• මේ සිතියමෙන් දැක්වෙන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලය විසින් රැස් කර ගන්නා ලද දත්තය. තද දුඹුරු පැහැයෙන් දැක්වෙන්නේ වැඩි ම ළදරු මරණ සිදු වන ප්‍රදේශය වෙයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ 1850 ගණන්වල පැවතියාට වඩා මේ වනවිට වායු දූෂණය අඩු වී පරිසරයේ වායුව යහපත් අතට හැරුණු රටවල් ඇතුළත් වූ ප්‍රදේශය. මෝටර්රථවල පිටාර දුමෙහි පමණක් නොව කර්මාන්තශාලවලින් නිකුත් වෙන දුමෙහි මේ පීඑම් 2.5 අංශු අඩංගු වෙයි. 

 

ආහාර නැතිව අපට සති 3 ක් ජීවත් විය හැකියි. ජලය නොමැතිව දින 3ක් ජීවත් විය හැකියි. ඒත් හුස්ම නැතිව අපට ජීවත් වීමට හැකි වන්නේ මිනිත්තු 3ක් පමණි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර යළිත් වරක් විෂ දුමාරයකින් වැසී යද්දී, එම විෂ දුමාරයෙන් කොළඹට ද බලපෑම් එල්ල කරාවි යැයි අනතුරු ඇඟවෙද්දී බිය නොවන්නේ කවුරුන්ද? 
මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය ලෙස වායු දූෂණය දර්ශකයේ ඉහළින්ම ඇත්තේ නවදිල්ලි අගනුවරය. නගර වසා ගන්නා මෙවැනි විෂ දුමාර හැඳින්වෙන්නේ ‘ස්මොග්’ (Smog) යනුවෙනි. ස්මොග් යන්නෙහි අර්ථය දුම (Smoke) සහ මීදුම (Fog) එක්වී නිර්මාණය වූ විෂ වායු වලාව යන්නය. රථවාහනවලින් නැගෙන විෂ දුම්, කර්මාන්තශාලාවලින් පිටවන විෂ දුම් සහ වනාන්තර හෙළි පෙහෙළි කිරීමේ දී සහ ගොවිතැන් කටයුතුවල දී නිකුත් වන දුම් එක්වීමෙන් ස්මොග් නිර්මාණය වෙයි. 


ස්වසන රෝග ඇති කිරීමටත්, ස්වසන රෝග ඇති අයගේ රෝගී තත්ත්වයන් උත්සන්න කිරීමටත් මෙම විස දුමාරය හේතුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. භයානකම දේ එය නොවෙයි, වායු දූෂණය නිසා වසරක් පාසා ලොව පුරා නොමේරු දරුවන් විසි එක් ලක්ෂයක් (මිලියන 2.1ක්) මියයෑමය. 


ඇමෙරිකාවේ නාසා ආයතනයේ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත අනුව, වායු දූෂණය වැඩියෙන් සිදු වන ප්‍රදේශ දැක්වෙන ලෝක සිතියමක් සකස් කර ඇත. ඒ, මෙහි ඇති අවදානම හා තත්ත්වය තේරුම් ගැනීමට පහසුවන ලෙසිනි. මෙම සටහන සමඟ පළ වන්නේ එම සිතියම ය. ඒ දෙස බැලූ පමණින්, වායු දූෂණයට බලපාන ප්‍රධාන සාධකය ලෙස සැලකෙන ඉතා සියුම් අංශු (Fine Particulate Matter) කොටස් ලොව පුරා විසිරී ඇති අන්දම පැහැදිලිව දකින්න ලැබේ. 


මේ සියුම් අංශු කොටස් සෑදී ඇත්තේ දූවිලි හා දැලි අංශුවලිනි. මේවා ඉතා සියුම්ය. ප්‍රමාණයෙන් මයික්‍රොමීටර් 2.5ක් හෝ ඊටත් කුඩාය. අතිශයින් කුඩා ප්‍රමාණය නිසා විද්‍යාත්මකව මේවා හඳුන්වන්නේ ‘පාටිකියුලේට් මැටර් 2.5’ හෙවත් පීඑම් 2.5 යන නාමයෙනි. ඉතාමත් කුඩා නිසා මේවා පහසුවෙන් කෙනකුගේ ශ්වසන පද්ධතිය හරහා පෙණහැල්ලට ඇතුළු වී දරුණු ලෙස රෝගාබාධ ඇති කිරීමට සමත් වෙයි. මේ පීඑම් 2.5 නමැති අංශු මෝටර් රථවල පිටාර වායුව තුළත්, කර්මාන්ත ශාලාවලින් නිකුත් වෙන දුම්වලත්, ගෘහස්තව හා ස්වාභාවික ක්‍රමවලින් වායු ගෝලයට එක්වෙන දුම්වලත් අඩංගු වෙයි. දත්ත පාදක කර ගනිමින් මෙම සිතියම නිර්මාණය කරනු ලැබුවේ, ඇමෙරිකාවේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ සහය මහාචාර්ය ජෝන් වෙස්ට් විසිනි. 

 

 


ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි