නීතිය රකින පොලිසියේ කැලෑ නීතිය

 

 

මහජනතාවගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම පොලීසියේ ප්‍රධානතම රාජකාරියවේ. මහජන බදු මුදලින් වැටුප් ලබන පොලිස් නිලධාරීන් දිවා රෑ නොබලා පැය 24 පුරාම ඒ වෙනුවෙන් කැප වී සිටියි. ඒ ආකාරයට ජනතාවගේ ආරක්ෂකයා වු පොලීසියට ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට කිසිදු අයිතියක් නීතියෙන් වෙන් කර දී නොමැත. 


එහෙත් පසුගියදා රත්ගම බූස්ස ප්‍රදේශයෙන් වාර්තා වූයේ 1988/89 කාලයේ දී සිදු වූ සිද්ධියකට සමාන වූ අපරාධයකි. ඒ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් ඉකුත් 23 වැනි දින කළු පැහැති වෑන් රථයකින් හා සුදු පැහැති මෝටර් රථයකින් ගොස් බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු මහ දවල් පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර සිරුරු රහසිගත ලෙස වළ දැමීමයි. 


එසේ පොලීසිය විසින් ඝාතනය කර තිබුණේ මාළු ව්‍යාපාරිකයෙකු වූ රසීන් චින්තක (31 ) හා කුකුලු මස් ව්‍යාපාරිකයෙකු වූ මංජුල අසේල කුමාර (33) නමැති දෙදෙනෙකි. රසීන් එක් දරු පියෙකු වන අතර මංජුල තිදරු පියෙකි. 


සඟවන ලද බව කියන ගිනි අවියක් ගැන ප්‍රශ්න කරමින් පහර දෙන විට එක් ව්‍යාපාරිකයකු මිය ගොස් තිබෙන අතර එම සිදුවීම වසන් කිරීම සඳහා අනෙක් ව්‍යාපාරිකයා ද ඝාතනය කර දෙදෙනාගේම සිරුරු වළ දමා තිබෙන බව කියති.

 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පළමුව අත්අඩංගුවට ගත් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති කපිල නිශාන්ත ද සිල්වා එම තොරතුරු වසන් කර ගෙන සිටියද ඉන් අනතුරුව කැඳවන ලද උප පොලිස් පරීක්ෂකවරයා මෙම අපරාධයේ තොරතුරු හෙළි කර තිබුණි. 


ඒ අනුව රහස් පොලීසියේ නිලධාරීන් ඉකුත් 21 වැනි දින රාත්‍රි කාලයේ අදාළ සිරුරු වළ දැමූ බව කියන ස්ථානය සොයා ගැනීමට වලස්මුල්ල පොලිස් වසමේ මේමලේකන්ද වෙත පැමිණ තිබුණේය. 


දකුණු පළාත් ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පහර දී ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල පිස්සු බැද්ද කැලේ තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා (22) සොයා ගත්තේය.


විශේෂයෙන්ම ගාල්ලේ පාළු නිවසකට රැගෙන ගොස් පහරදී ඝාතනය කළ බව කියන ඔවුන්ගේ සිරුරු එම කෑලෑව තුළට රැගෙනවිත් දර හා ලී දමා පුළුස්සා තිබෙන බව අනාවරණය වී ඇත.


එසේ පුළුස්සා තිබු මිනී අළු හා අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබෙන අතර ඒවා බොහෝ විට අතුරුදන් වු ව්‍යාපාරිකයින් දෙදෙනාගේ විය හැකි බවට රහස් පොලීසිය විශ්වාස කරයි.


අදාළ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සැක පිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේදී එම තොරතුරු හෙළි වී තිබුණි.


පැය 48 ක කාලයක් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අවසර ලබා දී තිබු අතර අදාළ ස්ථානය පෙන්වීම සඳහා සැකකාර උප පොලිස් පරික්ෂකවරයා ද මාංචු දමා රැගෙනවිත් තිබුණි.


අදාළ කැලෑවේ කිලෝ මීටර් තුනක පමණ දුරක් ඇතුළට රැගෙන ගොස් එම සිරුරු පුළුස්සා තිබෙන බව කියති.


මේ අතර මෙම සිද්ධියට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන වලට මාරු කර යැවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ක්‍රියා කළේය.


පැහැරගැනීමේ සිද්ධිය දා රාජකාරී වාර්තා කළ සියලු දෙනා එසේ මාරු කර යවා තිබේ.


ආරම්භයේදී මෙම අතුරුදන්වීමේ සිද්ධිය ගැන පැමිණිලි සටහන් කර ගැනීමට පවා රත්ගම හා ගාල්ල පොලිස් ස්ථාන අකමැති වී තිබුණි. සමහර විට ඒ පොලිස් ලොක්කෙකුගේ බලපෑම නිසා විය හැකිය. පසුව රත්ගම පොලීසිය පැමිණිල්ල සටහන් කර ගෙන තිබුණි. එවැනි තත්ත්වයක් තුළ තමන්ට සාධාරණයක් ඉල්ලා අතුරුදන් ව්‍යාපාරිකයාගේ ඥාතීන් හා ගම්වාසීන් ඉකුත් 26 වැනි දින මාතර කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගැනීමත් සමග පොලීසිය රත්වන්නට පටන් ගත්තේය. 


ඒ අනුව ගාල්ල සහකාර පොලිස් අධිකාරී සතිශ් ගමගේ මහතා පැමිණ සතියක කාලයක් තුළදී සාධාරණ පරීක්ෂණයක් පවත්වා සිදු වූයේ කුමක්ද යන්න සොයා දෙන බවට පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගියේය. අබිරහසක්ව පැවති මෙම සිද්ධිය පිළිබඳව ඉකුත් 06 වැනි දින වැදගත් තොරතුරක් ලැබී තිබුණේ අතුරුදන් ව්‍යාපාරික මංජුලගේ බිරිඳ වන මංජුලා සමන්ති මහත්මියටය. 


ඇය අතට තැපෑලෙන් ලැබුණු නිර්නාමික ලිපියක් මගින් දැනුම් දී තිබුණේ “අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා රැගෙන ගියේ මාතර නූපේ පිහිටි දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රෝහණ හා පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු කණ්ඩායමක් විසින් බවත් ඔවුන් පහර දී ප්‍රශ්න කරන විට අයෙකු මිය ගිය බවත් එය වසන් කිරීමට අනෙක් කෙනාද ඝාතනය කර සිරුරු දෙකම පුළුස්සා විනාශ කර ඇති බවත්ය. 


බැලු බැල්මට එම ලිපිය සාමාන්‍ය පුද්ගලයෙකුගේ භාෂාවකින් සටහන් වූ බවක් පෙනෙන්නට නොමැත. බොහෝ විට පොලිස් නිල නාම හා වචන ස්වරූපය අනුව එය පොලීසිය ඇතුළෙන්ම පැමිණි නිර්නාමික පෙත්සමක් බවට සැක මතුව තිබේ. 


ඊට ප්‍රධාන හේතුව වන්නේ දකුණු පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා සමග බොහෝ නිලධාරීන් විරසක වී සිටීමය. පහළ සිට ඉහළ දක්වාම පොලීසිය තුළ ඔහු ගැන ප්‍රසාදය අඩු වෙමින් තිබුණි. 


කනිෂ්ඨ නිලධාරීන් බහුතරයකගේ විරෝධය ඔහුට එල්ල වී තිබුණේ උසස්වීම් සම්මුඛ පරීක්ෂණයේ දී බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් ලකුණු ලබා නොදුන් බව කියමිනි. ඉහළ නිලධාරීන් අමනාප වී තිබුණේ අනවශ්‍ය ලෙස තම රාජකාරී කටයුතුවලට ඇඟිලි ගැසීම නිසාවෙනි. 


ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ ක්‍රියාත්මක වූ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය ගැනද බොහෝ දෙනෙකු තුළ එතරම් ලොකු පැහැදීමක් නොතිබුණි. විශේෂයෙන්ම යම් පොලිස් ස්ථානයකින් රාජකාරිය හරි හැටි ඉටු නොවන්නේ නම් කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ විමර්ශන ඒකක ගණනාවක් පවතී. උදාහරණයක් ලෙස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, කොට්ඨාස දූෂණ මර්දන ඒකකය, කොට්ඨාස වංචා විමර්ශන ඒකකය, කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකය, කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය ආදී වශයෙන් දිස්ත්‍රික්කය පුරාම රාජකාරි කළ හැකි විශේෂ විමර්ශන ඒකක ස්ථාපිත කර තිබේ. 


ඒවා කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙන්ම ඊට අමතරව තවත් පොලිස් අධිකාරීවරයකුගේ හෝ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ද අධීක්ෂණය මත ක්‍රියාත්මක කර ඇත. 


මීට අමතරව ඇතැම් ඉහළ නිලධාරීන් තවත් ඒකක පිහිටුවා ගන්නේ තම බලය පෙන්වීමටය. එසේත් නොමැති නම් නීති විරෝධී ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කර ගැනීමටය. තමන්ගේ පෞද්ගලික නිවාස ඉදි කර ගැනීමට ව්‍යාපාරිකයින් පසු පස පන්නා මිල මුදල් මෙන්ම ද්‍රව්‍යාධාර ද ලබා ගන්නා පොලිස් ලොක්කන් පිළිබඳව පසුගිය කාලය පුරාවට අසන්නට ලැබුණි. මීට අමතරව මහජන සුබ සිද්ධිය වෙනුවෙන්ම විශේෂ විමර්ශන ඒකක පිහිටුවා ගෙන පවත්වාගෙන යන දක්ෂ පොලිස් ලොක්කන් ද සිටින බව කිව යුතුය. 
කෙසේ නමුදු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ඔහු යටතේ විශේෂ විමර්ශන ඒකකයක් ආරම්භ කළේ ඉකුත් වසරේ ඔක්තෝබර් මස 06 වැනිදාය. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පිහිටුවා ඇත්තේ මාතර නූපේ හංදිය අසලය. එහෙත් මෙම විශේෂ විමර්ශන ඒකකය ආරම්භ කර පවත්වා ගෙන ගියේ එම කාර්යාලයේ සිට කිලෝ මීටර් පහක් පමණ දුරින් පිහිටි මාතර මැද්දවත්තේ පොලිස් ඇපලෝ 05 ගොඩනැගිල්ලේය. එම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම ඒකකය නිතර ඇස ගැටෙන්නේ ද නැත. 


නව විශේෂ විමර්ශන ඒකකය එහි ස්ථාපිත කිරීමෙන් එම ගොඩනැගිල්ලේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ගේ ඉඩකඩ අඩු වීම මෙන්ම ඔවුන්ගේ නිදහසට ද බාධා එල්ල වී තිබුණි. කෙසේ නමුදු අදාළ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස මුල් කාලයේ දී පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා කටයුතු කළ අතර පසුව නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා බවට පත් කර ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතා ස්ථානාධිපති තනතුරට පත් කෙරිණි. 


එම දෙදෙනා ඇතුළුව දකුණු පළාතේ විවිධ පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් 25 දෙනෙකු මෙම ඒකකයට අනුයුක්ත කර තිබුණේය. ඒ අතරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සිට පොලිස් සේවයට බැඳුණු අයද වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් පැමිණියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ එම ඒකකය පවතින නිසාය. තවත් අය ආවේ පොලිස් ස්ථානවල අමතර රාජකාරී වැඩි නිසාය. හිතවත්කම් මත ද තවත් නිලධාරීන් අනුයුක්ත කෙරිණි. 


කෙසේ වෙතත් ඔවුන් දකුණු පළාත පුරා ගොස් විවිධ වැටලීම්වල නිරත වූහ. පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පොලිස් කණ්ඩායම නිසා කිසිවෙකුත් ඊට ඇඟිලි ගැසුවේ නැත. අඩුම තරමින් ඔවුන් කරන්නේ කුමක්දැයි සොයා බැලුවේ ද නැත. එසේ සොයා බලන්නට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හෝ පොලිස් අධිකාරීවරයෙකුට බලයක් ලබා දී තිබුණේ ද නැත. සියල්ල සිදු වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේය. 


මෙම ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මිරිස්සේ සංචාරක හෝටලයක පාටියකට සහභාගී වී බීමත්ව කලහකාරීව හැසිරෙමින් එහි දේපොළවලට අලාභ හානී සිදු කර තිබුණේය. මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා ඔවුන් සැක පිට අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියෝග කළ අතර ඒ අනුව සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට ද පත් කෙරිණි. 


එපමණක් නොව පොලිස් අධිකාරී මාරපන මහතා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කළේය. එවැනි තත්ත්වයක් තුළ දකුණු පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා එම කොස්තාපල්වරුන් දෙදනා වැඩිකලක් ගත වීමටත් පෙර යළි සේවයේ පිහිටුවා එම ඒකකයටම යළි අනුයුක්ත කර තිබුණි. 
 මීට පෙර දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වූ ෆ්‍රැන්ක්ලීන් ප්‍රනාන්දු, චන්දන වික්‍රමරත්න, ලලිත් ජයසිංහ, කිංස්ලි ඒකනායක යන මහත්වරු කිසිවෙකුත් මෙවැනි ඒකකයක් පවත්වාගෙන ගියේ නැත. ඔවුන් වැඩිපුර කළේ තමන්ට ප්‍රධාන වශයෙන් පැවරී ඇති පොලිස් පරිපාලන රාජකාරියයි. ඊට අමතරව පොලිස් ස්ථානවලින් නොකෙරෙන රාජකාරී හා වැටලීම් කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයා යටතේ පවතින විශේෂ ඒකක මගින් සිදු කරවීය. 


කෙසේ නමුදු මෙම අතුරුදන් කරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය වෙත එල්ල වෙද්දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරු කර යැවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු ක​ෙළ්ය. ඒ ඉකුත් 16 වැනි දාය. පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාවය මත එම ස්ථාන මාරුවීම ලබා දී තිබුණි. 


ඒ වන විට පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන තිබුණේය. ඒ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන යාමට උපයෝගී කර ගත් වෑන් රථයේ හා මෝටර් රථයේ සී.සී.ටී.වී. දර්ශන ලබා ගැනීමත් සමගය. 
ඊට උපයෝගී කර ගත් සුඛෝපභෝගී වෑන් රථය අක්මීමන ප්‍රදේශයේ නිවසක තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා තමාගේ පෞද්ගලික කටයුත්තකට යයි පවසා ඔහුගේ මිතුරකු වන වෑන් රථයේ හිමිකරුගෙන් එම වෑන් රථය ලබා ගෙන ගොස් නැවත භාර දී තිබුණි. එහි ව්‍යාජ අංක තහඩු සවිකර ගෙන ගොස් මෙම පැහැරගැනීම සිදු කර තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. 
මෙම අපරාධය සම්බන්ධයෙන් පළමුව සැක පිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 27 දා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදි. 


ඊට අමතරව මෙම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ ඇතුළු අනෙකුත් නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. විශේෂයෙන් මෙම අපරාධයට අදාළ සාක්ෂි විනාශ කිරීමටද සැකකාර පොලිස් නිලධාරින් පටන් ගෙන තිබුණි. 

 

නිර්නාමික ලිපියේ සඳහන් කරුණු.

 


මෙය පොලිස් රාජකාරියක් කිරීමට ගොස් සිදු වූවක්ද කිසිවකුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ දෙයක්ද එසේත් නොමැති නම් කප්පම් ගැනීම සඳහා සිදු කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් පරීක්ෂණ කටයුතු අවසානයේ දී මෙම විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හැරීමට දැනටමත් තීරණය වී ඇත. 
ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කර තිබෙන බව දැන ගන්නට ඇත. නිල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අවස්ථාවේදී පොලිස් පහරදීමෙන් එක් ව්‍යාපාරිකයකු මිය ගිය විට එය දුටු අනෙක් ව්‍යාපාරිකයාත් ඝාතනය කිරීම පොලීසිය සිය බලය ඉක්මවා ගොස් සිදු කළ පාතාල ක්‍රියාකාරකමකටත් එහා ගිය ම්ලේච්ඡ ක්‍රියාවකි. 


මෙම සිද්ධියට සම්බන්ධ වූ ඉහළ සිට පහළ දක්වා සියලුම පොලිස් නිලධාරීන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දුඬුවම් ලබා දිය යුතුයි. මන්ද මෙම සිද්ධිය පොලීසිය හා මහජනතාව අතර විශ්වාසය පලුදු වූ අවස්ථාවක් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් ද වන නිසාවෙනි. 


එමෙන්ම ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බිරින්දෑවරුන්ට සිය සැමියන් ද එම පවුල්වල දරුවන්ට සිය පියවරුන් ද නැවත ලබා දීමට පොලීසියට නොහැකි නිසා එම පවුල්වලට සාධාරණයක් ඉටු කළ යුතුය. 


අබිරහසක්ව පැවති මෙම ඝාතන සිද්ධියේ සුලමුල පිළිබඳ තවත් තොරතුරු අද හෙටම හෙළි වනු ඇත. එය වැළලීමට උත්සාහ කළ අය ද අනාවරණය වනු ඇත. එබැවින් යළි මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් ඇති නොවීමට වගකිවයුතු සියලු පොලිස් නිලධාරීන්ට තරාතිරම නොබලා නීතියෙන් දඩුවම් කළ යුතුයි. ඊට හේතුව කිසිවකුත් පොලීසියේ මෙම කැලෑ නීතිය අනුමත නොකරන නිසාය. 

 

 

ඡායාරූප හා සටහන :
ක්‍රිෂාන් ජීවක ජයරුක්