එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා එමීර් පළාතේ වාහන 20 ක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 30 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. අනතුර සිදුවූයේ රාත්‍රී 10 ට පමණය.

ලොරි රථ රියදුරකුට ඔහුගේ ලොරිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවුණු බව එමිරේට්ස් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාලනය කර ගැනීමට නොහැකි වුණු එම ලොරිය, තවත් ලොරියක හැපී මාර්ගයෙන් පිටතට පැන විරුද්ධ මාර්ගයේ  මාර්ග තදබදය හේතුවෙන් එක තැන නතර වී තිබුණු මෝටර් රථවල ගැටුණි.

අනතුරින් මියගිය 14 දෙනා අතර එමීර් ජාතිකයන් සහ විදේශිකයන් කිහිප දෙනෙකු ද වන බවත්, ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.

තුවාල ලැබූවන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ඉන්දියාව, බ්‍රසීලය, පාකිස්තානය, ජෝර්දානය සහ ඊජිප්තුව යන රටවල ජාතිකයන් සිටින බව ද පැවැසෙයි.