මියන්මාරය ලංකාවේ ශාසනික ඉතිහාසය හා බෙහෙවින් සමීප සබඳතා පැවති රටක් බව හොඳින් දැනසිටියත් නූතන ලෝකය සහ සබඳතාවන් නොමැති, ඉපැරණි සම්ප්‍රදායන් ආරක්ෂා කරන නූතන කාර්මිකරණය හා තාක්ෂණ දියුණුව බැහැර කරන, සංචාරය කිරීමට අපහසු රටක් ලෙස සිතා සිටියෙමි.

   
 පසුගිය දෙසැම්බර් මස 17 වෙනි දින පෞද්ගලික ආයතනයක මාර්ගයෙන් මියන්මාරයට ගියෙමි. ප්‍රසිද්ධ ස්ථානවල අවුන්සායි සුකී නායිකාවගේ ඡායාරූප විශාල ප්‍රමාණයේ බැනර්ද සමඟ ප්‍රදර්ශනය කර තිබුණේ WE STAND WITH OUR LEADER AUNSAN SUKEE ‘‘අවුන්සායි සුකී නායිකාව සමග අපි නැගිටිමු.’’ යන පෝස්ටරයයි.   


මෙයට හේතුව මියන්මාර් පාලනයේ නිල නොවන නායිකාව හේග් නුවරදී යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ රට වෙනුවෙන් පෙනී සිට බුරුම හමුදාව කිසිසේත් මහජන ඝාතනයක් සිදු නොකළ බව ප්‍රකාශ කිරීම හෙයිනි. ඇය මියන්මාරයේ විදේශ කටයුතු ඇමැතිවරිය ලෙසට ජාත්‍යන්තර නීතිවේදීන් සමග පෙනී සිට යු අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළා පමණක් නොව එම චෝදනා ප්‍රතික්ෂේප කළයුතු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.   


බුරුමයේ සිවිල් ආණ්ඩුවටත් වඩා එරට හමුදාව බලවත්ය. එතුමියද වසර 15 ක් නිවාස අඩස්සියේ තබා තිබුණි. එහෙත් බටහිරට අවශ්‍ය වන්නේ බුරුම හමුදාව දුබල කිරීමටයි. මේ බටහිර අාණ්ඩුවේ උගුල්වල හිර වුවහොත් මුළු රටම අරාජික වන බවත් ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය විනාශ කරන බවත් නියම නායිකාවක වශයෙන් ඇය දැන සිටියාය.   
 ඈත අතීතයේ සිටම එනම් ක්‍රි.පූ.3 වන සියවසේ සිට බුරුමයත් ලංකාවත් අතර සංස්කෘතික සබඳතා මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වුණි. දෙරට භික්ෂූන් වහන්සේලා මෙන්ම එකල වෙළෙඳ ප්‍රධානීහු හා රාජ කුමාරවරු මෙම සබඳතා වර්ධනය කර තිබුණි.   


 තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු භාරතීය ධර්මාශෝක රජතුමා ලංකාවට මිහිඳු හිමියන් එවූ අයුරින් සෝන උත්තර තෙරවරුන් - ස්වර්ණභූමියට යවන ලදී. මියන්මාරයටද ධර්මදූත පිරිස් යැවූ බව මෙරටේ බෞද්ධ ග්‍රන්ථවල හා වංශකතාවලද ශිලාලේඛනවලද විවිධ නම්වලින් හඳුන්වා දී තිබේ. බුරුමය ස්වර්ණභූමිය, මරම්මදේශය, අරකන්දේශය, රාමඤ්ඤ රට, රඣග දේශය, සේගු දේශය, ආරමණ රට යන විවිධ නම් යුගයෙන් යුගය භාවිතා කිරීමෙන් පැහැදිලි වන්නේ ක්‍රි.පූ. සියවස්වල සිට 18 වන සියවස දක්වාම වරින්වර ශාසනික සබඳතා පැවැත් වූ බවකි.   


ශ්‍රී ලංකාව හා බුරුමය අතර සබඳතා ශාසනික වූ භික්ෂු සබඳතා දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිට පැවති බව මියන්මාර් විහාරස්ථානවල චිත්‍රවලින් පවා සටහන් කර තිබේ. බුද්ධ කාලයට ප්‍රථම දේවාචික උපාසක වූ තපස්සු භල්ලු‍ක වෙළෙඳ සොහොයුරන් කේශධාතු ලබාගෙන ඔවුන්ගේ නැව අලු‍ත්වැඩියා කරගැනීමට ත්‍රිකුණාමලයට පැමිණි අවස්ථාවේදී කේශධාතු ස්වල්පයක් තන්තිරිමලයේ තැන්පත් කර බුද්ධ කාලයේදීම දාගැබක් ඉදිකර තිබේ.   

 

 


 මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර ථෙරවාද සංස්කෘතික සබඳතා තහවුරු කරගැනීමට අනුරාධපුර මහා විහාරය පෙරමුණ ගෙන තිබේ. රුවන්වැලි මහා සෑයේ මුල්ගල් තැබීමේ උත්සවයට 90000 ක් භික්ෂූන් වහන්සේලා වැඩම කළ බව ථූපවංශයේ සඳහන් වන අතර ස්වර්ණභූමියෙන් සූරියගුප්ත තෙරුන් වැඩම කළ බව සඳහන් වේ. දුටුගැමුණු රජු හා විහාර මහා දේවිය පිළිබඳව සටහන් බුරුමයේ පේගු සහ මනලේ නගරවල පිහිටි පුරාණ විහාරස්ථානවල බිතු සිතුවම්වල දක්නට ලැබේ.   


ක්‍රි.ව. 5 වන සියවස අනුරාධපුර විහාරස්ථානයට වැඩම කොට විසුද්ධ මාර්ගය රචනා කළ බුද්ධඝෝෂ හිමියන් සිංහල අටුවා පාළියට පරිවර්තනය කිරීමට අවසර ලබාගත් අතර, ඒවා බුරුම අකුරින් ලියා බුරුමයට ගෙනගිය බවත් උන්වහන්සේ බුරුම ජාතික භික්ෂුවක් බවත් ජනප්‍රවාදවල සඳහන් වේ.   


 බෞද්ධ ග්‍රන්ථවල අරිමද්දනපුරය යනුවෙන් හැඳින්වෙන පගාන් රාජ්‍ය අයත් වන්නේ උතුරු බුරුමයටය. එහි විසූ අන්ථරථ හෙවත් අනුරුද්ධ රජු 1044 - 1077 වාර්තා සහිත ශාසන ඉතිහාසයක් ඇතිකරයි. ථෙවන් නගරය ථෙරවාදය ව්‍යාප්තව පවතින නිසා එම රාජ්‍යයේ මනූහ හෙවත් මනෝහාරි රජු යටත්කොටගත් නිසා ථෙරවාද පොත්පත් හා සර්වඥ ධාතූන් වහන්සේලාද ථෙරවරුන්ද පගාන් රාජ්‍යයට වැඩම කරවන ලදි. ථෙරවාදී අභිධර්මය ඉගෙනගත් රජතුමා මහාවිහාරයේ අනුරුද්ධ හිමියන්ගේ අභිධර්මාර්ථ සංග්‍රහය කෘතිය මූලාශ්‍ර කරගෙන භික්ෂූන් වහන්සේලාට ඉගෙනීමට යොමුකරවා සේන නත්ථි ත්‍යාගය පවා ප්‍රදානය කිරීමට නියම කෙරුණි. මෙසේ ථේරවාද සම්ප්‍රදායේ ශ්‍රී විභූතිය නිසාම පොළොන්නරුවේ 1 වන විජයබා රජතුමා (1055 -1 110) අනවරථ රජතුමා හා සබඳතා පවත්වා උගත් වියත් විනයධර භික්ෂූන් වහන්සේලා ලංකාවට ගෙන්වාගෙන උපසම්පදාව පිහිටුවීම නිසා මහාවිහාරයීය භික්ෂු පරපුරට නව පණක් ලැබුණි. විජයබා රජුගෙන් ථේරවාද ත්‍රිපිටක ග්‍රන්ථ පුස්කොල පොත් ඉල්ලාගත් අතර දළදා වහන්සේගේ අනුරුවක් ලබාගෙන ස්වේදගොන් සෑයේ නිධන් කරන ලදී.   


 අනුරුද්ධ රජතුමාගේ ශාසන වර්ධන කටයුතු ඔහුගෙන් පසුව කෙයංසිත්ථ (1084 - 1113 ) පුතණුවන් විසින් කරගෙන යන ලදි. ශ්වේදගොන් චෛත්‍යයේ ඉදිකිරීම් අවසන් කළ අතර ආනන්ද විහාරයද ඔහු විසින් ඉදිකරන ලදි. පොළොන්නරුවේ 1 වන පරාක්‍රමබාහු (1153 -1186) රජු සිංහල කුමරියකට කරදර කළ නිසා කිනිනුවර ගලු‍ සෙ​නෙවියා යවා බුරුමයේ කිසුවිය (බැසෙයින්) ආක්‍රමණය කර අලෞන්සිකු රජු පරාජය කළහ. මහා පරාක්‍රමබාහු රජතුමා සිදුකළ සංඝ සංශෝධනය නිසා මෙරට බුදුසමය දීප්තිමත් විය. බුරුමයේ සංඝනායක වූ උත්තරජීව තෙරුන් ජප්පට සාමණේරයන් සමග ලක්දිවට වැඩමවා ලාංකික භික්ෂූන්ගෙන් උපසම්පදාව ලබාගත් අතර ජප්පට සාමණේර නම මහා විහාරයේ රැඳී සිටිමින් දස වසක් ධර්මය ඉගෙනගෙන සද්ධම්ම ජෝතික යන උපාධිය ලබාගත්හ.   


 මේවන විට මියන්මාරයේ පවතින සංචාරක ව්‍යාපාරය නිසා අපටද මියන්මාරය හඳුනාගැනීමටත් ථේරවාදී බෞද්ධ සංස්කෘතියේ සුරක්ෂිත බවත් දැනගැනීමට අවස්ථාව ලැබිණි. අපේ රට සංචාරක ව්‍යාපාරය ද සාර්ථක කරගැනීමට මියන්මාරයේ ආදර්ශය ලබාගත හැකිය. අපේ ශ්‍රීපාද ස්ථානයටත් වඩා උස ගෝල්ඩන් රොක් නැරඹීම සඳහා සැප පහසු ට්‍රක්රථවලින් ගමන්කිරීම සඳහා වංගු 87 කින් යුත් මාර්ග පද්ධතියක් කොන්ක්‍රීට් යොදා සකසා තිබේ.   


වයෝවෘද්ධ අයට හා දරුවන්ට ගමන් කිරිම සඳහා කේබල් කාර් සේවාවක් සහ දෝලාවක්ද සම්පාදනය කර තිබුණි. ඒ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවටද ජීවන පහසුකම් සලසා තිබේ. විහාර මන්දිර හා දාගැබ් රන් ආලේපයෙන් නිරන්තරයෙන් සරසා ඇති අතර බැතිමත් මියන්මාර් ජාතිකයින් දහස් ගණනින් වන්දනාව, භාවනා කිරීම දැක ගැනීමට හැකිවේ. ඔවුන්ගේ සරල දිවිපැවැත්ම හැමතැනකදීම දක්නට ලැබුණි. බෞද්ධ පොදු ජනයා පරිත්‍යාග කිරීම වෙහෙර විහාර සුරක්ෂිත කර සංවර්ධනය කිරීම, පුණ්‍ය කටයුතු ලෙස සලකති. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරකිමින් ලෞකික සැප සම්පත්වලින් තොරව එහි ලොල් නොවී අල්පේච්ඡතාව අගය කරමින් ජීවිතය සැහැල්ලු‍වෙන් ගත කිරීම නිරන්තරයෙන් භාවනාව ප්‍රගුණ කිරීම දක්නට ලැබේ. භික්ෂූන් වහන්සේලාද මෙරුන් පාට සිවුරු පොරවමින් සුරක්ෂාවයෙන් කටයුතු කිරීම නිසාම පිණ්ඩපාතයෙන් යැපෙන භික්ෂූන් වහන්සේලාට දැඩි බැතිබර සිතින් පුදසත්කාර කරනු දක්නට හැකිය.   


 ලී කැටයම් කිරීම, දැවයෙන් හා කිරිගරුඬවලින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම, නෙළුම් දණ්ඩ කෙඳිවලින් නූල් ගොතා සරල රෙදි නිෂ්පාදනය, අත්යන්ත්‍ර භාවිත කිරීම, දේශීය රෙදිපිළි සඳහා හා විවිධ භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන අතර මුතුමාල විවිධාකාරයෙන් දර්ශනීය ලෙසට නිෂ්පාදනය කරන පිරිස්ද දක්නට ඇත.   


මෙම සෑම සම්පතක්ම දැක බලා ගැනීම සඳහා ඉතා විධිමත් ප්‍රවාහන පද්ධතියක් සකසා ඇත. යුරෝපීය රටවල මෙන්ම ජපන් ඉන්දියා කොරියා රටවල නිෂ්පාදිත සුඛෝපභෝගි වාහන පවා ගෙන්වා තිබේ. අධිවේගි මාර්ග මෙන්ම සාමාන්‍ය මාර්ගද විධිමත්ව සකසා තිබීම දක්නට තිබුණි.   


 විදේශීය ධනවත් සංචාරකයින්ට මෙන්ම සාමාන්‍ය අපටද නවාතැන් ගැනීමට සුඛෝපභෝගී හෝටල් ඉදිකර ඇති අතර, සාමාන්‍ය ජනතාවට සුදුසු හෝටල් ප්‍රසිද්ධ ස්ථානවල ඉදිකොට ඇත. අපේ රට මෙන් දස ගුණයක් විශාල මියන්මාරයේ ඈත පළාත් වලට ගමන් කිරීම සඳහා ප්‍රාදේශීය ගුවන්පථ ඉදිකොට ඇති අතර අභ්‍යන්තර ගමනාගමනය සදහා කුඩා ගුවන්යානාද සම්පාදනය කර තිබීම, සියලු‍ ස්ථාන දින කිහිපයකින් නැරඹීමට පහසුකම් සම්පාදනය කර තිබේ.   


 මෙරටේ බෞද්ධයින්ට 11, 12 සියවස්වල පොළොන්නරු රාජධානියේ පැවති ලංකාතිලක විහාරය, තිවංක පිළිමගෙය හා මහපැරකුම්බා රජුගේ මාළිගය එදා පැවති ස්වරූපයෙන්ම දැකබලා ගැනීමට නම් මියන්මාරයට යායුතුය. මෙරටේ සංචාරක මණ්ඩලය තායිලන්තය, වියට්නාමය, මියන්මාරය යන රටවල්වල සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කර ඇති අයුරු අධ්‍යයනය කිරීම තුළින් මෙරටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වේ. 

 
රාජකීය පණ්ඩිත පන්නල සුමේධ හිමි. 

 
පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති දඹදෙණිය - වේවැල්වල පුරාණ විහාරය   
(මියන්මාරයේ සංචාරය කිරීමෙන් පසු)