පළමු විශේෂ ඩීසල් දුම්රියේ බ්‍රෙබන්ට් ආදිපාදයා ගමන් ගනී   
ගාල්ලේ නිව් ඔරියන්ට් හෝටලයේ සාදයක්   
කළුතර පඩිකාර මුදලිගේ විවාහයට ඉංග්‍රීසි රජයෙන් විශේෂ දුම්රියක්   
ගාල්ලට ගිය කෝඩු ගමන   
ඩීසල් දුම්රිය නිසා දුම්රිය සේවයේ නව යුගයක්   
කොළඹ සිට මහනුවරට එක මගියකුට පවුම් දෙකයි සිලින් දහයයි  
 

 

‘පාරවල් තනන්නා’ නමින් ප්‍රකටව සිටි ලංකාණ්ඩුකාර සර් එඩ්වඩ් බාර්න්ස් එම තනතුරින් ඉවත්වන විට මෙරට සෑම නගරයක්ම දක්වා මහ පාරවල් ඇතිවී තිබුණි. 1822 සිට 1825 දක්වා වෙන විට කොළඹ-මහනුවර මහා මාර්ගය බොහෝ දුරට අවසන්ව තිබිණ. 1832 ප්‍රථම ‘මේල් කොච්’ හෙවත් අශ්ව කෝච්චිය භාවිතයෙන් පසුව 1867 ජූලි මාසයේ සිට තැපැල් ගෙනයාම දුම්රියට බාරදෙන ලදී. දුම්රිය ගමනාගමනය සඳහා මහා පෙරළියක් කරමින් ප්‍රථම පස් පිඩැල්ල කපා ඇත්තේ 1858 අගෝස්තු 03 වැනිදා බව පැවසේ.  

 
මේ ඓතිහාසික අවස්ථාව ගැන තොරතුරු නුවරඑළියේ හේමපාල විසින් ලියන ලද ‘අශ්ව කෝචිචයෙන් ආකාශ යාත්‍රාවට’ නම් කෘතියේ සඳහන් වෙයි.   


‘ප්‍රථම පස් පිඩැල්ල කැපීමෙන් ආරම්භ කරන ලද උත්සවය පැවැත්වීමට මරදාන හන්දියෙන් හැරී ගොස් හමුවන දෙමටගොඩ ප්‍රදේශයේ භූමියේ භූමිභාගයක් එළි පෙහෙළි කොට සූදානම් කොට තබන ලදී. එය ඉදිකෙරුණු වීදුරු සහිත ශාලාව පළිඟු මාලිගාවක සිරි ගත්තේය. මනරම් රුක් අතු ලතාදියෙන් සැරසූ එහි ඇතුළත දෙපස ලෙළ දුන් නානා වර්ණ කුඩා ධජවල මහාමාර්ගය හා දුම්රිය සංවර්ධනය පිළිබඳ පාඨ ලියා තිබුණි. වික්ටෝරියා රැජිණට දේවාශිර්වාද ලැබේවා යන ධජ පතාකයක් ශාලාව කෙළවර ඉහළ මැද සවි කෙරිණි. ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය ස්ථාපනය කිරීමේ ප්‍රාරම්භක මහා උළෙල මෙම ශාලාවේ කෙතරම්​ ඓශ්චර්යමත් අන්දමින් පැවතුණේද යත් එදා පුවත්පත් ඒ ඓතිහාසික අවස්ථාව පළ කිරීමට පසුබට වූයේ නැත.   


මංගල පස් පිඩැල්ල කැපීමෙන් සිව් මසක් ඇවෑමෙන් 1858 දෙසැම්බර් 08 වැනිදා සර් හෙන්රි වෝඩ් (1855-1850) විසින් ලංකාවේ දුම්රිය යෝජනාක්‍රමය ආරම්භ කළේය. ලංකාවේ ප්‍රථම දුම්රිය මාර්ගය තනවන ලද්දේ ඔහු විසිනි. එහෙත් ඔහුට එය සම්පූර්ණ වෙනතුරු ජීවත්වීමට වරම් නොතිබිණ. මහනුවර වැව අසල ඔහුගේ ප්‍රථිමා සිහිවටනයක් තැනූ මහජනතාව කවියක් ලියා උපහාර දක්වා ඇති බව සඳහන්වේ.   


පළමුව පස් පිඩ හෙළූ දුම්රිය මගට   
හෙළ නරනිඳුන් කලුරිය කළ දුක සැමට   
පළකර තිබූ පිළිරුව වැව ඉදිරි පිට   
බලමින් දුක් නොවන්නේ කාගෙද සිතට

 
සර් වෝඩ් ගෙන් පසු පැමිණි සර් හර්කියුලීස් රොබින්සන් ආණ්ඩුකාරවරයා (1865-1872) වෝඩ්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය. 1864 ප්‍රථම ධූමරථ යන්ත්‍රය ලංකාවට ගොඩබෑම සිදු වූ අතර පළමුවැනි විශේෂ දුම්රියෙන් බ්‍රෙබන්ට් හි ආදිපාදතුමා අඹේපුස්ස දක්වා කැඳවාගෙන ගොස් ඇත. 1874 නාවලපිටිය මාර්ගයත් 1877 කොළඹ සිට මොරටුව දක්වා මාර්ගයද 1879 කළුතර මාර්ගයද, 1884 හැටන් සහ තලවකැලේ තෙක් මාර්ගයද, 1893 බලන්ගොඩ හා හපුතලේ මාර්ගද, 1894 ගාල්ල මාර්ගයද, 1902 අවිස්සාවේල්ල දක්වා කැලණි මිටියාවත් දුම්රිය මාර්ගයද, 1903 අනුරාධපුර හා නුවරඑළිය මාර්ගද, 1905 දී පල්ලෙයි දක්වා උතුරු දුම්රිය මාර්ගය සම්බන්ධ කිරීමද 1908 ජා ඇල දක්වාද මාර්ග විවෘත කරන ලදී. 1912 සර් හෙන්රි මැකලම් ආණ්ඩුකාරයා විසින් රත්නපුරය දක්වා මාර්ගය විවෘත කළ අතර 1914 ඉන්දු ලංකා දුම්රිය මාර්ගය 1916 හලාවත දක්වාද, 1924 දී සර් විලියම් මැනිං ආණ්ඩුකාරයා බදුල්ල හා 1927 ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ග විවෘත කර ඇත.   


​ෙකාළඹ සිට මහනුවර හෝ මහනුවර සිට කොළඹට දුම්රිය ගමනට එක් මගියෙකුගෙන් පවුම් දෙකකුත් සිලිම් දහයක් අයකර ඇත.   
1938 පෙබරවාරි 25 වැනි සිකුරාදා දිනමිණ පත්‍රයේ විශේෂ අතිරේකයකින් පළමුවැනි ඩීසල් දුම්රිය කොළඹ සිට ගාල්ල බලා යන ගමන ගැන විස්තර කර තිබුණි.   


ඩීසල් දුම්රිය අතිරේකය   
අද සිට ආරම්භ වෙන ලංකා දුම්රිය සේවයේ නව යුගය   
පවන් වේගයෙන් දිවෙන ඩීසල් විදුලි දුම්රිය ගෙන්වීමෙන් ආරම්භ කරන සුව පහසුකම් ඇති ඉක්මන් සේවය   
1938 දිනමිණ ඩීසල් දුම්රිය අතිරේකයේ ශීර්ෂ පාඨ විය.   

එහි මෙසේද සඳහන් වී තිබුණි.   
රාජ්‍ය මන්ත්‍රණ සභාපති මහතා රාජ්‍ය නිලධාරීන් තිදෙනා ඇමැති මණ්ඩලය සහ රාජ්‍ය මන්ත්‍රීවරු පමණක් නොව සැලකිය යුතු පක්ෂයකට අයත් මහජන ප්‍රභූන් සහ වාණිජාදී කටයුතුවල යෙදී සිටින වැදගතුනද කැඳවා මේ පළමුවැනි ගමනට යොදා ගැනීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද මේ අභිනව සේවය උත්සවයෙන් ආරම්භ කරනු ලැබේ. මේ උත්සවයට සහභාගි වෙන ලෙස කැඳවනු ලැබ සිටින සියයක් පමණ අමුත්තන්ට රථය ගාල්ලට ළඟා වූ ඉක්බිති අතුරුපසයෙන් සංග්‍රහයක්ද පැවැත්වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කරනු ලබන සංග්‍රහය පවත්වන්නේ ගාල්ලේ නිව් ඔරියන්ටල් හෝටලයේදීය.

  
1938 පෙබරවාරි 25 දිනමිණ මුල්පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨය මෙසේ විය.

  
අද පවත්වන දුම්රිය මංගල්‍යය   
ප්‍රථම ඩීසල් දුම්රියට නම් තැබීම   
ගාල්ලට යන කෝඩු ගමන

  
අද උදේ 9.40ට කොළඹ කොටුවේ දුම්රිය පළේ අංක 5 දරණ වේදිකාවේදී මංමාවත් සහ කර්මාන්ත ඇමැතිවරයා විසින් අලුත් ඩීසල් දුම්රිය තුනෙන් පළමුවැනි දුම්රියට නම් කර එය විවෘත කරනවා ඇත. මේ දුම්රියට කුමන නමක් තබන්නට යන්නේ දැයි තවම දැන ගන්නට ලැබී නැත. මේ දුම්රියට යෙදීමට යන නම සහිත රිදී පුවරුව එංගලන්ත​යේ කර්මාන්ත ශාලාවක පිළියෙල කරන ලද්දකි.   
ගාල්ලේ මහ හෝටලයේ දවල් කෑම ගැනීමෙන් පසු දවල් 2.7ට ගාල්ලෙන් ආපසු පිටත්වන ඒ දුම්රියෙන් ඒ පිරිස ආපසු කොළඹට පැමිණෙනවා ඇත. සවස 4.15ට පමණ ඒ දුම්රිය කොළඹට පැමිණේ යැයි කල්පනා කර තිබේ.   


මාර්තු මැද හරියේදී පමණ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය අභිනව ක්‍රමයකට පිළියෙල කිරීමෙන් පසු මහජනයාට ඩීසල් දුම්රියෙන් ගමන් කිරීමට පහසුකම් ලැබෙන බව ද පුවත්පත්වල වාර්තාවී තිබුණි. මේ නවීකරණය නිසා තුන්වැනි පන්තියේ පවා ඩීසල් දුම්රියේ ලැබෙන මෙත්ත යොදා පිළයෙල කළ ආසන පහසුකම් පමණක් නොව විදුලි ආලෝකය, විදුලි පංකා ආදී තවත් පහසුකම් ලැබෙන බවත් මේ නිසා තුන්වැනි පන්තියට වැඩි වැඩියෙන් ජනතාව ඇදී එතැයි විශ්වාසය පළ කර ඇත.

  
එකට එක් කරන ලද රිය මැදිරි සතරක් සහිත ඩීසල් විදුලි දුම්රිය ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් සීමාසහිත එංගලන්තයේ විදුලි කටයුතු පිළිබඳ සමාගමකට අයත් ප්‍රෙස්ටන් කර්මාන්ත ශාලාවේදී නිම කරන ලද්දකි. මේ විදුලි ධූමරථ මහා බ්‍රිතාන​්‍යයෙහි තනන ලද ඒ වර්ගයට අයත් ප්‍රථම රථය යයි කියා ඇත. ලංකා දුම්රිය දෙපාර්ත​මේන්තුවේ ප්‍රධාන කාර්මික ඉන්ජිනේරු ඩබ්ලිව්.ඒ. ස්මිත් මහතාගේ උපදෙස් පරිදි මෙය සාදා ඇත. සම්පූර්ණ මගීන් සංඛ්‍යාවක් ඇතිව සුමට පිහිටි මාර්ගයක පැයට සැතපුම් 55ක වේගයෙන් ධාවනය කරවිය හැකි ඩීසල් දුම්රියකි මේ. එක දුම්රියක පළමුවෙනි පන්තියේ මගීන් 27 දෙනකුට ද දෙවෙනි පන්තියේ 42කටද තුන්වැනි පන්තියේ 241 දෙනකුටද ගමන් කිරීමට මෙහි ඉඩකඩ ලබා තිබුණි.   


ඩිසල් දුම්රියක ඇන්ජින් යන්ත්‍රයක තෙල් ටැන්කියේ ප්‍රමාණය ගැලුම් 156ක් බව සඳහන්ව ඇත. දුම්රියෙන් යා හැකි විනෝද ගමන් හා සතියේ නිවාඩු දින ප්‍රීතිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ පහසුකම් සපයාදී තිබුණි. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඩීසල් රථ දිවීම ආරම්භ වීමෙන් පසුව කොළඹ නගරයේ වැඩ කටයුතුවල ​ෙයදී සිටින බොහෝ දෙනාට සතිය අගදී වැඩ කටයුතු නිමවා විවේක ගැනීමට ගෙවල්වලට යා ගැනීම දැනට වඩා ඉක්මනට කරගත හැකි බව නිවේදනය කර ඇත. සතිය අග දී මුහුදේ නෑම පිණිස හික්කඩුව, අම්බලන්ගොඩ, නොහොත් බෙන්තොටට යන ජනයාටද ඩීසල් රථ සේවය මහත් පිහිටක් වෙයි. එයින් වඩා ඉක්මනට සහ සැප පහසු ඇතිව ද ගමන් කළ හැකි බැවිනි. ඩීසල් රථ සේවය ආරම්භ කිරීමේ අදහස වනාහි දුර ගමන්වල යෙදෙන සීමා සහිත සංඛ්‍යාවක් මගීන්ට වඩා සැප පහසු ඇතිව පිළිවන් ඉක්මනින් එබඳු ගමන් යන්නට මාර්ගයක් සලසාදීමය. 1938 මාර්තු 14 වැනිදා අභිනව ඩීසල් දුම්රිය සේවය ආරම්භ කළ පසු දැනට ගෙන්වා තිබෙන ඩීසල් රථ තුනම මුහුදුබඩ මාර්ගයේ පිළිවෙළින් දුවන බවද නිවේදනයක සඳහන්වී ඇත. මෙයින් එක් ඩීසල් රථයක් මරදාන සහ ගාල්ල අතරත් තවත් එක් රථයක් අලුත්ගම සහ මාතර අතර සේවය පිණිස යොදා ඇත. දුම්රිය සේවයක් ආරම්භ කිරීම කෙරෙහි ප්‍රධාන කොට බලපෑවේ කෝපි වැවිලිකරුවන් හා කෝපි වෙළෙඳුන්ගෙන් එල්ලවූ බලපෑම් බව සඳහන් වේ. සී. බ්‍රෑක් එලියට් නම් බ්‍රිතාන්‍ය ජාතික රාජනීතිඥ ලියූ the real Ceylon (සැබෑ ලක්දිව) කෘතියේ ඔහු මහනුවර සිට කොළඹට ගිය දුම්රිය ගමනක් විස්තර වෙයි. (සමයවර්ධන ප්‍රකාශනයක් වූ මේ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය එල්.බී. හේරත්ගෙනි) එහි මෙසේ සඳහන් වෙයි.   


මෑතදී මම උදේ දුම්රියෙන් මහනුවර සිට ගමන් කළෙමි. මීට ඉහතදී නොයෙක් වර අවට දර්ශනය දැක ඇති නමුදු පිරිසිදු අලුත් වාතයෙන් පෙණහැලි පුරවාගෙන ඈතට විහිද ගිය ගම්බද සුන්දරත්වයෙන් මගේ ජීවයට නව පණක් පිඹ ගත්තෙමි. සැතපුම් 70ක් දුර දුම්රියෙන් යන මේ ගමනේදී තරම් කිසිම රටක හරස් කඩක රමණීය දර්ශනයක් සංචාරකයකුට ලැබෙන්නේ ඉතා කලාතුරකිනැයි මම සිතමි. ලංකා රජයේ දුම්රිය සේවය මුළු රට පුරාම වාගේ ව්‍යාප්තවී ඇත. දුම්රිය ගාස්තු ඉතා අඩුය. කැමැති පරිදි සංචාරය කිරීම සඳහා සති දෙකේ වාර ප්‍රවේශපත්‍රයක් රුපියල් 50කට මිලදී ගත හැකි අතර මාසික වාර ප්‍රවේශ පත්‍රයක් රුපියල් 75කි.  

 
මීල අඩු සති අන්ත ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත් කෙනෙකුට සිකුරාදා රාත්‍රී 9.45ට කොළඹින් පිටත්ව ගෝල්ෆ් ක්‍රීඩාවට හෝ මසුන් බිලි බෑමට කල් ඇති වනසේ පසුදින උදේ 8.00ට නුවරඑළියට ළඟාවිය හැකිය. ඉරිදා රාත්‍රී නුවරඑළියෙන් පිටත්වන ඔහුට තවත් සතියක වැඩ ඇරඹීමට තරම් මනා සෞඛ්‍යයෙන් උදේ 7.30ට කොළඹට පැමිණිය හැකිය. මහනුවර සිට බදුල්ල දක්වා යන ගමනේදී වනගහන පසුබිම් කරගෙන කඳු බෑවුම් වසා ගත් තේ වගාවන් ඇති උඩරට හරස්කඩ දර්ශන හමුවේ. විශාල කණ්ඩායමක් නම් වැඩිපුර මුදල් ස්වල්පයක් ගෙවීමෙන් රෝද උඩ යන සමාජ ශාලාවක් ලබා ගත හැකිය. එය මනහර විශේෂ මැදිරියකි. වඩාත් සැප පහසුකම් ඇති විශාල දුම්රියවල ආපනශාලා ද තිබේ. දුෂ්කර බාධක පසුකරගෙන අඩි 6000ටත් වඩා ඉහළට විහිද යන රේල් පීලි අතර පුළුල් පරතරයක් ඇති මේ දුම්රිය මාර්ගයෙහි ශිල්පීය වශයෙන් ඉංජිනේරුවන්ට විශාල වැදගත්කමක් ඇත්තේමය.  

 
රාජනීතිඥ සී. බ්‍රෑක් එලියට් කියා ඇති පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව සිල්ව ​ෙෆා්ම්, සිල්ව ස්ප්‍රේ සහ සිල්ව මිස්ට් නමැති අලංකාර ඩීසල් දුම්රිය තුනක් එංගලන්තයෙන් ලංකාවට ආනයනය කර ඇත. ඔහු ලංකාවට පැමිණෙන සංචාරකයින්ට තරයේ උපදෙස් දී ඇත්තේ මේ ඩීසල් දුම්රිය ගමන සැබැවින්ම ප්‍රියජනක බවය. මුහුදේ නාන අයට බෙහෙවින් ප්‍රිය වූ අයට වැලිගම පසුකර මාතර දක්වා දිවයන ඩීසල් දුම්රිය වඩාත් හොඳ බවය.  

 
ලංකාවේ ප්‍රකට ධනවත් පඩිකාර මුදලිතුමෙකුගේ විවාහයක් වෙනුවෙන් ඉංග්‍රීසි ආණ්ඩුව විශේෂ ඩීසල් දුම්රියක් යෙදවීම 1916 වසරේ රටපුරා පැතිර ගිය ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියකි. මේ පඩිකාර මුදලිවරයා කළුතර, රිච්මන්ඩ් මැදුරෙහි විසූ ආතර් ද සිල්වා විජයසිංහය. ඔහු හැඳින්වූයේ කළුතර මහ ධන සිටුවරයා නමිනි. දහනව වැනි සියවසේ සහ විසිවැනි සියවසේ මුල් භාගයෙහි ජීවත් වූ ඔහුගේ අනුවේදනීය ශෝකාන්තය සහිත චරිතාපදානය ‘රැජින’ පුවත්පතේ කර්තෘ ඉන්දු පෙරේරා ලියා ඇත. එහි මේ දුම්රිය සිද්ධිය මෙසේ වාර්තා වී ඇත.   


මුදලිතුමන් (ආතර් ද සිල්වා විජයසිංහ) ලංකාවේ අභිනව ආණ්ඩුකාර ජෝර්ජ් ඇන්ඩර්සන් හමුවීමට කොළඹ රජගෙදර බලා පිය නගන ලද්දේ තම සරණ මංගල්‍යය සඳහා ඔහුට ආරාධනා කිරීමටය. මට නෙමෙයි මුඩ්ලියර් කෙලින්ම එංගලන්තයේ මහ රජතුමාට ආරාධනා කරන්න. මුඩ්ලියර්ට බැරි වෙන එකක් නැහැ මඟුලට රාජකීය නියෝජිතයෙක්ව ගෙන්වා ගන්න. මම ගවනර් වුනාට රාජකීය කෙනෙක් නෙවෙයිනේ. ආණ්ඩුකාර ජෝර්ජ් ඇන්ඩර්සන් මුදලිතුමන් හට සුහද ලෙසින් කීය.  


හොඳයි මම ඒ යෝජනාව පිළිගත්තාය කියමු. ඒත් මට සර්ගෙනුත් මේ කටයුත්ත සාර්ථක කර ගන්න උදව් උපකාර ඕනෑ. මුදලිතුමන් තම අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නාක් මෙන් ආණ්ඩුකාර හට දැන්වීය. අපේ මුදලිවරුන් පිළිබඳ සේරම වාර්තා ඒජන්තවරුන්ගෙන් ගෙන්නා ගෙන කියවා බැලුවා. ඒ අනුව මුඩ්ලියර් වෙනුවෙන් ලොකු යුතුකම් කොටසක් ඉටු කරන්න අපට ශක්තිය තියෙනවා. එහෙම නම් මුඩ්ලියර්ට මනමාලිව කැන්දගෙන එන්න අපේ ආණ්ඩුව ගණනේ ​ෙකා්ච්චියක් දෙන්නම්. අග්‍රාණ්ඩුකාර තැන මුවගට නංවා ගත් මද සිනාවකින් යුතුව කීය.   


“කෝච්චියක්ද” මුදලතුමන් එය උච්චාරණය කරන ලද්දේ විස්මයෙන් යුතුවය. ඔව්. මංගල ගමනට ලංකාණ්ඩුව ගණනෙ කොළඹ සිට කළුතරට විශේෂ දුම්රියක්. අග්‍රාණ්ඩුකාර තැන පවසත්ම මුදලිතුන්ගේ සිතට මහත් සොම්නසක් දැනිණ. යමෙකුගේ මංගල ගමනක් උදෙසා රජය මගින් විශේෂ දුම්රියක් යෙදවීම සැබැවින්ම සුවිශේෂ සිද්ධියකි. එසේම එය රටේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන අතර එය ටයිම්ස් ඔෆ් සිලෝන්, ඩේලිනිවුස් හා දිනමිණ පුවත්වත්වල ප්‍රධානතම ප්‍රවෘත්තියක් ද වනු ඇත.   


1916 ජූලි 22 නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් අාතර් ද සිල්වා විජයසිංහ සිරිවර්ධන පඩිකාර මුදලිතුමාගේත්, ක්ලැරිස් මෝඩ් සූරියබණ්ඩාර කුමාරිහාමිගේත් සරණ මංගල්‍යය පැවැත්වූ දිනය විය. විදේශයන්හි සිට පැමිණි සියලු පිරිස කොළඹ වරායෙන් මෙරටට ගොඩබැස එතැන් සිට කළුතරට පැමිණීම සඳහා විශේෂ දුම්රියක් සුදු ආණ්ඩුවෙන්ම යොදවා තිබුණේ මුදලිතුමා වෙනුවෙන් දක්වන සුවිශේෂ අනුග්‍රහයක් හැටියට බව ඉන්දු පෙරේරා විසින් ලියූ කෘතියේ සඳහන් වෙයි.