට‘ මුහුණු ආවරණවත් හරිහැටි පැළැද ගැනීමට අමතකව ඇති හෙයිනි.

ඒ අනුව අත්අඩංගුවට ගැනෙනා ක්‍රිස්ටෝෆර් හා ජොර්ජ් දැන් සිටින්නේ තමන්ට එරෙහි චෝදනා අධිකරණයේ විභාග වන තුරුය.අවන්හලේ හිමිකාරිය වන කැතරින මහත්මිය මින් ඉදිරියට අනුකම්පා කර  සහන සැළැසීමට පෙර හොදින් සොයා බැලිය යුතු බව තමා ඉගෙනගත් බව පවසන්නීය.