ඉරාකයේ බැග්ඩෑඞ් නුවර හමුදා කඳවුරකට ඊයේ (23) උදෑසන කඩා වැදුණු අල් කයිඩා සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරවලින් ඉරාක සෙබළු 107 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 74 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින් පිහිටි බලාද් හමුදා කඳවුරටය. සටන්කාමීන්  හිටිහැටියේ කඳවුර වටළමින් ඊට කඩා වැදී පහර දුන්නේ ආරක්ෂාවට සිටි සෙබළුන්ට අත් බෝම්බවලින් දමා ගසමින්ය. එය ඉතා සැලැසුම් සහගතව සිදු කළ ප‍්‍රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාර එල්ල කොට පැය කීපයක් ගත වෙද්දී අල් කයිඩා සංවිධානය එහි වගකීම භාර ගත් බව ද වාර්තා විය. මේ අතර පෙරේදා (22) ද ඉරාකයේ නගර කිහිපයක බෝම්බ පිපිරීම් සිදුවිය. එයින් පුද්ගලයෝ 20 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 80 දෙනෙක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාර සිදු කළේ ද අල් කයිඩා සටන්කාමීන්ය. එම බෝම්බ පුපුරා ගියේ මොසෝල්, රමාදි, මමුඩියා, මඬේන් සහ නජාෆ් යන නගරවලය. මමුඩියා නගරයේ කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර ඊට 11 දෙනෙක් බිලි වූහ. 38 දෙනෙක් තුවාල ලැබූහ. මමුඩියා නගරය පිහිටා ඇත්තේ බැග්ඩෑඞ් අගනුවර සිට කිලෝ මීටර් 30 ක් දුරිනි. ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හිස එසවූයේ මුස්ලිම් රාමදාන් මාසය ආරම්භයත් සමඟය. ඉරාක යුද්ධය නිමවී රටේ ආරක්ෂාව ඉරාක හමුදාවට සහ පොලිසියට බාර දී ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා නික්ම යෑමෙන් පසුව ද අල් කයිඩා සංවිධානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට නොලැබේ. පසුගිය මාසයේ පමණක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 237 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණණ 603 කි.