හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ ඊජිප්තු කැරැුලි මර්දන පොලිස් නිලධාරීන් අතර පෙරේදා (6) රාති‍්‍රයේ කයිරෝ අගනුවර තහ්රීර් චතුරස‍්‍රයේදී දරුණු ගැටුම් හටගත්තේය.

එම ගැටුම්වලින් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර, පොලිස් නිලධාරීන් 14 දෙනෙක් ද වෙති.

තුවාල ලැබූ ගණන 100 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී. විරෝධතා සංවිධානය කළ 124 දෙනකු හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කර ඇත.

මොර්සි ආධාරකරුවෝ දහසකට වැඩි පිරිසක් පෙරේදා සවස තහ්රීර් චතුරස‍්‍රයට රැස්වූයේ, ජනපති මොර්සි බලයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම මෙන්ම, මොර්සිට සහාය පළ කරන මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂය ඊජිප්තුවේ තහනම් කිරීමට එරට අධිකරණයක් මීට දින කීපයකට පෙර තීන්දු කිරීම යන කරුණු මුල්කර ගනිමිනි.

විරෝධතාකරුවන් ඊයේ (7) ද තහ්රීර් චතුරස‍්‍රයට රැුස්වී විරෝධතා පැවැත්වූහ. එම අවස්ථාවේදී පොලිසිය, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් එම පිරිස පලවා හැරීමට කටයුතු කළේය. විරෝධතාකරුවන් කියා සිටියේ කොපමණ පිරිසකට දිවි පුදන්න සිදුවුවත් තම විරෝධතා නවත්වන්නේ නැති බවය.

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය විසුරුවා හැරීමටත් එය එරට තහනම් කිරීමටත් කයිරෝ අධිකරණයක් තීන්දු කළේ ඉකුත් මස 24 වැනිදාය. මේ වනවිට මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

එම පිරිස සහ ජනපති මොර්සි නිදහස් කරන ලෙසටත්, මොර්සි යළි ජනපති ධුරයට පත් කරන ලෙසටත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

මොර්සි බලයට ආවේ ඊජිප්තුවේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණයකිනි.

ඊජිප්තු අන්තර්වාර රජය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය විසුරුවා හැරීමටත් එය ඊජිප්තුවේ තහනම් කළේ, ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකරමින් රට අස්ථාවර කරන බවට චෝදනා එල්ල කරමිනි.

පොලිස් ප‍්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවක රෝහල කරා ගෙන යමින්