IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ඉම්රාන් ඛාන්ගේ නව දේශපාලන ඉනිම

ක‍්‍රිකට් ලෝකයෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් පසුගිය සතියේ තවත් අභියෝගාත්මක ඉනිමකට පිවිසියේය. ඒ එක්සත් ජනපදයෙන් පාකිස්තානයේ වයඹ දිග උතුරු වාසිරිස්ථානයට නිරන්තරයෙන් එල්ල කරන ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාරවලට විරෝධය පළ කිරීමේ දීර්ඝ ගමනයි. අගනුවර ඉස්ලාමාබාද් නගරයෙන් ආරම්භ කළ රිය පෙරහර කි.මී. 400 ක දුරක් ගෙවා දකුණු වාසිරිස්ථානයේ දේශ සීමාවෙන් අවසන් කිරීමට නියමිතව තිබුණද දෙවැනි දිනයේදී දකුණු වාසිරිස්ථාන සීමාව අසලදී සන්නද්ධ හමුදාවෙන් ගමන නතර කිරීමට බල කිරීම නිසා එය අතහැර දැමීමට සිදුවිය. තවත් කි.මී. 115 ක් දුරක් යෑමට තිබියදී මෙම රිය පෙරහර නතර කිරීමට සිදු වුවද ඒ අසල කොට්කායි නගරයේ පැවැති රැස්වීමක් ඇමතූ ඉම්රාන් ඛාන් වාසිරිස්ථානයට එල්ල කරන ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාර ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු කිරීමට සමත්ව ඇතැයි පැවසුවේය. මෙම රිය පෙරහරට ඩ්‍රෝන ප‍්‍රහාර ගැන විරෝධය පළ කරන ඇමරිකානු ක‍්‍රියාකාරින් පිරිසක්ද සහභාගි වූහ. පාකිස්තානු තලෙබාන් සටන්කරුවන්ගේ ග‍්‍රහණයේ පවතින වාසිරිස්ථානයට මෙවැනි රිය පෙරහරක් යෑම අන්තරාදායක පියවරක් වුවද ඉම්රාන් ඛාන් ඊට ඉදිරිපත්වූයේ ඉදිරියේ එළඹෙන මැතිවරණයේදී සිය පාකිස්තානු තෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ජනප‍්‍රියතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට යැයි ඔහුගේ විරුද්ධවාදීහු චෝදනා කරති. ඉඩම් හිමි ධනපතියෙකු හෝ කර්මාන්තශාලා හිමියෙකු නොවන ඉම්රාන් ඛාන් බලකණ්ඩායම් දෙකකට සීමාවූ පාකිස්තානු දේශපාලනයේ නව ගමන් මඟක් හෙළි පෙහෙළි කිරීමට ඉදිරිපත් වුවද එය ඉතාමත් අසීරු කටයුත්තක් වන බව පෙණින. එහෙත් ඔහු තෝරාගත් සටන් පාඨ බෙහෙවින් ආකර්ෂණීය විය. පාකිස්තානු දේශපාලනයේ පිළිකාවක් වූ දුෂණය හා පවුල් බලය ඔහු තදින් විවේචනය කළේය. එමෙන්ම ඔහු ආගම්වාදී නොවන දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටීම වැදගත්ය. එහෙත් ඔහුට සම්ප‍්‍රදායික නායකයින්ගේ තෝතැන්නක් වූ පාකිස්තානු දේශපාලනයේ වැඩි පිළිගැනීමක් ලැබුණේ නැත. ප‍්‍රධාන ප‍්‍රවාහයේ ජනමාධ්‍යයෙන්ද ඔහු නොසලකා හැරිණ. සර්දාරිගේ පාලනය යටතේ දුෂණ හා වංචා වඩාත් ඉහළ යෑම විවේචනය කිරීම නිසා ඛාන්ට ප‍්‍රධාන නගරවල කිසියම් ජනප‍්‍රියත්වයක් හිමි වුවද මෑතකදී ප‍්‍රකාශයට පත් කළ ජනමත විමසුම් අනුව ඒ තත්ත්වය දිගටම පවත්වා ගැනීමට ඔහු අසමත් වී ඇත. වාසිරිස්ථානයේත් පාකිස්තානයේත් සෙසු ප‍්‍රදේශවලත් ජනතාවගේ විරෝධයට ලක්වූ ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාර නැවැත්වීමට බල කෙරෙන රිය පෙරහරක් පැවැත්වීමට තීරණය වූයේ මෙවැනි පසුබිමක් තුළය. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් හෙළා දැක ඇති මෙම ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාරවලට පාකිස්තානු රජයේ අනුමැතියක් නොලැබුණද ඒවා නතර කිරීමට පියවරක් ගත්තේ නැත. දැඩි මහජන විරෝධය නිසා සමහර විට රජයෙන් විරෝධය පළ වුවද එය වචනයට පමණක් සීමා විය. ප‍්‍රධාන විපක්ෂය වන නවාස් ෂරිප්ගේ නායකත්වයෙන් යුත් පකිස්තානු මුස්ලිම් ලීගයද මුනිවත රැක්කේය. එහෙත් ඉම්රාන් ඛාන් මෙම ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාර වලින් වැඩියෙන් අනතුරට ලක්වෙන්නේ සාමාන්‍ය ජනතාව නිසා දිගින් දිගටම ඊට විරුද්ධ වූයේය. ගුවන් ප‍්‍රහාර නිසා පාකිස්තාන ජනතාව තුළ පවතින ඇමරිකන් විරෝධය තවත් උත්සන්න වන බව ඔහු අවධාරණය කළ තවත් කාරණයකි. මෙවැනි විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීම තම දේශපාලන වාසියට යොදා ගැනීමට ඉම්රාන් ඛාන් අදහස් කළ බව පැහැදිලි වන නමුත් පාකිස්තානයේ වෙනත් දේශපාලන නායකයෙක් එම අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත් වූයේ නැත. එක අතකින් ඔවුන් ඇමරිකාවේ හොඳ හිත පවත්වා ගැනීමට වඩාත් උනන්දු වූ අතර අනෙක් අතට මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ නිජබිමක් වූ වාසිරිස්ථානයට යෑම වැනි අනතුරුදායක පියවර ගැනීමට කැමැති වූයේද නැත. සමහර නිරීක්ෂකයින් පවසන ආකාරයට බෙනාසීර් භූතෝ ඝාතනය කිරීමට පාකිස්තානු තලෙබාන් නායකයාව සිටි ඛයිතුල්ලා මෙෂුඞ් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කළේද මේ ප‍්‍රදේශයේදීය. ඉන් පසුව පාකිස්තානු හමුදාව දියත් කළ මෙහෙයුමකින් පාකිස්තානු තලෙබාන් කඳවුරු විනාශ කළද බලය සම්පූර්ණයෙන් තහවුරු කර ගැනීමට හැකිව නැත. මෙම සටන්කාමී සංවිධාන ඍජුවම විවේචනය නොකරන නිසා ඉම්රාන් ඛාන්ට තලෙබාන් සංවිධානයෙන් තර්ජනයක් නැතැයි පැවසුවද එය එසේ වන්නේ යැයි කිව නොහැක. ලිබරල් මතවාදී ඉම්රාන් ඛාන් බටහිර ගැත්තෙක් යැයි පසුගියදා තලෙබාන් සංවිධානයෙන් හඳුන්වා දී තිබිණ. ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාරවලින් මිය යන සංඛ්‍යාවට වැඩි ප‍්‍රමාණයක් තලෙබාන් මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් මරණයට පත්වන නිසා ඛාන්ගේ විරෝධය පළමුවෙන් එල්ල විය යුත්තේ තාලෙබාන් සටන්කරුවන්ට යැයි සමහර නිරීක්ෂකයෝ පවසති. ඔවුන් සඳහන් කරන ආකාරයට ඉම්රාන් ඛාන් තලෙබාන් සටන්කරුවන් දෙස බලන්නේ අනුකම්පාවෙනි. එම නිසා ඩ්‍රෝන ප‍්‍රහාරවලට ඔහු විරුද්ධ වන්නේ නැතිවන ජීවිත නිසාම නොවේ. එය නූතන පාකිස්තානයේ ජනප‍්‍රිය දේශපාලන මාතෘකාවක් වන නිසාය. ස්වැට් නිම්නයේ බලය පැවරීමෙන් පසු තලෙබාන් සංවිධාන ක‍්‍රියා කළ ආකාරය මීට හොඳ නිදසුනක් ලෙස ඔවුහු සඳහන් කරති. මෑතකදී ස්ටැන්ෆෝඞ් විශ්වවිද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයක් අනුව වාසිරිස්ථානයේ ඔත්තු බැලීමේ යෙදෙන ඇමරිකානු ගුවන් යානා වලින් නිකුත් කෙරෙන ශබ්දයෙන් එම ප‍්‍රදේශයේ ජනතාව තුළ ඇති වන කම්පනය ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාරවලින් සිදුවන හානියටත් වඩා ප‍්‍රබලය. එය වඩාත් පිළිකුල් සහගත වන්නේ ත‍්‍රස්තවාදයට එරෙහිව කෙරෙන යුද්ධයේදී යොදා ගන්නා ජාත්‍යන්තර නීතිය කඩ කෙරෙන උපායක් නිසාය. අනෙක් අතට තලෙබාන් සටන්කරුවන් බිහි කිරීමටද දායක වූයේ ඇමරිකානු රහස් ඔත්තු සේවාවන්ය. එවැනි පසුබිමක් යටතේ ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාර හෙළා දැකීම ප‍්‍රමාණවත් නොවන්නා සේම නිහඬව සිටීම කිසිසේත්ම අනුමත කළ හැකි තත්ත්වයක් නොවේ. කෙසේ වුවත් බලය ලබා ගැනීමේ සුන්දර සිහින මවන පාකිස්තානු සම්ප‍්‍රදායික දේශපාලකයින්ට එවැනි වෙනසක් දැනෙන්නේ නැත.

සටහන: මහින්ද හත්තක
ඩ්‍රෝන ප‍්‍රහාර ගැන විරෝධය පාන ඇමරිකානු කි‍්‍රයාකාරීන් ඉම්රාන් ඛාන් සර්දාරි



අදහස් (0)

ඉම්රාන් ඛාන්ගේ නව දේශපාලන ඉනිම

ජයනාත් Saturday, 13 October 2012 06:41 PM

එයාගේ හොදම යාලුවා ඉන්නේ ලංකාවේ කියන්නේ ඇත්තද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:32 PM

පාකිස්ථාන් අය මෙයාට කැමති නෑ (ස)

:       0       0

ලාල් Friday, 12 October 2012 06:35 PM

හොද නායකයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1079 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site