අභියෝග ජයගත් මිනිස්සු

 

“මේක මහා පුදුම රටක්, මොන ලෝකෙක, කොයි දීපංකරේක ගියත් මේ වගේ රටක් මම නම් දැකලා නැහැ.   


ශ්‍රීෂ්මය, සුළිකුණාටු, චණ්ඩමාරුත, ශීතාධික සමය මේ මොනවත් අපට නැහැ.   


මේක තමයි ලෝකයේ ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් සුන්දරම පාරාදීසය.   


සත්තකින්ම මේක පාරාදීසයක්. ඒ වගේම සොබා සෞන්දර්යයේ ගමනාන්තයක්, ලෝකෙ කොහේ ගියත් මේක තමයි හොඳම තැන. මේ වගේ සුන්දර රටක් මට නම් තවත් නැහැ.”   


මහා ආඩම්බරකමක් ඇතිව ඔහු එලෙසින් පවසයි. ඔහු එසේ පවසන්නේ ලෝකයට විවර වූ අදහස් ඇති මිනිසකු ලෙසය. ලෝකයට ආදරය කරන මිනිසකු ලෙසය. කවුද මේ මිනිසා?   


වික්‍රමසිංහ ආරච්චිගේ දොන් චන්ද්‍රසිරි ජයලත් වික්‍රමසිංහ, ඔහුගේ පූර්ණ නාමය වෙයි. එහෙත් මෙරට මෙන්ම ජාත්‍යන්තරව ඔහු ප්‍රකටව සිටින්නේ චන්ද්‍රා වික්‍රමසිංහ යන නාමයෙනි. මෙරට සංචාරක ක්ෂේත්‍රයට මේ නාමය විටෙක සිහිවටනයක් මෙනි. නැතහොත් සලකුණක් මෙනි. මෙරට සංචාරක කර්මාන්තයට ඔහු විසින් නෙළා දී ඇති අස්වැන්න බොහෝය. චන්ද්‍රා වික්‍රමසිංහ යනු සංචාරක ක්ෂේත්‍රයට සඳඑළිය ගෙනා පුන් චන්ද්‍රයාම යැයි අතිශයෝක්තියකින් තොරව හැඳින්විය හැකිය.   


මාළු-මාළු (පාසිකුඩා), අලියා (දඹුල්ල), මවුන්බැට්න් (මහනුවර), ස්කෝට්ෂ් ප්ලැන්ටර් ග්ලෙන්ඩෙවොන් (බණ්ඩාරවෙල), කිතලා (කතරගම) ඔහු සතු සංචාරක ක්ෂේත්‍රයට විවර වූ සුපිරි සංචාරක ගමනාන්තයන් වේ.   


 දැන් ඔබට ඔහු කවුරුදැයි යන්න කීමට තවත් කාරණා අවැසි නොවනු ඇත. නව සංකල්ප ප්‍රායෝගික කරමින් සංචාරක ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ මහා ගමනක් ආ ඒ මිනිසා අභියෝග ජයගත් කතාව දිග හැරෙන්නේ මෙලෙසිනි.   


“මේ හරියට කියන්නෙ කිරුළපොන, කොළඹ 6 කියලයි. හයිලෙවල් පාරේ නිසා හොයා ගන්න ලෙහෙසි වේවි. සම්පත් බැංකුව සහ එන්.එස්.බී බැංකුවට මැදිව තියෙන LE CUBE ගොඩනැගිල්ල, ඒක තමයි මගේ ඔෆිස් එක.”   


ඔහු සිටින තැන මග සලකුණු අපට කීවේ එලෙසිනි. මෙම ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ ඔහුගේ කුටිය තනා තිබේ.   


“එන්න, එන්න, ඉතින් දැන් අපි කොතැනින්ද? කොහොමද පටන් ගන්නේ?”   


ඔහු විමසීය?   


“පටන් ගනිමු අපි ඔබගේ පරම්පරාවෙන්ම?”   


“ඇත්තටම අපි ව්‍යාපාරික පවුලක් නොවෙයි. මගේ ගම කුරුණෑගල විල්බාව පාරේ වැහැර. අපේ පවුල තරමක් විශාල පවුලක්. සහෝදරයින් තුන්දෙනයි. සහෝදරියන් හතර දෙනයි. අම්මයි තාත්තයි, මමයි අපි ඔක්කොම ගත්තාම පවුලේ ඔක්කොම දහදෙනයි. තාත්තා නැතිවුණේ මම කුඩා කාලයේදීමයි. අම්මා තමයි ඉන්පසුව මහා ශක්තියක් ගෙන දුන්නෙ. ඇය සේවය කළේ හෙදියක ලෙසයි. මම ඉගෙන ගත්තේ බාලාංශයේ සිට කුරුණෑගල මලියදේවයෙන්. අද තරමට එද‌ා කුරුණෑගල නවීකරණය වෙලා තිබුණෙ නැහැ. පාසලේදී වේවා, ගෙදරදී වේවා නිරන්තරයෙන්ම මොනම දෙයක හෝ නිරතව හිටියා. හරි ක්‍රියාශීලි ළමා වියක් තිබුණෙ.   


අධ්‍යාපනයත් අද වගේ නෙවෙයි. හරි විශිෂ්ට ගුරුවරු අපට හිටියෙ. එයාලගෙ ඇසුර ලබන්නට තරම් අපි පිං කෙරු​ෙවා්ම වීමු. ගුරුවරු, දෙවිවරු ලෙසම එදා කටයුතු කළා. විෂයයට එහා බාහිර ක්‍රියාකාරකම් කළ මම විටෙක කැඩෙට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස දියතලාවෙන් වගේම තවත් කඳවුරු කීපයකම ගිහින් පුහුණුව ලැබුවා. ඒ වගේම ක්‍රීඩාවලටත් සම්බන්ධව හිටියා. මේ නිසා ජීවිතයට ලැබුණෙ උද්යෝගිමත් බවක්. එද‌ා ටියුෂන් කියලා අපි ගියෙ නැහැ. ගුරුවරු අපිව ලෙහෙසියෙන් අත්හැරියේ නැහැ.   


මලියදේවයෙන් ලැබුණු අධ්‍යාපනයෙදි සහතිකෙන්ම අපට කියා දුන්නේ මිනිසකුට ඇති අභියෝග ජයගන්නේ කෙසේද යන පරමාදර්ශයයි. අද මම ලංකාවෙම සිටින මහා පොහොසතෙක් නෙවෙයි. ඒත් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ශක්තිමත් ගමනක් ඒමට මට පාසල වෙතින් ලැබුණු දේ බොහෝමයි.”   


බාලාංශයේ සිට මලියදේවයෙන් සිප්සතර හැදෑරූ චන්ද්‍රා, උසස් පෙළ හමාර කළේ කලා අංශයේ ශිෂ්‍යයකු ලෙසිනි. කුඩා කාලයේදීම ඔහුට පිය සෙනෙහස අහිමිව යාම සහ පසුකාලෙක සරසවි යාමට තිබූ බලාපොරොත්තු සුන්වීම එතෙක් ආ ගමනේදී ඔහු අත්විඳි සන්තාපයන්ය. එකී ස්වභාවය යටතේ දෙවසරක් පමණ තුරුණු වියේ රන්වන් කාලය නිකරුණේ ගෙවා දැමීමට ඔහුට සිදුවිණි. ’71 කැරැල්ල පැවැතියේ මෙකී සමයේදීය. 

 

 

අලියා රිසෝට්

 


“එය ඇත්තටම අතිශය දුෂ්කර සමයක්. කුරුණෑගල අපට තිබුණෙ ඉතාම දරුණු තත්ත්වයක්. අපට අපේ ජීවිත ගැන තිබුණෙ ලොකු බියක්. විප්ලවයට අපිවත් රැගෙන යන්න ආවා. මිනිස්සු තැන තැන මැරී තිබෙන අයුරු, මරණ හැටි, මේවා තමයි අපට දකින්න, අත්විඳින්න ලැබුණෙ. පාසල් අධ්‍යාපනය හමාරකොට සමාජගත වීමට, සමාජයට පැමිණෙන තාරුණ්‍යයට ඒ නිසා ඇතිව තිබුණේ අසහනකාරී තත්ත්වයක්. කොහේවත් රස්සාවල් නැහැ. ඒ විරැකියාව සහ සමාජ වටපිටාව එක්ක ජීවිතය ගෙවා දැමීම අතිශය දුෂ්කරතාවක් ගෙන දුන්නෙ. වතාවක ආණ්ඩුවේ ජොබ් එකකට මාව තේරුණා. ඒත් මන්ත්‍රී මගේ නම කපලා. දේශපාලනය නැතුව කවද‌ාවත් රස්සා කළ යුතු නැහැ කියන හැඟීම මට ඇතිවුණේ ඉන් පසුවයි. හැබැයි එවැනි දේ නිසා ජීවිතයට ලැබුණේ ලොකු පන්නරයක්. ඒ අතිශය දුෂ්කර කාල සමයේදී මුහුණ දුන් සියලු දේ ජීවිතයේ අත්දැකීම් බවට පත්කර ගත්තා.”   
දඟකාර තාරුණ්‍යයේදී වයසට වඩා මුහුකුරා ගිය අත්දැකීම් ලද ඔහු ඉනික්බිතිව කොළඹ ආවේය. සරසවි යාමට වරම් නොලද අයට විවිධ ඩිප්ලෝමා සඳහා අයදුම් කළ හැකිව තිබිණි. ඒ අනුව ඔහු කොළඹ ආවේ සංචාරක විද්‍යාව ගැන වූ ඩිප්ලෝමාව හැදෑරීම වෙනුවෙනි. කොළඹ ටෙක්නිකල් කොලිජියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් එයට මුහුණ දීමට සිදුවූ අතර කොළඹට සේන්දු වූ ඔහුට ඒ කොළඹ ජීවිතයට හැඩ ගැසීමට සිදුවීම තවත් දුෂ්කර කාර්යයක් විය. සියලු දුෂ්කරතා, අගහිඟතා දෝතින්ම බාරගත් චන්ද්‍රා ‘ආපසු හැරීම් නැත’ යන අරමුණ ඇතිව කොළඹදී කටයුතු කළේය. ප්‍රංශ භාෂාව උගෙනීමට පෙළැඹූයේ මේ අතරවාරයේදීය. අලියොන්ස් ප්‍රාන්සෙස් ආයතනය වෙත ගොස් ප්‍රංශ බස ඉගෙනීම කළ අතර එය ඔහුගේ ජීවිතයේ හැරවුමක් ඇතිකර වූවකි. එමෙන්ම ශ්‍රී ලංකා හෝටල් පාසල වෙත ගොස් පාඨමාලාවක් ද හැදෑරීය. සංචාරක හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමේ මාවත විවර වූයේ මින් අනතුරුවය.   


ශ්‍රී ලංකා හෝටල් පාසලටම සම්බන්ධව තිබූ කාමර අටකින් පමණ සමන්විත හෝටලයේ පිළිගැනීම් නිලධාරියකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ චන්ද්‍රා මුල්ම වැටුප ලෙස ලැබුවේ රුපියල් දෙසීයයකට අඩු ගණනකි. බෝඩිං හවුස්, චමරි ආදී තැන් ඔහු නවාතැන් ගත් තැන් විය. හෝටල පාසල සතු ආයතනයේ මාස හයක පමණ සේවා කාලයකින් පසුව ඊළඟට ඔහුගේ රැකියා ස්ථානය වූවේ බේරුවල නෙප්චූන් හෝටලයයි. පිළිගැනීමේ නිලධාරි තනතුර දරමින් වසරක් පමණ එහි සේවය කළේය. ඉනික්බිතිව හෝටල් ක්ෂේත්‍රයේ වෙනත් අංශයකට මාරු වූ බව කියයි.   


“ට්‍රැවල් කම්පැනි එකක කනිටු විධායකයකු ලෙස කොළඹ ආයතනයකට නැවතත් ආවා. පඩිය අඩු වුණාට ඒක හරිම ප්‍රියජනක රැකියාවක්. රැකියාවකටත් වඩා වැඩිහරියක්ම කළේ ඒ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගැනීම. කොහොම වුණත් මම එතැන සිටියෙත් අවුරුදු දෙකයි. ඉන්පසුව තමයි විදෙස් ගත වුණේ.”   


එතකොට ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ එතැනින් ද? චන්ද්‍රා ස්වකීය කතාව කියන අතරේ අපි විමසීමු.   


“ප්‍රංශ බස උගෙනීම තමයි මගේ ජීවිතයේ හැරවුම වුණේ. එහි ගිය මම මුලින්ම කළේ ප්‍රංශ බස පිළිබඳව ඩිප්ලෝමාවක් හැදෑරීමයි. එය කරන අතරේ පුංචි පුංචි අවන්හල් සහ හෝටල්වල සේවය කළා. ඒවා කරමින් අත්දැකීම් ලබා ගැනීමටයි මට ඕනෑ කළේ. සුන්දර වගේම දුෂ්කර ප්‍රංශ ජීවිතය මට ගෙන දුන්නෙ ඇත්තටම අත්දැකීම් සම්භාරයක්.”   


ප්‍රංශය කෙතරම් සුන්දර රටක් වුවද ජීවත්වීමට සුදුසු හොඳම වාතාවරණයක් තිබුණ ද එද‌ා චන්ද්‍රා ශ්‍රී ලංකාවට ඒමට තීරණය ක​ෙළ්ය.   


“මේ රට ලෝකයේ වෙන කිසිම රටකට සසඳන්න බැහැ. ඒ දිනවල එයාලා ලංකාව ගැන දැනගෙන හිටියෙ ‘තේ’ නිසයි. බුද්ධාගම ගැනත් ටිකක් දැනගෙන තිබුණෙ. සෙලාන් කියලා එද‌ා එයාලා ලංකාවට කිව්වෙ. ඇත්තෙන්ම ලංකාවේ ජීවත්වීමට දුෂ්කරයි, කටුකයි කිව්වාට මට නම් මේක පාරාදීසයක්.”   


පාරාදීසයේ තරම තේරුම්ගෙන මෙරටට පැමිණි චන්ද්‍රා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මාර්ගෝපදේශක පාඨමාලාවක් හැදෑරීය.   


“ඒකත් හරි සුන්දර රස්සාවක්. සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස කටයුතු කිරීම සුන්දර වුණත්, ලොකු අභියෝගයක් ගෙන දුන්නෙ. මොකද ඒ කාලයේ ප්‍රංශ ජාතිකයන්ට එයාලගෙ සංචාරකයන් වෙනුවෙන්

මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කළා. ඒ අතරේ ප්‍රංශ භාෂාවත් දැන සිටි ශ්‍රී ලාංකීය අතළොස්සක් වූ මාර්ගෝපදේශකයින්ට ලැබුණෙ කුඩම්මාගේ සැලකිලි. ඒත් ඒ අභියෝගයටත් මුහුණ දුන්නා.”   

 

 


ඔහු එවකට මෙරට තිබූ සංචාරක පරිසරය ගැන එලෙස මුමුනයි. අදට සාපේක්ෂව එද‌ා සංචාරක කර්මාන්තය මෙරට පැවැතුණේ කෙසේද? ඒ පැනය ඔහුගෙන් විමසිය යුතුම වූ එකකි.   


“මගේ දැක්ම අනුව 76 සිට 83 දක්වා කාලය තමයි මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ‘රන් යුගය’. එද‌ා තානායම් සහ සංචාරක හෝටල කීපයක් විතරක් මෙරට ස්ථාපිතව තිබුණත් ඉහළ වටිනාකමක් තමයි සංචාරක ක්ෂේත්‍රයට තිබුණෙ. අනෙක් රටවල් හා සසදද්දී අපට ලැබුණෙ ලොකු වටිනාකමක්. ඒ නිසා ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ සංචාරක ආද‌ායම ඉහළ අගයක් ගත්තා.”   


එවකට තිබූ ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ රන් යුගය ගැන පවසන ඔහුගේ ජීවිතයේ රන් යුගය පටන් ගත්තේ කොහොමද? චන්ද්‍රාගෙන් ඊළඟට අපි විමසීමු.   


“කොනෙයිසාන්ස් ඩි සෙලාන් නමින් මම එද‌ා තවත් හවුල්කරුවන් කීප දෙනෙකු සමග සංචාරක ආයතනයක් ස්ථාපිත කළා. රටේ සංචාරක යුගයේ රන්වන් සමය එද‌ා එසේ තිබුණාට අපිට රන්වන් යුගයක් එළැඹියේ නැහැ. මොකද රටේ ප්‍රශ්න ඇතිවුණා. 85 වසර වෙද්දී අපේ ආයතනය වහලා ද‌ාන තරමේ තත්ත්වයක් ඇතිවුණේ. එහෙත් මම එඩිතර තීරණයක හිටියා. ඒ අතරවාරයේදී වසරකට මාස කීපයක් ප්‍රංශයේ ජීවත්වීමත් මගේ පුරුද්දක්ව තිබූ දෙයක්. ඒ විදියට එරටට ගිහින් ඒ රටේ ගමින් ගමට ගිහින් අපේ රට ගැන දේශනා පවත්වමින්, ප්‍රචාරණය ලබා දීමට කටයුතු කළා. මේ නිසා කොනෙයිසන්ස් කියන අපේ සංචාරක ආයතනය ප්‍රංශයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත වීම සිදුවුණා. හැබැයි එහෙම මහන්සි වෙලා කළත් ඔන්න පසුවද‌ාම මෙරට බෝම්බයක් පුපුරා ගිහින්. එවිට මෙරටට ඒමට සිටි සංචාරකයින් ඒම එකවර අවලංගු කළා. මේ නිසා කාලයක් යනතෙක්ම අපට රන්වන් කාලයක් උද‌ා වූයේ නැහැ. මම හැමද‌ාම කියූ දෙයක් තමයි ටෙරරිසම් (ත්‍රස්තවාදය) සහ ටුවරිසම් සංචාරක කර්මාන්තයේ එකට බැඳී පවතින්නෙ නැහැ. ත්‍රස්තවාදය තිබූ රටවල සංචාරක කර්මාන්තය අඩපණ වූවා. අපි අපේ සමාගම පටන් ගත්තෙ මෙරට ත්‍රස්තවාදය පැවැති සමයකදීයි. ඒ නිසා අපි වැටුණත්, සංචාරක කර්මාන්තයේ අත්දැකීම් මෙන්ම ප්‍රායෝගිකව ලබා තිබූ දැනුම නිසා අපට නැගී සිටිය හැකි වුණා.” 

 
කොනෙයිසාන්ස් ඩි සෙලාන් එද‌ා එලෙසින් ඔහු තවත් දෙතුන් දෙනෙකු සමග ඇරඹියේ රුපියල් 50,000ක ප්‍රාග්ධනයක් යොදවමිනි. චන්ද්‍රාගේ මෙම සංචාරක සමාගම ලෝකයේ සංචාරකයින් ගෙන්වන සමාගම් අතර දිනෙන් දින ප්‍රචලිත වූවේ වෘත්තීයමය ගුණයෙන් එය ඉහළ වීම නිසාය. ඒ හැරත් එවකට විදේශ භාෂා කතා කිරීමේ සහ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දුන් එකම සමාගම එය වීම හේතුවෙනි. ඉනික්බිතිව චන්ද්‍රා වික්‍රමසිංහ යන නාමය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ සලකුණක් බවට පත්වූයේ අනාගත දැක්මක් අනුව ඔහු කටයුතු කළ නිසාවෙනි. ‘කල්චර් ක්ලබ්’ හෝටලය සමග කණ්ඩලම අපූරු නිම්නය සංචාරක පාරාදීසයක් බවට පත් කිරීමට මුල් වී ඇත්තේ ද ඔහුමය.  


“කල්චර් ක්ලබ් (අද අමායා ලේක්) නම එදා මා එඩිතරව ගත් තීරණයක්. ඒ වෙන විට හබරණ, පොළොන්නරුව, මහනුවර ආදී විදියට තමයි හෝටල්වල නම් තිබුණෙ. නමුත් මට සැබෑ වෙනසකට යන්න වුවමනා වුණා.”  
සැබැවින්ම එසේ පවසන චන්ද්‍රා වික්‍රමසිංහයන්ට සංචාරක කර්මාන්තය ගැන ඇත්තේ තියුණු දැක්මකි. කෑම්, බීම්, ඉඳුම්, හිටුම් සංකල්පයට එහා ගිය අපූරු රිද්මයක් ශ්‍රී ලංකා සංචාරක හෝටල වෙත හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය. එකී ගමනේ ඵල නෙළා ගැනීම ඔහු අරඹන්නේ ත්‍රස්තවාදී යුද්ධය නිමවීමත් සමගය. එනම් ඔහුගේම සංකල්පවලට අනුව ‘මාළු මාළු’ සංචාරක හෝටලය පාසිකුඩාහිදී ඉදිකිරීම වෙතිනි. මේ ‘මාළු මාළු’ කියන නම යොද‌ා ගත්තේ කොහොමද?  

 

“ඔව් මට ඕනෑ නම් ‘හොටෙල් පාසිකුඩා’ කියලා ද‌ාන්න තිබුණා. ඒත් එහෙම කළා නම්, එහි කිසි ගතියක් නැහැ. පවතින ක්‍රමයට ගැළපෙන සහ එක පාරට අල්ලා ගත හැකි නමක් හරි වැදගත්. බොහෝ සංචාරකයින් මෙහේ ආවාම, කැලිප්සෝ සංගීත කණ්ඩායම් ගීත ගයනවා. ඒ අතර ‘සුරංගනීට මාළු ගෙනාවා, මාළු මාළු මාළු සුරංගනීට මාළු ගෙනාවා’ ගීතය අපේ අය ගයද්දී සංචාරකයිනුත් ‘මාළු මාළු’ කියලා ගයන අවස්ථා මම දැක තිබුණා. මේ වගේ නමක් සුදුසුයි කියලා අදහස ආවේ එහෙමයි. සාමාන්‍යයෙන් මම හිතුවොත් දෙයක් කරනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අපි හරි හෝ වැරදි වේවා ගත යුතු තීරණය ගත යුතුයි. ඒ වගේම ජවය සහ තීරණ ගැනීමේ ශක්තිය මෙන්ම කාලය ගැන මූලිකව උනන්දු විය යුතුයි.”  


එතකොට ආර්ථිකයක්? මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නැද්ද?  


“අපේ රටේ වගේම ලෝකයේ සිටින විශාල ධනවතුන්ගෙ වගතුග කියෙව්වාම අප එය පැහැදිලි කරගත් දෙයක්. ඒ අය සංකල්පය තමයි ප්‍රායෝගික කරලා තියෙන්නේ. සමහරු බිලියන ගණන් යොදවනවා. ඒත් ඵල නෙළා ගන්න බැරිව ලතැවෙනවා. තමා කරන දේ ගැන වූ විශ්වාසයක් ඉහළින්ම තිබිය යුතුයි.”  


චන්‌ද‌ා වික්‍රමසිංහයන් සමාජයට ලබා දෙන පණිවුඩය වෙන්නේ එයයි. පාසිකුඩා හි ‘මාළු මාළු’ තැනූ ඔහු සීගිරියේ තිබූ පුරන් වූ බිමක් සරුසාර නිම්නයක් බවට පත්කොට ‘අලියා රිසෝට්’ සුපිරි සංචාරක හෝටලය තැනුවේය. අද ලෝකයේ සුපිරි තරු මෙන්ම ලෝ ප්‍රකට ක්‍රිකට් තරු පවා නවාතැන් ගන්නා නිම්නය බවට ‘අලියා’ පත්ව සිටී, බත් පැකට් එකක් විකිණුව ද නව්‍යතාවයක් ගෙන ආ යුතු බව මෙලෙසින් නාමය, හැඩය, පැහැය සමග නව ලෝකයට ගැළපෙන සහ මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන සංචාරක හෝටල නිර්මාණය කළ බව ඔහු පවසන්නේය.  


මෙරට සංචාරක කර්මාන්තයට ආලෝකයක් ගෙන දුන් චන්ද්‍රා වික්‍රමසිංහ සංචාරක ව්‍යාපාරය දිහා බලන්නේ කලාව සහ විද්‍යාව මුසු වූ විෂයයක් ලෙසය. ඔහුගේ අදහස් ලෝක සංචාරක කර්මාන්තයට ඵලදායී වූ නිසාවෙන් විවිධ තානාන්තර, ගෞරව සහ තනතුරු විටින් විට හිමි වුවද මේ මහා මිනිසා මෙරට සංචාරක ක්ෂේත්‍රයට කළ මෙහෙවර උදෙසා පිරිනැමිය යුතුම වූ සම්මාන සහ ගෞරවය ශ්‍රී ලංකාවෙන් ලැබුවේ ද යන්න ගැන විමසීමේදී ‘නැත’ යනුවෙන් සඳහන් කළ හැකිය. ව්‍යාපාර ලෝකයක් තැනූ ඒ ගාම්භීර මිනිසා එතැනදී නම් වඩා හැඟුම්බර වෙයි. ඔහු මේ රටේ හදගැස්ම, මේ රටේ සුවඳ, ගුණය, හඳුනාගෙන සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පුරෝගාමී චරිතයක් වුවද ඔහු ඉහළින්ම ඇගයීමට ලක් කළේ ප්‍රංශ රජයයි.  

 

ග්ලෙන්ඩෙවෝන්

 


 ප්‍රංශ රජයෙන් ගෞරව නාමයක් ලද ගෞරවනීය ශ්‍රී ලාංකිකයා  


ශ්‍රී ලංකාවට නොදැනුණු (වගකිවයුතු බලධාරීන්ට) නමුත් ප්‍රංශයට දැනුණු ඔහුට ප්‍රංශ රජයෙන් පසුගියදා ඉහළම ගෞරවනීය පුරවැසියකු ලෙස සම්මානයට, ගෞරවයට පාත්‍ර විය. ‘සංචාරක ක්ෂේත්‍රයට විශිෂ්ට සේවයක් කළ මිනිසා’ යන තේමාව මුල් කරගෙන ගෞරව නාමයක් ඔහුට පිරිනමා තිබේ. මෙරට සංචාරක ක්ෂේත්‍රයට අලියකු තරමට සේවයක් කළ චන්ද්‍රා හට කූඹියකු තරමටවත් සම්මානයකින් ඇගැයීම් නොකළ වටපිටාවකදී ප්‍රංශ රජයෙන් හිමි වූ ඒ ගෞරවනීය සම්මානය ඔහුට රටක් රාජ්‍යයක් තරමට වටින්නේය.  


“මෙරට යුද්ධය පැවැති අවසන් අවුරුදු කීපයේදී මම ඉතා කලකිරීමට පත්ව සිටියේ. මේ ව්‍යාපාරය කොහොමටවත් කළ නොහැකි වූ වාතාවරණයක් තිබුණෙ. එහෙත් යුද්ධය හමාර වීමත් සමඟ අපට ලැබුණෙ අලුත් රටක්. අලුත් සුසුමක්. මම ඒ අලුත් ආලෝකයෙන් සංචාරක ක්ෂේත්‍රයට ආලෝකයක් ගෙන දීමට වෙහෙස වී කටයුතු කළා.”  


මෙසේ ස්වකීය ජීවිතයේ අභියෝග ජයගෙන, ගමනක් ආ මේ මිනිසා විවාහ වී සිටින්නේ ප්‍රංශ ජාතික කාන්තාවක සමගය. ඇය ඔහුගේ ආත්මීය බැඳීම වී ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිමින් ඔහුට මහා පවුරක් වී සිටින්නීය.  
“මට හොඳ පවුලක් තිබෙන්නෙ. මගේ බිරිඳ හරි සරලයි. නැත්නම් වසර 25ක් තිස්සේ අපි ලංකාවේ ජීවත්වන්නෙ නැහැනේ. අපි දෙන්නට පුතෙක් සිටිනවා. එයා ආර්ථික හා මූල්‍ය අංශයේ උපාධිධාරියෙක්. ජීවිතය මම විඳින්නෙ අලුත් නිර්මාණයක් මේ ක්ෂේත්‍රයට ද‌ායාද කිරීම වෙතින්. ඒ නිර්මාණය නිමවෙන තෙක් මට ඉවසිල්ලක් නැහැ. අද අලියා රිසෝට් එක වගේම මාළු මාළු සහ කොනෙයිසාන්ස් ඩි සෙලාන් අපේ සමාගම සතු සංචාරක නිම්නයන් වෙතින් මේ රටට විශාල විදේශ විනිමයක් උපයා දෙනවා. මේ සාර්ථකත්වයට හේතුව පැරදුණ දේ ගැන නොසිතා උත්සාහයෙන් කටයුතු කළ නිසයි. මට හිතෙන විදියට මම අභියෝග ජයගත්තේ ඒ විදියටයි.  
ජීවිතය යනු ගංගාවක් මෙන් අලුත් වෙවී ඉදිරියට යා යුතු දෙයක් යැයි චන්ද්‍රා වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ‘අපි අලුත් වෙන්න ඕනෑ. ඒ වගේම ජීවිතය කියන්නෙ මනස දිනෙන් දින දියුණු කර ගැනීමයි’ යන්න ඔහු සඳහන් කරයි. නිව්ස් ශ්‍රී ලංකා නමින් විදෙස් ලේඛිකාවක ග්‍රන්ථයක් සම්පාදනය කළාය. එහි ශ්‍රී ලංකාව ගැන වූ එකම සඳහනට ඇතුළත් කර ඇත්තේ චන්ද්‍රා වික්‍රමසිංහයන්ගේ නාමය සහ ‘මාළු මාළු’ නමැති අපූරු සංචාරක නිම්නය ගැන පමණකි. සැබැවින්ම චන්ද්‍රා වික්‍රමසිංහ යනු රටට දැනෙන සේවයක් කළ නමුත් රටෙන් පෙරළා ඇගැයීමට ලක්නොවූ ලෝකයට දැනෙන මිනිසකු නොවේද?

 

 

 

 

සඳුන් ගමගේ