පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, අවි ආයුධ තොගයක් ද සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වූ ඇමෙරිකානු සමාගමකට අයත් නැවක්, අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සේවා ඊයේ (16) උදෑසන නිවේදනය කළේය.
 

ඉන්දීය අත්අඩංගුවට පත්වූ ඇමෙරිකන් නෞකාව.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්, ඊයේ පාන්දර 6 ට පමණ එම නැව අත්අඩංගුවට ගෙන ඇත්තේ එය චෙන්නායි සිට කිලෝ මීටර් 600 ක් දකුණු දෙසින් පිහිටි ටුටිකොරින් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේදීය.

ඇමෙරිකාවේ ලියාපදිංචි ‘එම් ඇස් සීමන් ගාඞ් ඔහියෝ’ නමැති එම නැව, ඉන්දීය මුහුදු සීමාවට සේන්දු වී ඇත්තේ අවසර ගැනීමකින් තොරව බවත්, නැව අත්අඩංගුවට ගෙන සෝදිසි කළ අවස්ථායේදී එහි තිබී ස්වංකී‍්‍රය ගිනි අවි 31 ක් සහ ජීව උණ්ඩ පෙට්ටි 5,000 ක් සොයා ගැනීමට හැකි වුණු බව වෙරළාරක්ෂක නිලධාරීහු කියාසිටියහ.

නැවේ 35 දෙනකු සිටි අතර ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. නැවේ කපිතාන්වරයා ඉන්දීය වෙරළාරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක් විය.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් නැව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කියා සිටියේ, එය අනවසර ආයුධ ප‍්‍රවාහන නැවක් යැයි සැක කරන බවය.

මෙම නැව සියෙරා ලියොන් රාජ්‍යයේ ලියාපදිංචි නැවක් බවත් එය ඇමෙරිකානු සමාගමකට අයත් බවත් පසුව අනාවරණය විය. එම සමාගම සෝමාලි මූදු කොල්ලකරුවන්ට එරෙහිව සාගරයේ ආරක්ෂක කටයුතු සිදු කරන ආරක්ෂක සමාගමක් යැයි ද ඉන්දීය බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටී.

එම සමාගමේ නිලධාරීන් කිහිප දෙනකු ඊයේ උදෑසන වෙද්දී ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බව ද වාර්තා විය.

ගිනිඅවිවලට අමතරව, නැවේ අනවසරයෙන් රැගෙන යන ඞීසල් බැරල් තොගයක් ද තිබුණු බව බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් එන්.ඞී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. නැවේ තිබී හමුවූ ඞීසල් ප‍්‍රමාණය ලීටර් 1,500 කි. නැවට එම ඞීසල් බැරල් පටවා ඇත්තේ ඉන්දියානුවන් පිරිසක් යැයි මේ වන විට හෙළි වී ඇති අතර ඒ ගැන ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙයි.