උණවටුන වෙරළ තීරය

 

  • සංචාරකයන් නැතිව හෝටල් සහ සේවා සපයන්නන් ලෝක අමාරුවේ
  • රුපියල් පන්දාහ අපිට නම් ලැබුණේ නෑ

 

දකුණු මුහුදු තීරය කියන්නේ සෞන්දර්යාත්මක අතින් විදේශීය සංචාරකයින්ගේ ජීවිතවලට බැඳිච්ච සංචාරක කලාපයක්. බොහෝ සංචාරකයින් දකුණු මුහුදු තීරයට ආකර්ශනය වන්නේ ආගන්තුක සත්කාර අතින් දකුණෙ මිනිස්සු සංචාරකයාට ඒ දේවල් නිවැරදිව ලබාදෙන නිසා. ඒ නිසාම ලංකාවට එන විදේශිකයා කටට රසට ලු‍ණු අැඹුල් ඇතුව කෑම ටිකක රස බලන්න දකුණට එන්න අමතක කරන්නේ නැහැ. දකුණෙ මිනිස්සුන්ගෙ ළෙංගතුකමට, දකුණෙ රස බොජුන්වලට වගේම, මුහුද යට සුන්දර අද්දැකීම් විඳගන්න, ඉගෙන ගන්න, ජීවිතය විඳින්න, ලංකාවට ආපු තරුණියක් මුණගැහුණා. ඇය ඇයගේ විශ්වවිද්‍යාල නිවාඩුව ගත කරන්න වෙනත් රටකට වඩා ලංකාවේ දකුණු මුහුදු තීරය තෝර ගත්තේ ශ්‍රී ලංකාවට ඇති ආදරය නිසාමයි. 


“මගේ නම ෂියැන් යැන්, මම ලංකාවට ආවේ ජර්මනියේ ඉඳලා. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. මම සංචාරය කරන්න ගොඩක් කැමතියි. ඒ අතරින් මම සංචාරයට කැමතිම රට ශ්‍රී ලංකාව. මේ පාර සංචාරය කරන්න ලංකාවට ආවත් කොවිඩ් වෛරස බලපෑමත් එක්ක අපිට කාලය ගත කරන්න වුණේ හොටල් කාමර තුළමයි. ලංකාවේ අය අපිට ගොඩාක් හොඳට සැලකුවා. ඒ අය ඇත්තටම ඉතාම ගුණ යහපත්කමින් පිරිච්ච කට්ටියක්. අපි තව සති කිහිපයකින් අපේ මව් බිම බලා පිටත් වෙනවා. ඒත් මෙහෙන් ගියාට පස්සෙ අපිට කවදා ආයේ ලංකාවේ සංචාරයට එන්න ලැබේවි ද කියලා කියන්න බෑ. අපි යෝජනා කරනවා අපේ මව් රටත් සමඟ ශ්‍රී ලංකා රජයට සාකච්ජා කරන්න කියලා මොකද සෞඛ්‍ය ආරක්ෂිත විදිහට රටවල් දෙක අතර සංචාරයේ හැකියාව ලැබේවි කියලා මම හිතනවා. මේ වෙලාවේ සංචාරයට උපරිම සෞඛ්‍ය ආරක්ෂිත රට ශ්‍රී ලංකාව කියලා මම බය නැතුව කියනවා. මේ වගේ ලස්සන රටකට සංචාරක කර්මාන්තයෙන් නැවත ආර්ථිකය නැගිට්ටවන්න ඉතාමත්ම පහසුවෙන් පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට ශ්‍රී ලංකා රජය දුර්වල නැති වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.” 
ශ්‍රී ලංකාවට ආදරය කරන ලොව පුරා වෙසෙන සංචාරකයින් දහස් ගණනින් පිරී ඉතිරිලා ගිය මේ දකුණු මුහුදු තීරයේ කරදිය රැල්ල පවා අද ගොළු වෙලා. කොවිඩ් 19 අද ඒ සියල්ල වෙනස් කර ඇත. 


ලෝකයේ හොඳම වෙරළ තීරයන් අතුරින් අදටත් ලොව හොඳම වෙරළ තීරය ලෙස ඉතිහාසයට එක් වන දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් මනෝරමණීය උණවටුන දකුණු වෙරළ තීරය විදේශිකයින්ට සංචාරක “වාරය - අවාරය” ලෙස කිසි විටෙකත් වෙනසක් නොවුණු මුහුදු තීරයකි. මුළු වසර පුරාම, හොටල් කාමර, රෙස්ටුවරන්ට්, සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගිය මෙම මාවත් බලාපොරොත්තු නොවූ පරිදි ව්‍යාප්ත වූ කොවිඩ් වෛරසයත් සමඟ අද මෙම වෙරළ තීරය එකම හිස් බිමක් බවට පත්ව ඇත. අතරින් පතර ඉතිරිව ඇත්තේ තම මව් රටට යෑමට නොහැකිවූ විදෙස් සංචාරකයන් කිහිප දෙනෙකු පමණි. 


ලොව පුරා සිදුවූ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයින්ට මුලින්ම ලාංකික දොරටුව වැසෙන්නේ 2020 මාර්තු තුන්වන සතියේ සිටය. ඒ කොරෝනා වෛරසය ලොව පුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 කට අධික සංබ්‍යාවක ව්‍යාප්ත වීමත් සමඟය. ඒ සමඟම බොහෝ රටවල් සංචාරකයන් වෙනුවෙන් දොරටු වසා දැමීමට තීරණය කිරීමත් සමඟ කොරෝනා වසංගතයෙන් දරුණුවටම බැට කෑ ක්ෂේත්‍රය වූයේ සංචාරක ව්‍යාපාරයයි. ඒ අනුව සංචාරකයින්ට මුළුමනින්ම වසා දැමුණු ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට දරුණු බලපෑමකට ලක්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. ගුවන් යානා තවමත් තොටුපොළ අංගනවල ගාල් කර ඇත. සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, විලා, රෙස්ට්හවුස්වලට තවමත් ඉබියතුරු වැටී ඇත. විදේශීය සංචාරකයන්ගෙන් ජීවිකාව රැකගත් සුළු, මධ්‍ය, මහාපරිමාණ ව්‍යාපාරිකයින්, රියදුරන් වගේම සංචාරකයාට තැඹිලි ගෙඩියක්, වතුර බෝතලයක්, කුළුබඩු ටිකක්, මැණික් ගලක්, තේ කොළ පැකැට්ටුවක්, මල් පොකුරක්, පහනක් විකුණූ වෙළෙන්ද‌ා ද අද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින අතර ඍජු හෝ වක්‍රව සංචාරක කර්මාන්තයෙන් ජීවත් වූ ලක්ෂ 5කට අධික පිරිසකට අද සිය රැකියාව අහිමිව ඇත. 
 කොරොනාවෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ ගැටලුවලට නිසි පිළිතුරු ලැබුණා ද යන්න අපි සොයාබැලීමක් කළා. දකුණු මුහුදු තීරයේ හික්කඩුව, උණවටුන ප්‍රදේශයේ කළ සංචාරයේ දී ඔවුන් අපට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි. 


වසර 30ට අධික කාලයක් උණවටුණ වෙරළ තීරයේ විදේශිකයින් සඳහා රෙදි ව්‍යාපාරයේ යෙදෙමින් ජීවත් වූ සිරියලතා මහත්මිය ද පත්ව ඇති බේදනීය ඉරණම ගැන අදහස් දැක්වූවේ මෙලෙසිනි, 


 “අපි පවුලේ දහදෙනෙක් කන්නෙ, බොන්නෙ ජීවත් වෙන්නෙ වැල්ලට එන සුද්දන්ට රෙදි විකුණලා. මුලින්ම පුතේ අපිට සුනාමි ඇවිල්ලා සියල්ල ගහගෙන ගියා. ඇඳිවත විතරයි ඉතුරු වුණේ. එද‌ා ලංකාවට ආපු විදේශිකයෝ අපට නැවත රෙදි අරන් දීලා, මුදලින් උදව් කරලා අපිට නැගිටින්න උදව් කළේ විදේශිකයෝ. ඊට පස්සෙ බෝම්බ ගැහැව්වා. ඒත් ඔවුන් අපිව අතහැරියේ නෑ. නැවත ලංකාවට ආවා. ඊට පස්සෙ කොරොනා ආවා. මුළු ලෝකයම බිඳවැටිලා තියෙන වෙලාවක පොඩි මිනිහට සහනයක් දෙන්න බැරි නම් අඩුම තරමේ ලංකාවට විදේශිකයින් ගෙන්වා ගන්න මානුෂීයව වැඩපිළිවෙළක් හදන්න කියලා අපි ඉල්ලනවා.

දණගාගෙන නැගිටින්න වෙලා තියෙන වෙලාවේ ඇයි අපි ලංකාවට එන විදේශිකයාගෙන් පීසීආර් පරීක්ෂණයට කියලා ඩොලර් 100 වීසා ගාස්තුවක් අය කරනව නම් මම හිතන්නෙ නෑ සංචාරකයො ඒවි කියලා. අනිත් එක කවදාවත් සංචාරකයා හිරවෙලා හෝටල්වල වාහනවල ගිහිල්ලා සල්ලි වියදම් කරන්න කැමති නෑ. එයාලා කැමති නිදහසේ ඇවිදින්න. ලක්ෂ ගණන් වියදම් කරගෙන ලංකාවේ දණ්ඩ නීතිවලට යටත් වෙන්න සුදු ජාතිකයො කැමති නෑ. සංචාරක මණ්ඩලේ අය ලක්ෂ ගණන් පඩි ගත්තට ලංකාවෙ සංචාරක ව්‍යාපාරය ගොඩ ද‌ාගන්න ඒ අයට මොළේ නෑ. වැල්ලෙ ජීවත් වෙන මිනිහට ඊට වඩා මොළේ තියෙනවා. බොහෝ විදේශිකයෝ මේ රටට ආදරෙයි. මම කියන්නේ ලංකාව වැටුණ ගොඩක් තැන්වලදි විදේශිකයෝ ලංකාව අතෑරියේ නෑ. ඒ නිසා මේ වෙලාවෙ අඩුම තරමේ ගුවන් ටිකට් පත්, නරඹන තැන්වල ටිකට්, හෝටල්, ප්‍රවාහන සහන මුදලකට දෙනව නම් කොරෝනාවෙන් පස්සේ ඔවුන් සංචාරයට ලංකාව තෝරගන්නවා. රට ගොඩ ගන්න නම් අපි විදේශිකයින්ට සහන දිය යුතුයි. විදේශිකයෝ ලංකාවට ආවේ නැත්නම් අපේ බඩේ බත් නැත. අපි මේ වෙලාවේ ඉන්නෙ හැම තැනටම ණයකාරයෝ වෙලා. බඩගින්නෙ මැරුණත් තවත් අපට ණයට කන්න, ණයකාරයෝ වෙලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමනි, අපිට මේවට විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලනවා. 


 විදේශිකයින්ට රෙදි ව්‍යාපාරයේ නියැලෙමින් ජීවිතය සරි කරගත් චන්ද්‍රකාන්ති මහත්මිය, 
 “අපේ අනාගතය ගැන ඇත්තටම බයක් තියෙනවා. මාස තුනකින් රුපියලක්වත් අපිට නෑ. අපි ඉන්නේ අගෝස්තු 1 වෙනිදා ගුවන්තොටුපළවල් විවෘත කළාම සංචාරකයෝ නැවත ලංකාවට ඒවි කියන විශ්වාසයෙන්. අපේ වැටුණු ව්‍යාපාර ගොඩගන්න කිසිම බැංකු ණය සහනයක් මේ වෙනකම් අපිට ලැබිලා නෑ. බැංකුවට ගිහින් ඇහුවම එහෙම ඒවා ගැන තාම දැනුම්දීලා නෑ කියනවා. ඒ බැංකු ණය දෙන්න දේපළ වත්කම් පෙන්නන්න කියනවා. ගත්ත බැංකු ණයවලට කොළඹින් කතා කරකර අමානුෂික විදිහට බණිනවා මේවා ගෙවන්න කියලා. දෙනවා කියපු සහන කාල කෝ? අපි මේවා කොහෙන්ද ගෙවන්නෙ? අඩුම තරමේ රජයෙන් ලැබුණු රුපියල් 5000වත් අපිට දුන්නෙ නෑ. සුළු ව්‍යාපාරිකයින්ට සහන දෙනවා කියලා ජනාධිපති ටීවීවල කියනවා. කෝ ඒ අපට දෙනවා කියපු සහන. ව්‍යාපාර අපි ඇරගෙන ඉන්නවා. ඒත් දවසට රුපියලක්වත් නෑ. මේවා ගන්න දේශීය සංචාරකයෝ එන්නෙ නෑ. මැයි කියන්නේ රුසියානුවන් විශාල වශයෙන් ලංකාවට ආපු මාසය. මේක අගෝස්තු වෙනකම්ම තියෙනවා. බෝම්බ ගහලත් ගිය අවුරුද්දෙ අපි මෙහෙම වැටුණේ නෑ. මේ වෙලාවේ රටේ සංචාරක කර්මාන්තය ගොඩගන්න අපිට රජයේ සහන අත්‍යවශ්‍යයි. මේ ව්‍යාපාර අපි කරන්නෙ ණය වෙලා. ඒවා ගෙවා ගන්න බැරි වුණොත් ලෝකෙට ණයකාරයෝ වෙලා මැරෙන්න තමයි අපිට වෙන්නෙ. 
සංචාරක ව්‍යාපාරය කියන්නෙ තරුණ පිරිසට ද විශාල වශයෙන් රැකියා උත්පාදනය වූ තෝතැන්නක්. සංචාරක ව්‍යා​පාරිකයකු වන ඔහු එම්.කේ. ඩිල්ෂාන්. 


“මම කිමිදුම්කරුවෙක් ලෙස සහ සංචාරක රෙස්ටුරන්ට් එකක් පවත්වාගෙන යන තරුණයෙක් විදිහට විශාල මුදලක් අපි රජයට උපයලා දෙනවා. සුද්දො දකුණු මුහුදු තීරයට ආකර්ශනය වෙන්නේ කොරල්පර සහ මුහුද යට ලස්සන බලන්න තියෙන කැමැත්තට. තරුණ ප්‍රජාව විදිහට අපි කිසිම වෙලාවක මේ රටට බරක් වෙලා ජීවත් වුණේ නෑ. අපි නිතරම උත්සාහ කරේ සංචාරකයින්ගෙන් විදේශ විනිමය උපයලා දෙන්න. දූපත් රාජ්‍යයක් විදිහට අපේ රටේ සංචාරක කරමාන්තයෙන් උපරිම ආදායමක් අපිට උපයන්න පුළුවන්. මෙතනට එන විදේශිකයෙක් මේ රටෙන් ගියත් නැවත එන්න ආස හිතෙන විදිහට අපි එයාලට අපේ සේවාව සපයනවා. අපිට මේ කර්මාන්තයේ ඕන තරම් අභියෝග ඇවිත් තියෙනවා. ඒ සියල්ල අපි ජය ගත්තා. සුද්දා අපිව කවදාවත් අතෑරියේ නෑ. හැබැයි මේ වෙලාවෙ රජයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළොත් සුද්දා අපිව අතාරිනවා. අපි මහා ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ. මේක මුළු ලෝකයම වැටිච්ච වෙලාවක්. 


මේ වෙනකම් රජයෙන් කිසිම සහනයක් අපට හම්බවෙලා නෑ. කෝ ඔය 4% සහන පොලියට දෙනවා කියන බැංකු ණය? ඒවා දෙන්නෙ හිතවත්කම්වලට. අහිංසක සුළු ව්‍යාපාරිකයට ඒවා හම්බවෙන්නේ නෑ. බැංකුවෙන් කියනවා ඉන්න ගෙවල් බැංකුවට තියලා ණය ගන්නලු‍. ණය අරන් මොනවයින්ද අපි ගෙවන්නේ? මේ තැන්වලට අපි විශාල කුලියක් ගෙවනවා. රට වහලා තිබුණ මාස තුනටත් අපිට කුලිය ගෙවන්න වුණා. මාසික කුලිය 80,000ක්. අපිට මේ බිල්වලට අමතරව ඔක්තෝබර් මාසේ නැවත අපි කුලිය එකවර ගෙවන්න ඕනෑ. රට ඇරපු ගමන් සුද්දො එන්නේ නෑ. ඒ නිසා අපි ඉල්ලන්නෙ දෙනවා කියන සහනයක් අපිටත් දෙන්න කියලා. කුලිය ගෙවාගන්න බැරුව දකුණු මුහුදු තීරයේ හෝටල් 80% වහලා දාලා සංචාරක ව්‍යාපාරයෙන් ඉවත් වෙලා තියෙනවා. මේක ඉතාම බේදනීය තත්ත්වයක්. 


උණවටුන වගේම හික්කඩුව කියන්නෙත් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගිය මනස්කාන්ත සංචාරක පුරවරයක්. මේ සියල්ලම පසුගිය මාර්තු මස අපි නොසිතපු ලෙස කොරෝනාවත් සමඟ අඩපණ වුණා. සංචාරක කර්මාන්තයෙන් ජීවත් වූ බොහෝ දෙනෙකුට තවමත් ජීවත් වීමේ ආර්ථික අර්බුදයට නිසි පිළිතුරක් ලැබී නැහැ. 


 “මගේ නම කැලු‍ම් සම්පත්. මම හික්කඩුව වෙරළ තීරයේ සංචාරක හෝටයක් පවත්වාගෙන යන හිමිකරුවෙක්. අපි කොවිඩ්වලින් පස්සේ බොහොම අමාරුවෙන් නැගිටින්න හැදුවත් ආණ්ඩුවෙන් අපට ඊට කිසිදු සහනයක් ලබා නොදීම ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. හෝටල් සේවකයන්ට පඩි ගෙවාගන්න බැරුව සේවකයෝ ඉවත් කරන්න සිද්ධ වුණා. විදුලි බිල් ගෙවන්න කල් දෙනවා කිව්වට ඇවිල්ලා විදුලිය විසන්ධි කරලා ගියා. රත්රන් බඩු ටික උකස් කරලා ඒකෙන් ටිකක් ගෙව්වා. කාටද මේවා කියන්නේ? සංචාරකයෝ වෙනුවෙන් දුවපු වාහන කොට උඩ. ෆිනෑස් ගෙවාගන්න විදිහක් නෑ. මෙහෙම ගියොත් පීඩනය දරාගන්න බැරුව ජීවිතේ නැති කරගන්න තමයි අපිට වෙන්නේ. අපට විතරක් නෙවෙයි මේ ගැටලු සංචාරක ව්‍යාපාරයේ නියැලෙන හැම කෙනෙකුටම තියෙනවා. මේ හෝටල් හදලා තියෙන්නේ කෝටි ගණන් බැංකුවලට ණය වෙලා. ඒවා එහෙන් හිර වෙලා. ඒ අස්සෙ කියනවා තව ණය අරගෙන සේවක වැටුප් ගෙවන්නලු‍. ඒකත් කමක් නෑ කියමුකෝ ඒ ණය මුදල ගන්න දාහක් ප්‍රශ්න අහනවා. මුන්ට ජනතාව ගැන හිත උණු වෙන්නෙ ඡන්දෙකදි විතරයි. ඔය බැංකු ණය මුදල වුණත් දෙන්නෙ දේශපාලනඥයාට වැඩ කරන එකාට විතරයි. ඇත්තටම කොවිඩ්වලින් පස්සේ ලංකාවේ සංචාරක කර්මාන්තේ නගාසිටුවන්න මධ්‍යම, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකයට මොනවද ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග? මහා පරිමාණ හෝටල්කාරයන්ටත් මාධ්‍ය ඉස්සරහ කටඋත්තර නැති වෙන එකේ, හෝටල් ව්‍යාපාරිකයින්ට, සේවකයින්ට, වක්‍රව සංචාරක ක්ෂේත්‍රයට සැපයුම් කළ අයට සැලසුමක්, දිරිගැන්වීමක් සංචාරක මණඩලයෙන් සහ ආණ්ඩුවෙන් කළා ද? ලංකාවට වැඩිම ආදායම උපයන කර්මාන්තය මේක. ලංකාවට සුද්දො ගෙන්න ගන්න ඔය සංචාරක මණ්ඩලේ පිං බත් කකා ඉන්න එවුන්ට වඩා දේවල් අපි කරනවා. හෝටල් වහලා තිබුණත් අපි මේ තැන් අන්තර්ජාලය හරහා ප්‍රචාරණය කරනවා. මේ වෙනකම් සුද්දෝ වැඩි හරියක් ආවේ අපේ ප්‍රචාරණ දේවල් දැකලා කතා කරලා. 
වසර 30කට වැඩි කලයක් උණවටුන සංචාරක පුරවරයේ හෝටල් හිමිකරුවෙකු වන රූපසේන කොස්වත්තගේ මහතා ද අප වෙත අදහස් දැක්වූවා, 
“කොරොනා වෛරසයත් සමඟ මුළු රටම වහලා තිබුණු කාලයට වඩා දැන් සංචාරක ව්‍යාපාරිකයන් ලෙස කඩා වැටුණු කර්මාන්තය නැවත ගොඩ ගන්නෙ කොහොමද කියන අර්බුද රැසකට අපට මුහුණ දෙන්න වෙලා තියෙනවා. සංචාරක මණ්ඩලය පහුගිය ද‌ා කොවිඩ් 19න් පස්සෙ නැවත අගෝස්තු 1වෙනිදා ගුවන්තොටුපළවල් විවෘත වීම සහ ඉන් පසු සංචාරක ව්‍යාපාර කටයුතු ආරම්භ කළ හැකියි කියන බලාපොරොත්තුව අපට දුන්නා. එහිදී සංචාරක මණ්ඩලය විසින් සංචාරකයෙක් ලංකාවට එනව නම් වීසා ලබාදීමේදී ක්‍රියා කළ යුතු කාර්යය පටිපාටියකුත් හඳුන්වලා දුන්නා. මේ ක්‍රියාපටිපාටියේ හැටියට ලංකාවට එන සංචාරකයෙකුගෙන් වීසාවලට අමතරව ලංකාවට එන්න ඩොලර් 100ක් ගන්නවා. ඒ වගේම වීසා අයදුම් කරන්න ඕන Online ක්‍රමයට. සංචාරකයාගේ සංචාරය කරන ස්ථාන අතුළු වැඩපිළිවෙළ වීසා ලබාගැනීමේදී නවාතැන් ලබා ගන්න හෝටලයට ලබා දිය යුතුයි. එම සංචාරය දින පහකට වඩා වැඩි විය යුතුයි වගේම සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්වලට පමණයි සංචාරකයන්ට පැමිණිය හැක්කේ කියන කාරණය එක්ක සංචාරක හෝටල් කර්මාන්තයේ නියැලෙන අපි විශාල පිරිසක් කබලෙන් ලිපට වැටිලා තියෙනවා. උණවටුන ගත්තොත් 90% ක්ම සංචාරක හෝටල්, ගෙස්ට්හවුස්, කබානාස් තියෙන්නෙ පාරම්පරික සංචාරක ව්‍යාපාර. මේක එදා ඉඳලා ගම්මු විසින් හදාගත්තු සංචාරක ව්‍යාපාරයක්. දකුණු මුහුදු තීරය විතරක් නෙමෙයි ඇල්ල, මිරිස්ස, හික්කඩුව වගේම ලංකාව පුරාම 90%ක ප්‍රමාණයක් ඉන්නේ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොවූ ව්‍යාපාරිකයන්. එතකොට සංචාරක මණ්ඩලය කියනව නම් වීසා ලබා දෙන්නෙ ලියාපදිංචි ආයතනවලට විතරක් කියලා සංචාරක ව්‍යාපාරයේ නියැළී ඉන්න 90%ක ප්‍රමාණයකට මොකද වෙන්නෙ? 


 දකුණු මුහුදු තීරයේ හික්කඩුව ඉඳලා උණවටුණ වෙනකම්ම ඍජු හෝ වක්‍රව මිනිස්සු ජීවත් වෙන්නෙ සංචාරක ව්‍යාපාරයෙන්. මේ හෝටල් නවසිය හැත්තෑ ගණන්වල ඉඳලා ආරම්භ කරපු ස්ථාන. මේවාට ප්‍රාදේශීය සභාවෙන් වෙ​ළෙඳ බලපත්‍ර‍, පරිසර බලපත්‍ර, ටැක්ස් ෆයිල් අරගෙන විදුලි බිල්, වතුර බිල් ගෙවාගෙන පවත්වාගෙන යන ව්‍යාපාර. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න අවශ්‍යය සියලු‍ බලපත්‍ර ලබාගෙන මෙතෙක් කල් කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් කියනවා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නැත්නම් ඒවට නඩු දානවලු‍. මේකට විධිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුවෙන් සකස් කරන්න කියලා අපි ඉල්ලනවා. දැන් ෆයිව් ස්ටාර්, ත්‍රී ස්ටාර් කියලා හෝටල් ගැහැව්වට ඇත්තම කියනව නම් මේක ගම්මු ගෙදර කාමරය විදේශිකයාට නවාතැන් දීලා ඒක දියුණු කරගෙන හෝටල් බවට පත් කරගත්ත සංචාරක ව්‍යාපාරයක් තමයි උණවටුණෙ තියෙන්නෙ. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ඒවට විතරක් විදේශිකයන්ට යන්න අවසර දුන්නොත් මේ මිනිසුන්ට මොකද වෙන්නේ. මේක බරපතළ ගැටලු‍වක්. 


තව්තිසා සංචාරක හෝටලයේ හිමිකරු වන නිමල් ගීගනගේ මහතා පත්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් එක් කළේ මෙලෙසය, 


“අපිට සේවකයින්ට පඩි ගෙවන්න කියලා ආණ්ඩුවෙන් 4% ක සහන පොලියක් යටතේ ණය මුදලක් දෙන්න රජය තීරණය කරලා තියෙනවා. ඒත් ඒවා ගෙවන්න උපයගන්න පුළුවන් වේවිද කියන ගැටලු‍ව අපට තියෙනවා. රටක් විදිහට මේ ප්‍රශ්නයට අපට උත්තරයක් ඕනෑ. සහනේ දුන්නා සහනේ මාරයි, හැබැයි මේවා ඡන්දෙ කාලෙට එන දේවල්. ඒත් ඡන්දෙන් පස්සෙත් අපි ජීවත් විය යුතුයි නේද? මේ හෝටල් අපි මාස හයකට සැරයක් තීන්ත ආලේප කළා. සැලසුම් වෙනස් කරා. ඒ සියල්ල දැන් අඩපණ වෙලා තියෙන්නේ. මේවට පැලැස්තර අලවලා අපිට බැහැ. පවතින විසඳුමක් අවශ්‍යයි. ඒත් අපිට රජය දෙන්නෙ විසඳුම් නෙමෙයි. ආණ්ඩුව කරන්නේ අපිව තවත් ණයකාරයෝ කරන එක. බෝම්බ ගහපු වෙලාවෙත් අපිට 4% පොලියට ණය දුන්නා. ඒ ණය තාමත් ගෙවනවා. එදා ණය දුන්නේ ඩොලර් හම්බකරන ව්‍යාපාරයකට අද එයාලට තක්සේරු කරන්න වෙලා තියෙන්න බිල්ඩිමක්. බැංකු සහනය ජන්දය ඉලක්ක කරගත්ත ලොසින්ජර බෙදීමක් විතරයි. කරනව නම් ආණ්ඩුවට කළ හැකි දේවල් ගොඩක් තියෙනවා. හිනාවෙලා කතා කරන සංස්කෘතියට පිංසිද්ධ වෙන්න අපේ රටට සුද්දො ටිකක් එනවා. අමාරුවෙන් සුද්දො ගෙන්න ගන්න ඕනෑ වෙලාවක වීසාවලට වැඩිපුර ඩොලර් 100 ගත්තොත් එයාලා ඒවිද? අපි කොවිඩ් පාලනය කරපු එකම රට කියලා සුද්දට වියදම් කරගෙන මෙහේ වරෙල්ලා කියලා ඉන්නව නම් අපිට හුළනුත් නැතිවෙනවා ඉස්සරහට. කොවිඩ් එක්ක ටුවරිසම් ගැන කතා කරන එක හීනයක්. මගේ ළඟ සේවකයෝ 96 විතර වැඩ කරා. සහරාන් ගහපු වෙලාවෙත් ඒ අයව අයින් කරේ නෑ. ඒත් මේ වෙලාවෙ මට සේවකයින්ව ඉවත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. 

 


අර්බුද රැසකට මුහුණපා සිටින සංචාරක කර්මාන්තයේ ප්‍රධානම ගැටලුව වන්නේ සංචාරකයින් අපේ රටට ගෙන්වා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද යන කාරණයයි. සංචාරක සමාගමක අධ්‍යක්ෂවරයෙක් වන නාලක කරුණාකළගේ මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය, 
 ඇත්තටම අපි මේ වෙලාවේ රටක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කාරණය තමයි නැවත අපේ රටට සංචාරකයන් ගෙන්වා ගන්නේ කොහොමද කියන ගැටලුවට මුහුණ දෙන එක. ඒකට අපි අනිත් රටවලිනුත් අදහස් යෝජනා ගත යුතුයි. දැන් අපි දන්නවා කොවිඩ් පාලනය කරපු අලු‍තින් ආසාධිතයන් හමු නොවුණු හෝ රෝගීන් අඩු ප්‍රමාණයක් වාර්තාවන රටවල් අතර “ට්‍රැවල් කොරිඩෝර්’’, “ට්‍රැවල් බබ්ල්’’ සංකල්පය හරහා සංචාරක ව්‍යාපාර නැවත සක්‍රිය කිරීමේ අලු‍ත් තාලයේ රාජ්‍යතාන්ත්‍රික අලෙවිකරණ ක්‍රියාවලියක් සාකච්ඡා වෙමින් පවතිනවා. අපි හිතනවා වගේ ලංකාවට දඩස් ගාලා එයාර්පෝට් ඇරපු ගමන් සුද්දෝ එන්නේ නෑ. ලංකාවේ සංචාරක බලධාරීන්ට සහ රජයට ඊට ක්‍රියාත්මක වෙලා ආරක්ෂා සහිත ලිහිල් නිරෝධායන නීතිරීති සහිත ද්වීපාර්ශ්වික සංචාරකයන් හුවමාරු කරගැනීමේ සංචාරක ව්‍යාපාරයකට යොමුවිය යුතුයි. මුලින්ම සොයන්න ඕන මේ වෙනකොට ප්‍රශ්න නැති ආරක්ෂිත රටවල්. උදාහරණයට ගත්තොත් ජපානය, වියට්නාමය, තායිලන්තය මේ වෙනකොට කොරෝනා පාලනය කළ රටවල්. කෙසේ වෙතත් තායිලන්ත, වියට්නාම වැනි රටවල් සමඟ සංචාරක කොරිඩෝර් ඇති කිරීමට ලංකාවේ සංචාරක බලධාරීන් සහ ගුවන්යානා සමාගම් උනන්දු වෙනවා නම් ආර්ථික වශයෙන් ලංකාවට පාඩුවක් නොවන්න එවැනි රටවලින් ලංකාවට එන විදේශිකයො වැඩිකරගන්න පුළුවන්. වසංගතයට පෙර පවා ලාංකික බලධාරීන් ඵලදායී අයුරින් සුදුසු ආකාරයට ඒ රටවල භාෂාවන්ගෙන් අලෙවිකරණ කටයුතු සිදුකර නැති නිසා අලු‍තින් “ඩෙස්ටිනේෂන් මාර්කටින්’’ ක්‍රමවේදයක් සිදු කළ යුතු වෙනවා. ලංකාවත් ආරක්ෂිත රටක් කියලා ඔප්පු කරොත් විදේශිකයෝ නැවත ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්. මුලින්ම සංචාරකයින්ට වඩා අපි බලන්න ඕනෑ ව්‍යාපාරවලට එන අයව.

ඒ වගේම සමහර ධනවත් යුරෝපයේ රටවල විශ්‍රාම ගිය වයසක අය ඉන්නවා විශ්‍රාම වැටුපෙන් එයාලට එයාලගේ රටේ ජීවත් වෙනවට වඩා ලාභයි ලංකාව වගේ රටක ජීවත් වෙන එක. මේ අයට විශේෂිත විශ්‍රාමික වීසා ක්‍රමයක් අපට හදලා දීලා විශ්‍රාම වැටුප එක්ක අපේ රටට ගෙන්න ගන්න ක්‍රමවේදයක් සැලසුම් කරන්න පුළුවන්. තව වැඩමුළු, විවිධ පුහුණු සඳහා එන විදේශිකයින්ව ගෙන්නගන්න සහන වැඩ පිළිවෙළ සකස් කරන්න පුළුවන්. මේවට උපක්‍රම සංචාරක බලධාරීන් හොයන්න ඕන. තව අපට පුළුවන් ලංකාවේ යෝග, දේශීය රූපලාවන්‍ය, දේශීය බෙහෙත්, දළද‌ා මාළිගාවේ, රුවන්වැලිසෑයේ, ශ්‍රී මහා බෝධියේ ආශිර්වාද පූජා ප්‍රචාරය කරන්න පුළුවන් නම් බෞද්ධ රටවල්වලට ඉන්දියාවට ඇදුනු විදේශිකයෝ අපට ගෙන්න ගන්න මේ හොඳ අවස්ථාවක්. මේවට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙලා රජයෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඉස්සර වගේ ලංකාව හොයාගෙන එන විදේශිකයෝ දැන් නෑ. ලංකාවේ කොවිඩ් නොතිබුණු පළාත්වල බලන්න තියෙන තැන් පිළිබඳ මේ වෙලාවේ සංචාරක බෝඩ් එකට හොඳ ප්‍රචාරණයක් දෙන්න පුළුවන්. දේශීය සංචාරක ක්ෂේත්‍රයේ ජීවත් වන අයට ක්ෂේත්‍රයේ රැඳෙන්න ඒක උදව්වක් වෙනවා. මේවා ඉතා පහසු දේවල්. ඒත් සංචාරක මණ්ඩලය දේශීය සංචාරකයින්ව පෙලඹවීමක් කරන්නේ නෑ. ට්‍රැවල් ඒජන්සිවලට විදෙස් රටවලට ගිහින් ප්‍රචාරණ කටයුතු කරන්න මේ වෙලාවෙ ආර්ථික අතින් අමාරුයි. රජයක් හැටියට ඒ දේවල්වලට ණය සහනයක් දෙන්න පුළුවන්. 


 අවාසනාවකට අපේ රටේ සංචාරක මණ්ඩලේ ඉන්නෙ උද්දච්ච කලු‍ සුද්දො ටිකක්. එයාලා නිතරම දිව්වෙ යුරෝපයට, එංගලන්තයට, ඇමෙරිකාවට. මේවට ගිහිල්ලා “ටුවරිසම් ඩිවලොප්මන්ට්” කියලා ටැක්ස් එකක් අරන් ප්‍රචාරණ කටයුතු කරනවා කියලා ආණ්ඩුවෙ බදු මුදල් වියදම් කරලා දියුණු රටවල සවාරි ගහපු එක තමයි සංචාරක මණ්ඩලය මෙච්චර කාලයක් කරේ. අනිත් එක තමයි ලංකාවේ සංචාරක බලධාරීන් කළේ ලංකාව සොයාගෙන එන විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණයයි, ලංකාවේ සංචාරක ඒජන්සි සහ පෞද්ගලික ව්‍යාපාරිකයෝ ටික පුළුවන් විදිහට ලංකාවට ගෙන්න ගත්ත සංචාරකයන්ගේ ප්‍රමාණයයි. සංචාරක වීසාවලින් විවිධ වැඩවලට ලංකාවට ආපු ප්‍රමාණයි දාලා තමන්ගේ සංබ්‍යාලේඛන පුරවලා අනුන්ගේ මල් වට්ටියට අත ගහපු එක. ඔවුන් ලක්ෂ ගණන් පඩි ගත්තට මේචචර කාලෙකට සංචාරක කර්මාන්තයේ ප්‍රචාරණය සම්බන්ධයෙන් ටුවරිස් බෝර්ඩ් එක කරපු දේවල් ගැන සෑහීමකට පත් වෙන්න බෑ. අලු‍තින් දෙයක් කරන්න දැනුමක් එයාලට නෑ. මේ වෙලාවෙ ගඟ ගලනවා වගේ එන මල් වට්ට් දැන් එන්නෙ නෑ. දැන් මල් නෙළන්න කාලේ ඇවිල්ලා තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න යම් යම් උපක්‍රම කල්පනා කරන්න වෙනවා. සංචාරක මණ්ඩලයට ඔළුවෙන් වැඩ කරන්න දැන් පටන් ගන්න ඕන කාලය අැවිල්ලා තියෙනවා. මේ නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් දෙසට ජනාධිපතිතුමාගේ අවධානය අනිවාර්​ෙ‌යන්ම යොමු විය යුතුයි.

 

‍සටහන - ඡායාරූප
නදීශා අතුකෝරළ