මියන්මාරයේ හමුදා පාලනය ඉවත් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මඟකට පිවිසීම අරමුණු කර ගෙන 1988 දී අවුන්සාන් සුකීගේ නායකත්වයේ පිහිටුවා ගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ සම්මේලනය පසුගිය සිකුරාදා රැන්ගුන් නගරයේ දින තුනක් තිස්සේ පැවැත්විණි. මෙම සම්මේලනය විශේෂයෙන් වැදගත් වන්නේ 2015 දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා සුදුසු වැඩපිළිවෙළක් මෙන්ම නායකත්වයක් පත් කර ගැනීම නිසාය. මියන්මාරයේ විවිධ ප‍්‍රදේශ නියෝජනය වන ආකාරයට තෝරා පත් කර ගත් නියෝජිතයන් 894කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේදී පක්ෂ නායකත්වයට අවුන්සාන් සුකී තෝරාගන්නා ලද්දේ අභියෝගයකින් තොරවය. එහෙත් නව නායකත්වයට ඉඩ සැලසීම සඳහා පක්ෂයේ වැදගත්ම ආයතනයක් වූ මධ්‍යම විධායක කමිටුවේ සාමාජිකත්වය 7 සිට 15 දක්වා වැඩි කෙරිණි. ඊට අමතරව සාමාජිකයන් 120කින් යුත් මධ්‍යම කාරක සභාවක් තෝරා පත් කර ගන්නා ලද අතර ඊට නව මුහුණු කීපයක් එක් කර ඇතැයි වාර්තා වේ.

අවුන්සාන් සුකී

2011 වසරේදී හමුදා රජයෙන් කෙටුම්පත් කොට සම්මත් කර ගත් ව්‍යවස්ථාව යටතේ නව රජයක් දිවුරුම් දීමෙන් පසුව සුකීට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට නැවත වරක් දේශපාලන කටයුතුවල නිතරවීමට නිදහස ලැබෙන තෙක් පක්ෂයේ නායකත්වය ක‍්‍රියාත්මක වූයේ දැඩි මර්දනකාරී තත්ත්වයක් යටතේය. එම නිසා ඔවුන්ට තවදුරටත් පක්ෂයේ නායකත්වය මෙහෙය වීමට අවස්ථාවක් ලැබීම විශේෂ කරුණක් නොවන නමුත් නව තරුණ නායකත්වයකට ඉඩ සලසන්නේ කෙසේද යන්න මෙම පක්ෂය මුහුණ දී ඇති ගැටලූවක් බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට දේශපාලන කටයුතුවල නිරතවීමට ඉඩ ලැබීමෙන් පසුව ආසන 44ක් සඳහා පැවති අතුරු මැතිවරණයෙන් 43ක්ම ඔවුන්ට දිනාගත හැකි වීමෙන් ඉදිරි ඡුන්ද විමසීම ගැන බිය විය යුතු බවක් නොපෙනේ. එහි ප‍්‍රතිඵලය වන්නේ පක්ෂය තුළ අවස්ථාවාදීන් මතු වීමට අවකාශයක් විවර වීමය. පසුගිය සතියේ පැවති පක්ෂ සම්මේලනයට දුෂිත ක‍්‍රියාමාර්ගවලින් නියෝජනය ලබාගත්තේ යැයි සැක කරන නියෝජිතයන් හතර දෙනකුගේ සාමාජිකත්වය අත්හිටුවීම පක්ෂය තුළම වර්ධනය විය හැකි තත්ත්වයක් ගැන පෙර නිමිත්තකි.
තවත් වැදගත් කාරණයක් වන්නේ පක්ෂයේ වැඩපිළිවෙළ ප‍්‍රමාණවත් ආකාරයට රැඩිකල් නොවන්නේය යන චෝදනාවය. දරදඬු හමුදා පාලන සමයේ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රබල සටන් පාඨයක් වූවද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැති තනතුරට පත් හිටපු හමුදා නායක තීන් සින්ගේ සාමකාමී පරිවර්තනය යටතේ එහි අදාළත්වය පහත වැටෙමින් පවතී. මියන්මාර් හමුදා පලකයන් මානව අයිතිවාසිකම් කඩකරන්නේය යන චෝදනාව යටතේ එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් පනවා තිබූ සම්බාධක දැන් එකින් එක ඉවත් කර ගනිමින් සිටී. දැන් උදා වී ඇත්තේ බටහිර ආයෝජකයන් මියන්මාරයේ ආයෝජන අවස්ථා ලබාගැනීමේ තරගයකි. එක්සත් ජනපදයෙන් හා යුරෝපා සංගමයෙන් මියන්මාරයට එන රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිත කණ්ඩායම්වලින් රැන්ගුන් නගරයේ ප‍්‍රධාන හෝටල් කාමර පිරී ගොසිනි. 
එක්සත් ජනපදයට දැන් අවශ්‍ය වන්නේ මෙතෙක් චීනයට මියන්මාරයේ පැවති ආධිපත්‍යය බිඳ දමා, තම ආර්ථිකxදේශපාලන හා හමුදාමය ශක්තිය තහවුරු කර ගැනීමටය. නිවාස අඩස්සියට පත් කර සිටි අවුන්සාන් සුකී වෙනුවෙන් පෙනී සිටියේ ද මේ රටවල්ය. එම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම්, ඉදිරියේදී මියන්මාර් දේශපාලනයේ එතරම් උණුසුම් මාතෘකා නොවේ.
අනෙක් අතට මානව අයිතිවාසිකම් ගැන කතා කිරීමේදී අවුන්සාන් සුකී ද දැන් වඩාත් ප‍්‍රවේශම්කාරීය. මෙය හොඳින් කැපී පෙනුනේ මියන්මාරයේ රකීන් ප‍්‍රදේශයේ මුස්ලිම් ආගමික රොහින්ගියා ජන කොටස හා මියන්මාරයේ බහුතරය වූ බෞද්ධ ආගමික බුරුම ජාතිකයන් අතර වූ ගැටුම්වලිනි. 

ජනාධිපති තීන් ෂෙයින්

හමුදා පාලනය යටතේ ද කොන් කරනු ලැබීමට හා වෙනස් කොට සැලකීමට ලක් වූ මෙම ජන කොටසේ මානව අයිතිවාසිකම් ගැන අවුන් සාන් සුකී හෝ ඇයගේ පක්ෂය පැහැදිලි ප‍්‍රතිපත්ති ස්ථාවරයකට පැමිණියේ නැත. ඔවුහූ උන්හිටි තැන් අහිමි කොට පන්නා දැමූ රොහින්ගියා ජන කොටස ගැන කතා නොකළහ. එම නිසා ඉදිරියේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතිවාසිකම් මියන්මාර් දේශපාලනයේ ප‍්‍රධාන සටන් පාඨ නොවේ.
අනෙක් අතට විදේශීය සමාගම්වලට මියන්මාරයේ ආයෝජන අවස්ථා විවෘත කිරීම, ජනමාධ්‍ය නිදහස ලබා දීම, සංගම් පැවැත්වීමේ නිදහස, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය වැනි අගමැති තීන් සින්ගේ ප‍්‍රතිපත්තිවලට වෙනස් වූ ප‍්‍රතිපත්තියක් අවුන් සාන් සුකී මෙතෙක් ඉදිරිපත් කර නැත. ඇත්තෙන්ම ඒවාට විරුද්ධ වීමට ඇයට හේතුවක් ද නැත. මෙවැනි පසුබිමක් යටතේ අවුන්සාන් සුකීගේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත‍්‍රය අගමැති තීන් සීන් අත්පත් කර ගෙන සිටී. ඇයට ඉතිරි වන්නේ වංචා හා දුෂණ වලට එරෙහි වීම පමණි. 
එය කිසිසේත් නොවැදගත් නොවන නමුත් සියලූ ආකාරයෙන් සමාජ සාධාරණත්වය සඳහා පෙනී නොසිටින්නේ නම් යහපත් පාලනයක් යන්න හුදෙක් සටන් පාඨයකට සීමා වනු ඇත. එම නිසා අවුන් සාන් සුකීගේ අනාගත භූමිකාව කුමක්ද යන්න මියන්මාරයට මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අනෙක් අයටද එක සේ වැදගත්ය.

 

 

සටහන: මහින්ද හත්තක

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ සම්මේලනය

 

රජයට එරෙහිව උද්ඝෝෂණයක් ගෙන යන ගැමි ජනතාව

 

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්වෙන්ටා නා