කොළොම්පුරේ ජීවිතේ   

 

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය...

පසුගිය කොටස


 

අපේ දවසේ ආදායම දිනපතාම මගේ අතට ලැබෙනවා. මේ කොල්ලො කෙල්ලො පරිගණක තාක්ෂණය උසස් ලෙස හදාරපු අය ගෙවල්වලට කියල තියෙන්නෙ ලොකු සමාගමක සේවය කරනව කියලයි. මේකත් හොඳ කම්පැණියක් තමයි. මේ අයට මම හොඳට ගෙවනවා. එතැන පිරිසට අපේ පැමිණීම ගැන වගේ වගක් නැත. ප්‍රධානියා පැමිණි මොහොතේදී පමණක් අසුන්වලින් නැගිට ගෞරව කළ මොවුන් තත්පරයක් පමණ පුදුමය රැඳි දෑස් වලින් මා දෙස විමසුම් බැලුම් හෙළා සුපුරුදු ලෙසින් පරිගණක තිරයනට දෑස් දල්වාගෙන රාජකාරියේ නිරතව සිටිති.   


මමයි අපේ ප්‍රධාන කළමනාකරුයි හැරුණම වෙන කිසිම කෙනෙකුට මේ කාමරය තහනම්. මේ වගේ තැනක් මගේ කාමරය ඇතුළෙ තියෙනවද කියලවත් අපේ ගැන්සියේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මේ අය පුදුමයෙන් වගේ ඔයා දිහා බැලුවෙ ඒකයි. මෙතනින් එළියට යන පඩිපෙළට එහා පැත්තෙන් දොරක් තියෙනව මේ අය ඇතුළුවෙන්නෙ පිටවෙන්නෙ එතැනින්. දොරකඩ බිත්තියේ කම්පැනියක් හැටියට නමක් ගහල තියෙනව. එච්චරයි.   
අපි දෙදෙනා යළිත් සෝපාව මත ගිලී සිටියෙමු. මෙහි පෙනෙන නොපෙනෙන සියලු දේ අලි බබා සහ හොරු හතළිහ කතාවේ මෙනි. මගේ වික්ෂිප්ත බව වටහා ගෙන දෝ අසල බලා හිඳින බීම ට්‍රොලියට අත දිගුකරන ඔහු මා දෙස බලයි. චිත්ත සමාධියට නොගොස් කථාවේ ඉතිරි කොටසට යාමට බැරිය. මම ට්‍රොලිය ළංකරගෙන වීදුරුවට බීම ස්වල්පයක් ගෙන අමුවෙන්ම ආමාශගත කරගතිමි.   


රජු මා හා දෙඩිමට කැමති සේය. දතයුතු නොගතයුතු සෑම දේම අවංකවම මා ඉදිරියේ පවසාලයි. ඒ පැහැදීම හිතවත්කම විනා මෝඩකම නොවේ. අසනීප වලින් මියගිය ළමයි වෙනුවෙන් අපි බොරු කියල සල්ලි එකතු කරන්නෙ නෑ. හැබැයි එහෙම කරන අය ඕනතරම් පළමු ගිවිසුම අවුරුද්දකින් හෝ දෙකකින් අවසන් වුණාම ගිවිසුම දීර්ඝ කරන්නෙ මව්පියන් හෝ රෝගී පුද්ගලයා කැමති නම් විතරයි.   


මේ කාලය අතරතුරදී රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා විතරක් නෙමෙයි වකුගඩු ආබාධයක් නම් රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනයේ නම ලියාපදිංචි කරනව වකුගඩුවක් ලැබුණොත් ඒක බද්ධ කරවනව. වැඩේ කියන්නෙ ආබාධය නිසා මුදල් ලැබෙනකොට වැඩිදෙනෙක් සුව කරගන්න කැමති නෑ.   
කැකිරාවෙ බොහොම දුප්පත් පවුලක දරුවෙක් අපි ළඟට ආව. එතකොට වයස අවු 3 යි. හරිම ලස්සන කෙළි පැටික්කි. පියාගෙ බීමත්කමයි රේස් සූදුවයි නිසා අම්ම මෙයාලව දාල වෙන කෙනෙක් එක්ක ගිහින්. තාත්ත පොඩි දරුව උස්සාගෙන මගෙ ළඟට ආවේ හඬාගෙන. තාත්තෙක් වුණාට එයාගෙ වයස 20 යි. අවුරුදු 18 දී තමයි කසාද බැඳල තියෙන්නෙ.   
ඔය රජරට පැත්තෙ කෙල්ලො කොල්ලො අඩු වයසෙන්ම විවාහ වෙනවනේ. මේකත් එහෙම එකක්. කෙල්ල උස්සගෙන එනකොට ඒකිට වයස 15 ලු. දූ සිඟිත්ත තමයි පවුලෙ එකම දරුව. අඩු වයසෙදිම වකුගඩුවක් නරක්වෙලා. අවුරුදු දෙකක ගිවිසුමක් ගැහුව. ඒ දරුවගෙන් අපි ගොඩක් හම්බ කළා. ඒ අතරතුරේදී පුද්ගලික රෝහලකින් මෙයාට හරියන වකුගඩුවක් බද්ධ කරන්න මම සූදානම් කළා. වැයවන මුදල රු ලක්ෂ 20 යි. එහෙම කළේ ඒ පුංචි දරුපැටියට මගේ හිතේ ඇතිවුණු දරු සෙනෙහස නිසයි.   
කසාද නොබැන්ඳත් දරුවෙක් මල්ලෙක් නැතිවුණත් මාත් ලේ මස් වලින් හැදුණු මනුස්සයෙක්. ආදරය සෙනෙහස මේ හදවතිනුත් උපදිනව. රජු එසේ තෙපලන්නේ හැඟීම්බරවය.   
මේක අහල ඔයා පුදුමවේවි. දරුවට සැත්කම කරල සුවපත් කරවන්න අර තිරිසන් තාත්ත කැමති වුණේ නැහැ. උෟට ඕන වුණේ මුදල්, සූදු කෙළින්න, මත්පැනට, වෙන ගෑනු ළඟට යන්න මුදල්. මොකද අපි සෑහෙන ගානක් මාසෙකට ඌ අතට දුන්නනෙ. මලක් වගේ අහිංසක දරුපැටියාව සනීප කරගන්න උෟට වුවමනාවක් තිබුණෙ නෑ.   
මට උන්හිටිතැන් අමතක වුණා. එවේලේම අර තිරිසනාව ගහල පැන්නුවා. මගේ අය කැකිරාවට යවලා විපරම් කරවල රාජාංගණය පැත්තෙ දෙවැනි මිනිහත් එක්ක හිටපු දරුවගේ අම්මව ගෙන්නව ගත්තා. දරුව දැක්කම ගෑනිට කෑගහල ඇඬුණා. මොන දේ කළත් අම්ම කෙනෙක්නෙ පුංචි කෙල්ල අම්මට තුරුලුවෙලා හිටපු හැටි මේ දැනුත් පේනව වගේ. පස්සෙ පොලිසියේ පැමිණිල්ලක් කරල දරුව අම්ම බාරයට පත්කරල සැත්කම කළා වියදම ලක්ෂ 40 ක් විතර වුණා.   


දැන් දරුවගෙ වයස අවුරුදු 8 යි. අම්මගෙ දෙවන මිනිහත් දරුවට ආදරෙයි. මේ අය දැන් පදිංචිය තලාව පැත්තෙ දරුවගෙ පාසල් වියදම් හැම එකක්ම දරන්නෙ මම. හොඳටම සුවපත් වෙනකම් බෙහෙත්වලට වියදම් දැරුවෙත් මම. අදටත් මාසෙකට වතාවක් මම කන බොන දේ අරගෙන තලාවට යනව කෙල්ල බලන්න.   


තිරිසන් තාත්ත එතනටත් ඇවිත් සද්දෙ දාල තිබුණා. මම ඌව අපේ අය ලව්ව කොළඹට ගෙන්නවගෙන දෙකක් දීල තර්ජනය කළා. ඒ පවුලට කරදර කළොත් මරල හංගනව කියල. ඊට පස්සෙ ඌට වෙච්ච දෙයක් නෑ. මට බැරිවුණොත් මගේ කෙනෙක් මාසයකට වතාවක් දරුව බලන්න යවනවා. මම මැරෙනකම් ඒක කරනව. ඔහු මහා සුසුමක් හෙළීය.   
රජතුමා පුදුමාකාර මිනිසෙක් යැයි මට සිතිණි. මෙතරම් දරදඬු රළු පරළු මිනිසෙකුගේ හදවත වරෙක වෙඬරු පිඩක් සේ උණුවීම පුදුමාකාර නොවේද? මට දෙවන වතාවට ද බීම බඳුනට සුරත දිගු කළේය.   


ඉතින් ඇයි කසාදයක් කරගත්තෙ නැත්තෙ?   


මොන කසාද ද තරුණ අවදිය මේකටම ගෙවිල ගියා. දැන් මගේ වයස 47 යි. මේ වයසට මාව බඳින ගෑණි කවුද? එක අතකට සල්ලි තියෙනව නම් ගෑනු ද පඤ්ඤං නේද සල්ලි විසිකරනකොට සුපර් කෙල්ලො අතට එනවා.   


එක අතකට කසාද බැඳපු අය විඳින දුක් කන්දරාව ඇහෙනකොට පෙනෙනකොට, තනිකඩ ජීවිතේ සැහැල්ලු සුන්දර බවක් දැනෙනව. ඔහු හොරැහින් මා දෙස බලන්නේ ඇත්ත නේදැයි විමසන්නාක් මෙනි. මා විවාහකයෙකු බව. මොහු දනී. කිසිවක් නොකී මා මධුවිතට අත දිගු කළෙමි.   
යාචකයන්ට අමතරව එක් එක් අංශවල රජු යටතේ සේවය කරන සංඛ්‍යාව 50කට ආසන්නය. ඔහු වැඩිපුර එළියට පහළියට එන්නේ නැත. හම්බකරන ආදායමෙන් සමාජයට ද උපකාර කරයි. මහරගම අපේක්ෂා රෝහලටද ඔහු නිතර ආධාර උපකාර කරයි. අවිස්සාවේල්ල පැත්තේ දුෂ්කර ආරණ්‍ය සේනාසනයකට මාස්පතා දන් පිරිනමයි. මඩකළපුවේ උපන් ගමේ වෙසෙන සොහොයුරාට සොයුරියට පිහිටවේ. ඔවුන් විවාහකව දරුවන් සිටින මව්පියන් වුවත් ඔවුන්ගේ දරුවන්ගේ ඉගෙනුමට නොමසුරුවම වියපැහැදම් කරයි.   
ගමේ අය සිතා සිටින්නේ හනිෆාට කොළඹ ව්‍යාපාර කීපයක්ම හිමි බවයි. මට හරිහැටි ඉගෙන ගන්න බැරිවුණා. ඒ අඩුව පිරෙන්න පිට කෙනෙකුගෙ දරුවෙකුට හරි ඉගෙන ගන්න උදව් කරනවා. තලාවෙ දරුවට මම වියදම් කරන්නෙත් ඒ අදහසින්. මුදල් අපි මැරෙනකොට අරගෙන යන්නෙ නෑ. හම්බ කරනව නම් වියදම් කරන්නත් ඕනෑ. ඒ රජුගේ අදහසයි.   
දවසේ ආදායම කොච්චරක් විතර ද? මා නෑසියයුතු ප්‍රශ්නයක් ඇසුවෙමි.   


ඔහු මැදහසින් මා දෙස බැලීය. දවසට රු ලක්ෂය පනිනවා. අඩු දවසුත් තියෙනව. පෝයට ආගමික උත්සව කාලෙට හොඳයි, සිංහල අවුරුදු කාලෙට නම් වැඩක්ම නෑ. මොකද කොළඹ වැඩි ජනකායක් ගැවසෙන්නෙ නැහැනේ. එන්නෙ කන්තෝරුකාරයෝ විතරයි. ඒ අය මුදලක් පිනට දෙන එක ඇඟෙන් ඇටයක් ගන්නවා වගෙයි. ඔහු සිනාසෙයි.   
යාචකයෝ අඩු දවසුත් තියෙනවා. පුංචි ළමයි එහෙම දවසේ කුලියට දෙන අම්මල තාත්තල කොළඹ අවට ඕනතරම් ඉන්නවා. දරුවට පිටිකිරි වේල් ගණන දීලා නිදිකරවගෙන තමයි බිස්නස් කරන්න කියලා අපේ අයට උපදෙස් දීල තියෙන්නෙ. අතට ලැබෙන මුදලින් කෑවට බීවට තහංචි දමන්නෙ නැහැ. හැබැයි මොනව කළත් උදේට වැඩට එන්න ඕනෑ. ඉස්සරහට එන්නෙ නත්තල.   


මේ කාලෙදී අපේ වැඩි අවධානය මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව වගේ ක්‍රිස්තියානි ප්‍රදේශවලට. ගැටකපන, අනුන්ට ගින්දර දෙන අය මා යටතේ නැහැ. කුඩ්ඩොත් නැහැ. සමහර මුදලාලිල තමන් යටතේ සිටින යාචකයන්ට සාධාරණව ගෙවන්නෙ නැහැ. මම එහෙම නැහැ මට හම්බකරල දෙන අයගෙ දුක සැප බලනවා. ඒ නිසා මං ළඟ වැඩ කරන්න ගොඩක් යාචකයන් කැමතියි.   
සිංහල අලුත් අවුරුද්දට රජු විසින් තමන් යටතේ සේවය කරන සෑම දෙනෙකුටම ප්‍රියසාදයක් පවත්වයි. සේවක මඩුල්ලට වෙනම තැනක ගරු ගාම්භීරවත්. යාචකයන්ට ඔවුන්ට නවාතැන් සපයන ස්ථානයේ ඔවුන්ටම සරිලන ආකාරයෙන් සම්භාෂණය පැවැත්වේ. මධුවිත ඉස්තරම් ආහාර රජු විසිනි. එක් කොන්දේසියකි. යාචක අැඳුමින් ප්‍රිය සාදයට පැමිණීම තහනම් වේ.   


වැරහැලි හැඳගෙන මුහුණු පුරා වවාගත් ඝන රැවුල් හා බුලත් කහටින් බැඳුණු දත් දෙපල සහිතව නොඑකුත් යාදිනි කියමින් ඔබෙන් යදින අපිරිසිදු පෙනුමැති හිඟන්නන්ගේ සැබෑ ස්වරූපය මෙම ප්‍රිය සාදයේ දී දැකගත හැකිය. සමහරු ආරිය සිංහලය. ඇතැමෙක් ලන්ඩන් ගිය බණ්ඩාරවරුන් මෙනි. කාන්තා පක්ෂය ඩෙනිම් ජින්ස් වලින් හයි හීල්ස් වලින් සැරසී ටින්ට් කළ කෙහෙවලු සමග ජැන්ඩි පහට සැරසීගෙනය. මේ බව මා දුටුවේ එවැන්නකට සහභාගිවී නොව රජුගේ අතට හිරවී තිබෙන නවීනතම ඇපල් ස්මාට් ෆෝනයේ ඇති ඡායාරූප එකතුවෙනි.   
බස්රථවල හිඟාකන ක්‍රමවේදයක් තියෙනවා. ළඟ ළඟ ටවුන් සර්විස් බස්වලට නැගලා වැඩක් නෑ. දුර ගමන් බස්වල තමයි ආදායම හොඳ. මේව වැඩි වශයෙන්ම දාන්නෙ තමන්ට හරි තමන්ගෙ බිරිඳට, දරුවෙකුට අම්ම තාත්තට, ඥාතියෙකුට තියෙන අසනීපයක් ගැන හඳුන්වල දීල සම්මාදම් කරන අයයි. මේකට හොඳ මුඛරි බවක් තියෙන්න ඕන. බස් එකේ යන අයට ඇ​ඬෙන්න කතාව තියෙන්න ඕන.   


මේ වැඩේ කරන අය අපි සතියක් පුහුණු කරනවා. ඇත්තටම සුළු හරි අසනීපයකින් පෙළෙන අයගෙ වෛද්‍ය සහතික තමයි ඉදිරිපත් කරන්නෙ. මචං උදව්වක් කරපං කියල බස්වල යන එන තරුණ කොල්ලන් ළඟට එහෙමත් නැතිනම් තරුණ ජෝඩු ළඟට ළංවෙලා ලැමිනේට් කරපු තඹ කොළයක් එහෙමත් නැතිනම් බෞද්ධ කොඩියක් රු 50 ට 100 ට විකුණන කුඩ්ඩො මා ළඟ නෑ.   


දැන් දහවල් වී ඇත. වායුසමීකරණයෙන් යුතු කුටිය හැරුණු විට මුළු කොළඹම දැවෙමින් තිබෙනු නිසැකය. රජුගේ දිවා ආහාරයට ලැබුණු ආරාධනය ද එහෙමම තිබේ. මධුවිතද යහමින් ඇත. රාජකාරි කරන ස්ථානයෙන් ද අද දින මා නිවාඩු ලබාගෙන සිටින නිසා මම අද සම්පූර්ණයෙන්ම නිදහස් මිනිසෙකි.   
මේවගේ දවසක් මටත් ලැබෙන්නෙ කලාතුරකින්. අනිත් එ් ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්නත් මට ඉඩක් නැත්තෙ විශ්වාසයක් නැති නිසා. මම සාමාන්‍යයෙන් කාර්ය බහුලයි. අද දවස වෙන්කළෙත් මගේ මිත්‍රයගෙ ඉල්ලීම නිසා. එයා ඔයාව හරි ඉහළින් රෙකමදාරු කළා. ඉතින් ඒ විශ්වාසය රකීවි කියල මම හිතනව.   
මේව පත්තරේට ලිව්වට කමක් නැහැ. ඒත් අනන්‍යතාව හෙළිදරව් වෙන විදියට සමාජයට ගෙන යන්න එපා. හරි දැන් සාකච්ඡාව ඉවර කරමු. වැඩේට බහිමු. මම ටිකක් පාවිච්චි කරන්නෙ මේ වගේ විශේෂ අවස්ථාවක දී විතරයි. මට එක ආගමක් නැහැ. පන්සලට පල්ලියට, කෝවිලට පුළුවන් විදියට ආධාර උපකාර කරනව, පසළොස්වක පෝයට ගංගාරාමයට නම් යනවමයි.   


රෑ හඳපාන බේරෙ කොළපාට වතුරට වැටිල දිළිසෙන හැටි බලන්න මම හරිම ආසයි. බුදුන් වැඳල ඇවිත් වළාකුළු බැම්මට හේත්තු වෙලා පැය ගණනක් එහෙම ඉන්නව විස්කි බෝතලයට අත යවමින් ඔහු කියයි. හිඟන රජෙකු ධනකුවේරයෙකු අතරින් සොබාදහමේ අසිරියට වසඟවන සංවේදී මිනිසෙකු මගේ අැස් ඉදිරිපිට වාඩිවී සිටී.   
අපි ලන්ච්වලට යමු. ඔහු කොල්ලුපිටියේ සමුද්‍ර මාවතේ තරු හෝටලයක නමක් කියයි. එතන උඩ තට්ටුවෙ මුහුද පෙනි පෙනි කෑම ගන්න මම හරිම ආසයි. සුරතින් ගත් මධුවිත සමග මා සමීපයට විත් ඉඳගන්නා ගමන් රජු කියයි.   


මෙම සටහන කියැවූ ඉරිදා ලංකාදීප පාඨක ඔබට අරාබි නිසොල්ලාසයේ එන කතාන්දරයක් කියෙව්වාක් මෙන් කුතුහලයක් ප්‍රශ්නාර්ථයක් දැනෙන්නට ඇතුවා නිසැකය. ඇත්තෙන්ම මේ පුංචි රටේ මෙවැනි දෑ සිදුවිය හැකිද? මගේ හෘද සාක්ෂියට අනුව මෙසේ පවසමි. මනඃකල්පිත වන්නේ මෙහි සඳහන් පුද්ගල නාමයන් පමණකි.   
හෙට දිනයේදී බස්රියේ, දුම්රියේ නොඑසේනම් හන්දියකදී මහමග පදික වේදිකාවකදී දහසක් යාදිනි යදිමින් ඔබෙන් සිඟමන් ඉල්ලන අහිංසක පෙනුමැති යාචකයා හිඟන රජෙකු ළඟ වැටුපට සේවය කරන්නෙකු විය හැක.   

 


තිලක් පුෂ්පකුමාර