IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ආර්ථික අහේනියෙන් දැවෙන නයිගර් රාජ්‍යය

වළපල්ලට ගිය  රටවල්

 

 

ජනතාවගේ ජීවිත වෙනුවෙන් තම ජීවිත කැප කරන පුද්ගලයින් අවංක දේශපාලකයින්ය. එවැනි දේශපාලකයින් බහුතරයක් සිටින රටවල් දියුණුවෙන් දියුණුවට පත්වේ. වළ පල්ලට යන්නේ දූෂිතයින් විසින් පාලනය කරන රටවල්ය. බොහෝ රටවල දූෂණය පිටුදකින්නේ දේශපාලකයින්ගෙන් කීයෙන් කී දෙනාද? සමස්ත දේශයට තම යුතුකම් ඉටු නොකරන දේශපාලකයින්ගෙන් රටකට වැඩක් සිදුවේද?. දරිද්‍රතාවයේ පත්ලටම කිඳා බැස ඇති රාජ්‍යයන්හි සිටින්නේ රට රකින පාලකයින් නොවේ. රට කන පාලකයින්ය. එවැනි රාජ්‍යයන්හි නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වේද හරියට ලංකාව වගේය. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවකි. 

 
අල්පෙනෙත්තියේ සිට සියලු දෙයක්ම පිටරටවලින් ගෙන්වන රටවල් අතරට ලංකාව ද ඇතුළත් වී ඇති අවස්ථාවෙකි. අවුරුදු 70 ක් තිස්සේ පම්පෝරි ගැසූ බොරු බයිලා ගැසූ දේශපාලකයින්ගේ වරද නිසා මෙය සිදු විය. එය වෙනම කතාන්දරයකි. අද ඔබ වෙත හඳුන්වා දෙන්නේ පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා විනාශ මුඛයට පත් අප්‍රිකාවේ තවත් අඳුරු රටකි. එය බටහිර අප්‍රිකාවේ නයිගර් (NUGER) රාජ්‍යයයි. නැතහොත් නයිගර් ජනරජයයි. 

 
ගිනිගෙන දැවෙන නයිගර් රට


ලෝකයේ විශාලතම රටවල් අතුරින් 22 වැනි ස්ථානය හිමි වී අැත්තේ නයිගර් රාජ්‍යයටය. මෙය අතීතයේ ප්‍රංශ අධිරාජයාගේ කොලනියකි. මෙහි සිටින්නේ ආර්ථික අහේනිය නමැති ගින්නෙන් දැවෙන ජනතාවකි. උෂ්ණාධික සහරා කාන්තාරයෙන් වටවී ඇති රටකි. මෙහි පුරවැසියන් පීඩාවට පත් කරන්නේ සහරා කාන්තාරය සිසාරා හමා එන ගිනියම් සුළඟ පමණක් නොවේ. මෙහි ජන ජීවිත වෙළාගෙන ඇත්තේ දරිද්‍රතාවයේ ගිනි සිළුය. කාන්තාරයේ ගින්නට වඩා මේ ගින්න ජනතාවට පීඩාකාරී ය.   


දෙකෝටියකට මදක් වැඩි (2,06,72,987) ජනගහනයකින් යුත් ව.කි.මී. 12670000 හෙවත් ව.සැ. 48,9,000 ක් විශාල ඉස්ලාම් ජන රජයකි. නයිගර් විටින් විට හමුදා කුමන්ත්‍රණ නිසා හමුදා පාලනය යටතේ පැවැති රටකි. ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තේ 1960 අගෝස්තු 3 දාය. නයිජීරියා, බෙනින්, බර්කිනෝ ෆාසෝ, මාලි, ඇල්ජීරියා වැනි තවත් දිළිඳු රටවල් කීපයකට මැදිව පිහිටා ඇත. පසුගිය වසර 58 තුළදී ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා මගින් බලයට පත් වූ පාලකයින්ගේ සහ විවිධ දේශපාලන පක්ෂවල වාසිය තකා වෙනස් කරවා ගැනීම මේ රටට ද සිදු වූ වින්නැහියයි. 2010 ඔක්. 31 දා සංශෝධනය කරගත් ව්‍යවස්ථාවට අනුව විධායක බලතල ජනපති හා අගමැති සමසේ බෙදා හදාගෙන ක්‍රියාත්මක කිරීම ඇරඹුණි. මින් රටට සිදුවුණ යහපතක් නැහැ.   


කඹ ඇදගන්නා ජනපති හා අගමැති   


ජනපති හා අගමැති දෙපැත්තට අදිමින් බල අරගලයක නිරත වෙද්දී ලංකාව මෙන්ම නයිගර් රාජ්‍යය ද ආපස්සට ගියේය. මෙහි ජනපති මහමදු ඉසුෆ්ය. අගමැති බ්‍රිගි රෆිය. අගමැති පත් කරන්නේ ජනපති විසිනි. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත් කරනු ලබයි. නයිගර් රටේ ද අගමැති පත්කර ගැනීමේදී අශීලාචාර දේශපාලන කුමන්ත්‍රණ සිදු වේ.   


2009 මැයි 26 දා මෙහි ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුළින් රට ඉමහත් අස්ථාවර අඩියකට පත් විය. හරියටම ලංකාව වගේය. ඒ වෙනවිට ප්‍රපාතයට ඇදවැටෙමින් තිබූ රට වළපල්ලට ගියේ මේ සිද්ධියෙන් පසුවය. නයිගර් රටේ ජනපතිවරයාට තුන්වැනි වරටත් ජනපති තරගයට ඉදිරිපත් වීමට හැකිවන සේ ව්‍යවස්ථාව වෙනස් කරවා ගැනීමට දැරූ උත්සාහය ශ්‍රේෂ්‍ඨාධිකරණය මඟින් අත්හිටුවීම තුළින් රට පුරා කැලෑ නීතිය හිස ඔසවනු ලැබීය. මෙම සිද්ධිය නිමාවට පත්වූයේ ජනපතිවරයා හමුදා අත්අඩංගුවට පත් වී හමුදා පාලනයක් ස්ථාපිත වීමෙනි.   


2011 මාර්තු 12 දා පැවැත්වූ මැතිවරණයෙන් මහමුද් ජනපති තනතුරට පත්වුවත් ඔහුට ද රට පෙරට ගෙනයාමට නොහැකි වූයේ විදේශ ණය කන්දකින් රට වැසී ගොස් තිබීම නිසා සහ දේශපාලකයින්ගේ ගසා කෑම්, වංචා දූෂණ දෙගුණ තෙගුණ වීම නිසාය. යූ.එන්.ඩී.පී. යුනිසෙෆ්, යූ.එන්. වැනි ජාත්‍යන්තර ආයතන ද ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක ආහාර සංවිධානය ද (WFP) රටට ආධාර හා මුදල් පොම්ප කළත් ඒවා දේශපාලකයින්ගේ සාක්කුවලට වැටීම හේතුකොට ගෙන නයිගර් රාජ්‍යය අඳුරේ ගිලුනේය. ලංකාවට ද වසර 70ක් තිස්සේ සිදුවුණේ මේ වින්නැහියයි.   


රත්තරන්වලින් ගසා කන දේශපාළුවෝ   


මෙයද ජනපති හා අගමැති කඹ ඇද ගනිද්දී මකර කටට වැටුණු තවත් රටකි. මේ රටේ කව්පි, වී, ලූණු, සුදු ලූනු, මිරිස්, අල අාදිය සරුවට වැවෙන නමුත් පාලකයින් මෙහි කෘෂිකර්මාන්තය නගාසිටුවීමට පියවර ගෙන නැත. අතීතයේදී ගල් අඟුරු, යුරේනියම් ආදී ඛණිජ ද්‍රව්‍යවලින් දැවැන්ත ආදායමක් ලැබුවත් එම නිෂ්‍පාදන ද ඇණහිට ඇත්තේ බක පණ්ඩිත අදූරදර්ශී දේශපාලකයින්ගේ කෙරුවාව නිසාය. සමාරා හිල් (SAMARA HILL) ප්‍රදේශයේ ඇති රන් ආකරවල තිබූ රත්තරන් සියල්ල දේශපාලන හොරුන්ගේ ග්‍රහණයට හසු වී තිබේ. බලයට පත්වන රත්තරන් හොරුන් විදේශ රටවලට නයිගර් රාජ්‍යය ද විකුණාගෙන කන්නේ කුසගින්නට කන්න දෙයක් නැතිව හාමතේ සිටින දසලක්ෂ ගණනින් ජනතාව දෙස සානුකම්පිතව නොබලමිනි.   


ගොතායා සහ ඕවලන් යන ප්‍රදේශවල ඇති පොස්පේට් සහ යකඩ නිධිවලින් නිසි ප්‍රයෝජන ගැනීමට පාලකයින් පියවර ගෙන නැත. ඒවා විදේශ සමාගම්වලට විකුණා දේශපාලකයින් කොමිස් ගැනීම තුළින් රට අගාධයට ඇද වැටුණේය. මෙයද තෙල් නිෂ්‍පාදනය කරන රටකි. චීන කොම්පැණිවලට තෙල් නිෂ්‍පාදන කටයුතු පැවරීම හේතුකොටගෙන චීනුන් ද රටේ සාරය උරා බොන හැටි දැකිය හැක.   

 

 


නයිගර් රටේ අැතුල් පැත්ත   


නයිගර්හි මුළු ජනගහණයෙන් සියයට 60 ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙති. ඉපදෙන සෑම ළදරුවන් 1000 කට 284 ක් පමණ උපතේදීම මිය යති. රෝගීන් එක් ලක්ෂයකට සිටිනුයේ හෙදියන් 20 දෙනෙකු සහ වෛද්‍යවරුන් 4 දෙනෙකි. ග්ලෝබල් ෆිනෑන්ස් මැගසින් (GLOBAL FINANCE MAGAZINE) කියන පරිදි ලොව දිළිඳුම රටකි. බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1කට වඩා අඩුය. පුරවැසියන්ගෙන් ලක්ෂ 54ක් පමණ ආහාර සලාකවලින් යැපේ. ජනගහණයෙන් සියයට 64කට පානීය ජල පහසුකම් නැත. ළමයින්ගෙන් සියයට 40ක් මන්ද පෝෂණයෙන් පෙළෙති.   


මාරාන්තික ලිංගාශ්‍රිත ඒඩ්ස් රෝගය හිස ඔසවා තිබේ. මෙහි සිටින ආබාධිත දරුවන්ගේ සංඛ්‍යාව 800,000කට අධිකය. විදුලිය, මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් නැති ගම්මාන සංඛ්‍යාව 14,680කට වැඩිය. වැඩිපුරම ඒඩ්ස් රෝගය වැළඳී ඇත්තේ අවුරුදු 15ට වඩා අඩු ගැහැනු ළමයින්ටය. වයස අවුරුදු 15ට අඩු ගැහැනු ළමයින් විවාහ දිවියට ඇතුළත් වීම ශීඝ්‍රයෙන් සිදුවෙයි. ජනගහණය වර්ධනය ශීඝ්‍රයෙන් සිදුවෙයි.   


ඉබෝලා නමැති දරුණු වසංගතය රට පුරා පැතිරෙමින් පවතී. ඉන් මියගිය අයගේ සංඛ්‍යාව දහස් ගණනකි. ඒඩ්ස් රෝගය මැඩපැවැත්වීමට රජය නිසි පියවර ගෙන නැත. ළමයින්ගෙන් සියයට 38ක් පමණ පාසල් නොයන අතර එම ළමයින් ගොවිපොළවල ශ්‍රමය වැය කරමින් දහඩිය වගුරු වන අයුරු ශෝචනීය දසුනකි. රට මිහිපිට අපායක් බඳුය. එහෙත් දේශපාලකයින්ට රජ සැපය. චීනයෙන් ලබාගත් ඩොලර් බිලියන 1ක ණය මුදල් පාලකයින් විසින් ගසා කෑ අයුරු ප්‍රකටය. මේ නයිගර් රටේ දුක්මුසු කතාන්දරයෙන් අංශු මාත්‍රයක් පමණකි. මා දුටු වළපල්ලට ගිය හැම රටකම තත්ත්වය මෙසේය.   


දේශපාලකයින්ට පිහිට වන අධිකරණය


නයිගර්හි මහජන දේපොළ සොරකම් කළ දේශපාලකයින් 66 දෙනෙකු පිළිබඳ විස්තර විදේශ ජනමාධ්‍යයන් මඟින් හෙළිකරන ලදී. ඔවුන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැත. 2015 දී පමණක් මෙහි පාලකයින් ගසා කෑ මුදල් සම්භාරය ​ඩොලර් මිලියන 38.5 ක් බව කියන්නේ ට්‍රාන්ස්​ෙප්‍ර්රන්සි ඉන්ටර්නැෂනල් ආයතනයයි. මෙය ඉබෝලා වෛරසයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සැපයූ ඩොලර් මිලියන 22 ක මුදල පවා සාක්කුවට දමාගත් දේශපාලකයින් සිටින රටකි. ජනපතිවරයාට සුඛෝපභෝගී ගුවන් යානයක් මිලදී ගැනීමට ප්‍රංශ සමාගමකින් ​ඩොලර් මිලියන 38.5 ක මුදලක් ලබා ගැනීම පිළිබඳ චෝදනාවක් ද එල්ල වී තිබේ. නයිගර් රට ද දේශපාලකයින්ට එරෙහිව ඇති වංචා දූෂණ නඩු වාෂ්ප වී අතුරුදන්වන ජන රජයකි.  

 

 

සිරි හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට ලියයි.

 



අදහස් (0)

ආර්ථික අහේනියෙන් දැවෙන නයිගර් රාජ්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 328 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 357 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site