අද සිරිපා වන්දනාව බොහෝ විට භාවිතා වෙන්නේ විනෝද ගමනක් ලෙසිනි. නුදුරු අතීතයේ දී ඒ සඳහා ආම්පන්න ද රැගෙන බජව්වකට යන ලීලාවෙන් සිරිපා ගමන අවසංවර්ධනය වෙමින් පැවතුණි. ගරුතර භික්ෂූන්වහන්සේලා ප්‍රමුඛ කොටගත් නායක කාරකාදීන්ගේත් සිවිල් සමාජ, සංස්කෘතික සංවිධානවලත් පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලත් බලවත් පරිශ්‍රමය නිසා මේ වෙන විට සිරිපා කරුණා කිරීම් යම් පමණකට මතුපිටින් හෝ හික්මුණු ස්වරූපයකට පත්ව ඇත. නමුත් අඩසියවසකට පමණ පෙර මනා සංයමයෙන් යුතුව අනවශ්‍ය කෑකෝ ගැසීම්වලින් තොරව ඉතා සංවරසීලි ඇඳුම් පැළඳුම්වලින් සැරසී හික්මීමෙන් යුතුව සිරිපා කරුණා කළ පිරිස් දැකීම කාගේත් සිත් සතන් තුළ පහන් සංවේගය දැනවීමට සමත් විය.   

එකල සිරිපා කරුණා කිරීම යථෝක්ත කරුණා කරන්නන්ටත් මාවත් දෙපස පිහිටි ගම් දනව්වල ජීවත් වූ ගැමියන්ටත් එකසේ රසවත් ආශ්වාදජනක අත්දැකීමක් විය. සිරිපා කරුණා කරන ප්‍රධාන මාර්ග තුන නම් රජමාවත නමින් හඳුන්වන රත්නපුර ගිලීමලේ හරහා පලාබද්දල මාර්ගයත්, හැටන් මාර්ගයත්, කුරුවිට සිට එරත්න හරහා ගොස් හැරමිටිපානේ ගල්වංගෙඩිය නම් ස්ථානයේදී රත්නපුර මාර්ගයට සම්බන්ධ වෙන කුරුවිට එරත්න මාර්ගයත්ය. තවත් මාර්ග හතරක් පමණ තිබූ අතර ඒවා එතරම් ප්‍රකට මාර්ග නොවීය. එයින් තුනක් රත්නපුර මාර්ගයට මගදී සම්බන්ධ විය. මේ හැම මාර්ගයක් ගැනම සලකා බැලීමේදී පා ගමනින් අඩුම දුර ප්‍රමාණයක් කරුණා කළ යුතුව තිබුණේ හැටන් මාර්ගයෙන්ය. අනෙකුත් කුමන මාර්ගයකින් කරුණා කළත් සැතපුම් පහළොවක් හෝ ඊට වැඩිදුරක් එද‌ා පා ගමනින් යායුතු විය. එම පා ගමනින් යන දුර ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වූයේ වාහන යා හැකි මාර්ග ක්‍රමයෙන් දීර්ඝ වීම නිසාය. අද වෙන විට රත්නපුර මාර්ගයේත් පළාබත්ගල (ශ්‍රී පලාබද්දල) දක්වා වාහනවලින් යා හැකිය. එතැන් සිට පයින් යාමට ඇත්තේ සැතපුම් හයක් පමණ දුරකි. ශ්‍රී පලාබද්දල ගම් ප්‍රදේශය එදා හැඳින්වූයේ ‘පළාබත්ගල’ යනුවෙනි.   


පෙරදී නම් මහ වනය මැදින් වැටුණු අඩි පාරවල් දිගේ ගංගා ඇළ දොළ තරණය කරමින් යා යුතු විය. එසේ යන විට වනයේ වටවුණු ගම්මානයක් හමුවිය. එය පසු කළ විට යළිත් මහ වනයයි. යළිත් කුඩා ගම්මානයකි. හැටන් මාර්ගය හැරුණු විට අනෙක් සියලුම මාර්ගවල තත්ත්වය එය විය. ඒ සියලුම මාර්ග වැසි දිනවලදී කුඩැල්ලන්ගේ රජදහන් බවට පත්විය. සබන්, දුම්​කළ, තලා ගත් ‘පොතු ඇට’ නමැති අැට වර්ගය යන ඒවායින් එක් වර්ගයක් රෙදිකඩක කුඩා පොට්ටනියක් සේ සකසාගෙන එය දණහිසින් පහළ අතුල්ලමින් ගමන් කළ යුතු විය. වැස්සට හෝ පින්නට ඒවා සේදී ගිය විට යළිත් ගාගත යුතු විය. නැතිනම් කූඩැල්ලන්ගෙන් බේරීමක් නොවීය. සිරිපා හිමයේත් ඒ ආශ්‍රිත වනාන්තරවලත් සිටින මාංශ භක්ෂකයා කොටියාය. උගෙන් සිරිපා කරුණා කරන්නන්ට හිරිහැරයක් වූ බවක් අසන්නට ලැබී නැත. නමුත් එක් සිරිපා කරුණා නොකරන අවාරයකදී සිරිපා මග දිගේ තනිව ඉහළට ගිය කෙනකු කොටියකුගේ ප්‍රහාරයකට ලක්ව තිබුණි.   


අවාරයට සිරිපා මළුවේ මුර සේවයේ යෙදුණ කෙනකුට මෙසේ කොටි ප්‍රහාරයකට ලක් වූ අයගේ මළ සිරුර දක්නට ලැබී ඇත. සිරිපා හිමයේ අලි සිටියේ ඉතාම සුළු පිරිසකි. ඔවුන් ද සිරිපා සමයේදී එම මාවතින් බොහෝ දුරස්ව සිටියහ. කලාතුරකින් අලි ගැවසුණු බවට සළකුණු මගතොටේ දැකගන්නට ලැබුණි. ඇතැම් විට වන්දනාකරුවන්ට අලි මුණගැසුණ ද උන්ගෙන් හිංසාවක් පීඩාවක් සිදුවී නැත. නයා, පොළඟා, කරවලා, කුණකටුවා, දියමකුළුවා (කොටිමකුළුවා) යන විස සහිත සත්ව විශේෂ සිරිපා හිමයේ ඇතත් උන්ගෙන් සිරිපා කරුණා කරන අයට පීඩාවක් වූ බව අසන්නට ලැබී නැත.   


අවාරයේදී මෙම අඩි පාරවල් තණකොළ හා කැළෑ පඳුරුවලින් වැසී යන නිසා යළිත් සිරිපා සමය ඇරඹෙන්නට ආසන්න වෙන විට ගම්කාර්ය සභා සේවකයින් විසින් අඩි තුන හතරක් පමණ පළලට ශුද්ධ පවිත්‍ර කෙරුණි. මේ කටයුත්ත මග දෙපස දරුවන්ට සිරිපා සමය ඇරඹෙන්නට ළංවෙන බවට දැනුම් දීමක් බඳු විය. අද මෙන් විද්‍යුත් මාධ්‍ය නොවූ එකල තිබුණු පුවත් පත් හා ගුවන් විදුලිය පිටිසර ගම්වල භාවිතා නොවුණි. වැඩිහිටියන්ට සිරිපා සමය ගැන අවබෝධයක් තිබුණත් ඔවුන්ද කුළුගැන්වුණේ මේ මාර්ග ශුද්ධ කිරීමෙනි.   


එකල සිරිපා යන මාවත් දෙපස කුඩා ගම්මානවල ගමකට එකක් දෙකක් පමණ කුඩා කඩපිල් තිබුණි. අවාරයේ ඒවා නිවෙස්ය. කඩ උළුවහු තබා ලෑලිවලින් වසා තිබුණු ඒවා සම්පූර්ණයෙන් ලෑලි ඉවත් කර විවෘත කෙරුණේ සිරිපා සමයටය. අවාරයට ලෑළි තුනක් පමණක් විවෘතව ගෙදරක් ලෙස පැවතිණි. කඩපිලක් තිබුණු සෑම නිවසකම පාහේ අම්බලමක් තිබුණි. මෙහි සඳහන් වෙන්නේ රජයෙන් හෝ ප්‍රකට සමාජ සේවා ආයතන මගින් හෝ ඉදි කෙරුණු ළිහිණිහෙල, හැරමිටිපාන, ආඬියාමළතැන්න වැනි සිරිපා හිමයේ ඇති අම්බලම් ගැන නොවේ. සියයකට පමණ නවාතැන් ගත හැකි වූ සේ අම්බලම් තනා තිබුණේ එම නිවැසියන් විසින්මය. වන්දනා නඩ දෙක තුනකට උයා පිහා ගැනීමට හැකි වෙනසේ අම්බලමට කුස්සියක්ද විය. අම්බලමට අමතරව පුවක් පටි යෙදූ දණක් පමණ උසැතිව නොතෙමෙන සේ සැකසූ මැස්සක් දෙකක් ද විය. යථෝක්ත කඩ හිමියන් (නිවැසියන්) සිරිපා සමය ඇරඹෙන්නට මසකට පමණ පෙර සිට වටපිට දෙතුන් දෙනකුද සමඟ වනයට ගොස් දර කපා ගෙනවිත් රැස් කෙරේ. වනයට යාමට විශේෂ ගමනක් නොවූයේ නිවසට යාබදවම මහ වනය තිබූ නිසාය. හැඩවක, කැකිරිවරා, කැප්පිටියා වැනි ගස් කපා කුට්ටිකර ගෙනැවිත් පළා දර මඩුවෙහි අඩුක් කෙරිණි. අම්බලම්වල, මැහිවල හා ගෙවල වහළ බට කොළ හෝ වෙනත් කොළ වර්ගයකින් සෙවිලි කර එ්වා පිළිසකර කෙරුණි. බිම ගොම මැටි ගා සකස් කෙරුණේ ගැමි ළියන් අතිනි.   


ඉහත දී සිරිපා මාවත් දිගට විදුලි එළි තිබුණේ නැත. විදුලි එළිය ලැබුණේ පනහ දශකයේ මැද භාගයේය. එසේ වුවත් සමහර විට සෑහෙන දුරක් විදුලිය ක්‍රියාවිරහිතව තිබුණු අවස්ථා එමටය. ඒ නිසා විදුලිය නොතිබුණු අවධියේ මෙන්ම තිබුණු අවධියේත් සිරිපා සමය ඇරඹෙන්නට සති දෙක තුනකට පෙරාතුව ‘බම්බුකාරයෝ’ මග දිග කඩපිල්වලට ළඟා වෙති. භූමි තෙල් පුරවා පාන්කඩ මූඩියක් ගසා දල්වාගෙන යා හැකි වන සේ අඩි දෙකහමාරක් පමණ දිගට කපා ගත් උණ බම්බු මිටි කර තියාගත් අයද, බම්බු මිටි දෙකක් කත් ලීයක බැඳගත් උණ බම්බු මිටි කත්කාරයෝද මෙසේ එන අය අතර වූහ. ඒවා කඩපිල්වලට අලෙවි කොට යම් මුදලක් උපයා ගත්හ. වන්දනාකරුවෝ කඩපිල්වලින් උණ බම්බු පන්දම් මිලදී ගත්හ. සමහර වන්දනාකරුවෝ තම ගෙවල්වලින්ම පන්දම් සකස් කරගෙන ආහ. පරණ කොහොල්ලෑ සහ දුම්මල එකට කොටා පුවක් කොළසේ දිග අතට මැදට පුවක් කීරක් තබා රෝල් කරගෙන මේ පන්දම් සකස් කර තිබුණි. පුවක් කීරි කෙළවරක් පිටතට සිටින සේ තිබුණ නිසා ගිමන් හැරීමකදී පන්දම පොළවේ සිටවා තැබීමටත් හැකි විය. එම පන්දම දල්වා එළිය අඩුවේගෙන එන විට එයින් හෙමින් ගලකට තට්ටු කළ විට යළිත් හෝගාමින් දැල්වෙන්නට විය.   


කඩපිල්, නිවෙස්, අම්බලම් ආදී සියල්ලෙහි වහළ සෙවිලි කර තිබුණේ බට කොළ හෝ කොළ අතුවලිනි. වහළ පහත්ය. අඩි පාරේ සිට ගෙයකට කඩපිලකට අඩි හය හතකට වැඩි දුරක් නොවීය. නමුත් සිරිපා කරුණා කළ ඇත්තන්ගේ පන්දමකින් වහළයකට ගිනි ඇවිළිණු පුවතක් කිසිද‌ාක අප අසා නැත. එක දිගට වැල නොකැඩී යන වන්දනා නඩවල පන්දම්වලින් වහළ රැකගැනීමට ගෙහිමියන්ගේ විශේෂ සුපරීක්ෂාවක් තිබුණේද නැත. නමුත් අද ඒ තත්ත්වයක් තිබුනේ නම් එක් සිරිපා සමයක දී ගෙවල් හතරක් පහක්වත් ගිනිගෙන විනාශ වෙන බව පමණක් කියමි.   
හැට හැත්තෑවක් වන්දනාකරුවන්ගෙන් යුතු වන්දනා නඩයකට ගම්වලින් තනා ගෙනආ පන්දම් මිටි කරගහගෙන යන පන්දම් මිටිකරුවෝ දෙතුන් දෙනෙක් වූහ. අාහාර පිළියෙල කර ගැනීමට වුවමනා හාල් තුනපහ පොල් සිල්ලර යනාදිය කර තබාගෙන යාමටත් දෙතුන් දෙනෙකු වුවමනා විය. ඊට අමතරව සෑම කෙනෙකුගේම සැහැල්ලුවක් විය. ‘සැහැල්ලු’ යන වචනයෙන් කියැවෙන්නේ බර නොමැති බවයි. නමුත් මේ සැහැල්ලුවක තනි අතකින් ඔසවාගෙන යාමට බැරි තරමේ බරක් තිබිණි. නමුත් බර නොමැති බව හැඟවීමට සිරිපා හිමයේ දී භාවිතාවට ආ වචනයකි ‘සැහැල්ලුව’ සැහැල්ලුවෙහි තම තමාගේ ඇඳුම් පැළඳුම් අඩුම කුඩුම බේත් හේත් යනාදිය බහා තිබුණි. ඇතැම් විට හාල් පොල් තුනපහද ඒවා තුළ බහා තිබුණි. මේ උපකරණය උරහිසින් ඉදිරියටත් පිටුපසටත් කොට්ට උර දෙකක් එල්ලා වැටෙන සේ සිටින්නට රෙදිවලින් මසා සකසා ගත් එකකි. උරහිස මත දෙපසේම කටවල් තිබිණි. එතැනින් ඉදිරිපස කොටසටත් පිටුපස කොටසටත් ඕනෑම දෙයක් බහාලිය හැකි විය. අද භාවිතා වෙන අත් බෑග්, බෑග්, සූට් කේස් හෝ පොලිතින්වලින් සැකසූ එවැනි සියලු බෑග් වර්ග වෙනුවට එද‌ා භාවිතා කෙරුණේ මේ සැහැල්ලුවය.   


වන්දනා නඩයක ප්‍රධානියා ගුරුන්නාන්සේය. වන්දනා නඩය යනුවෙන් හැඳින්වුණේ එක් ප්‍රධානියෙකුගේ උපදෙස් අනුසාශනා සහ රැකවරණය, ඇල්ම, බැල්ම, ආරක්ෂාව යටතේ සිරිපා කරුණා කිරීමට යෙදුණු බැතිමතුන් සමූහයකටය. ඔහුගේ බහට සියලු දෙනාම අවනත වූහ. සෑහෙන වාර ගණනක් සිරිපා කරුණාකොට මගතොට පරිසරය සතා සර්පයා පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තිබුණි. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී සියලු දෙනාගේම වගකීම දැරීමට හැකි එඩිතර තමා යටතේ ගමන් ගන්නා සියලු දෙනා අතුරු අන්තරාවකින් තොරව ගමට ගෙන ගොස් අැරලීමට සමත් හැකියාවන්ගෙන් අනූන කෙනෙකු විය.


ගුරුන්නාන්සේගේ බරපතළම කාර්ය භාරය වූයේ මහගිරිදඹයේ ඉතාම අසීරු කොටසින් තම වන්දනාකරුවන් සීරුමාරුවට ඉහළට කරුණා කරවා ගැනීමත් අනතුරුව පහළට කරුණා කරවා ගැනීමත් විය. අද මෙන් ආරක්ෂා වැටවල් හෝ මනාව සැකසූ පඩි පෙළ නොවූ බැවින් එය ඉතා භයානක අවස්ථාවක් විය. මහගිරිදඹයේ සුළං කපොල්ල (සුළංකඩු කපොල්ල) නම් වූ කොටස පසු කිරීම ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන අවස්ථාවක් විය. මහගිරිකුළු අඹරවාගෙන එන සේ හඬ තලමින් ඇදී එන මහා සුළං ප්‍රවාහය මදකට සන්සුන් වූ පසු සුළං කපොල්ල පසු කළ යුතු විය. ඉදින් එසේ අපහසු වුවහොත් සුළං ප්‍රවාහය ඉවතට ඇදී යන තුරු හිටි තැනම පහත් විය යුතු විය. නැත්නම් බිම දිගා විය යුතු විය.   


මෙම සටනින් තම කණ්ඩායම ජයග්‍රහණය කරවීම ගුරුන්නාන්සේගේ අතිශය බරපතළ රාජකාරිය විය. ගමනට අවශ්‍ය බේත් හේත් ඇතුළු සියලු ආම්පන්න සපයා ගැනීමට තම නියම කිරීමද ඔහුගේ රාජකාරිය විය. ඊට අමතරව තම තමන්ට වුවමනා කරන දේ සපයා ගැනීම මාසයක් හමාරක් තිස්සේ සිට නඩයේ උදවිය අතින් ද සිදුවිය. මේ සඳහන් කරන්නේ දශක හයකට පමණ පෙර පැවති තත්ත්වයයි. ඊටත් කලකට පෙර සිරිපා කරුණා කළ අය ගම්බිම්වලින් පිටත්වෙන්නට පෙර වතුපිටි හරකාබාන ආදී සබ්බ සකලමනාවම උරුමකරුවන්ට පවරා දී පිටත්වීම සිරිතක්ව පැවතුණි. ආපසු පැමිණීම අවිනිශ්චිත තත්ත්වයක් එද‌ා පැවතුණි. සිරිපා කරුණා කිරීම එතරම් භයානක ගමනක් විය. එකල ගල් පඩි වෙනුවට යකඩ දම්වැල්වල එල්ලී ගමන් කළ යුතු තැන්ද තිබුණි.   


පෙර කිසි දිනක සිරිපා කරුණා කර නොමැති ළමුන් ‘කිරි කෝඩු කාරයින්’ ලෙස ද එවැනි වැඩිහිටියන් ‘දඬු කෝඩු කාරයින්’ ලෙස ද හඳුන්වනු ලැබිණි. වෙනත් අයටත් වඩා කෝඩු කාරයින් වචනයෙන් පරෙස්සම් විය යුතු විය. ‘නෑ, බෑ, අපහසුයි’ යන අදහස ඇති දේ කීමෙන් වැළකීම ‘කටපරිස්සම් කර ගැනීම’ යනුවෙන් භාවිත විය. අතක පයක රිදුමක් වේදනාවක් බඩේ කැක්කුමක් හෝ වෙනත් ශරීර අපහසුවක පරිසරය නිසා ඇති වෙන අපහසුවක් ප්‍රකාශ කිරීම නොකළ යුතු බවට කා අතරත් අදහසක් පැවතිණි. එවැන්නක් ප්‍රකාශ වූයේ දරා ගැනීමට අපහසුම අවස්ථාවක දී පමණි.   
සිරිපා භූමියට ඇතුළු වීමට පෙර නඩයේ සියලු දෙනාම පන්සිල් ගෙන සිරිපා භූමියට අධිපති සුමන සමන් දෙවියන්ට පින්දී අතේ පඬුරක් ගැට ගැසීම අනිවාර්ය කටයුත්තක් විය. සිරිපා කරුණා කරන්නට ගම් රටවලින් පිටත් වූ මෙහොතේ සිටම සුමන සමන් දෙවියන් සිහි කිරීම, එතුමන්ගේ ආරක්ෂාව රැකවරණය පැතීම එකල සිදුවිය. ඒ මතු නොව සබරගමුව පළාතේ උදවිය දිවා රෑ වෙනසක් නැතිව තම ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට ඕනෑම අපහසුතාවයක දී පඬුරක් බැඳීම සිදු කළ අතර එම පඬුරු ඔප්පු කිරීම සමන් දේව පෙරහැර මංගල්‍ය කාල සීමාවේ දී සිදු කළහ. ශ්‍රී ලංකාවේ මහ නුවර දළදා පෙරහැරට පමණක් දෙවැනි වෙන රත්නපුර මහ සමන් දේවාල පෙරහැර සමන් දෙවියන් පිදීමේ උච්චතම අවස්ථාවයි.   


හිමයේ කරුණා කරන අතරේත් ඉදඳිකටු පානේදී කෝඩුකාරයින් ලවා ගෙත්තම් කරවීම එකල විශාල වශයෙන් සිදුවිය. එසේ හැරමිටිපානේ දී කුඩා කම්බි කූරුවලින් සැකසූ හැරමිටි පූජා කිරීම ද සිදුවිය. නිරෝගී සම්පත් පැතීම, ඊළඟ වාරයේත් සිරිපා වැඳ පුදා ගැනීමට ශක්තිය ධෛර්ය උපදවා ගැනීම හැ රමිටි පූජාවේ අරමුණ විය. හිමයේ කරුණා කරන අතරේ සීත ගඟුලේ දී සියලු දෙනාම අත් පා දොවා ඇතැම් විට දිය නා පිරිසිදු වී යළිත් පන්සිල් ගෙන පඬුරු බැඳ ගැනීමට හැමදෙනාම වගබලා ගත්හ. එහිදීත් සුමන සමන් දෙවියන්ගේ පිළිසරණ රැකවරණය පැතීම මූලිකම අරමුණ විය.   


සිරිපා කරුණා කරන බැතිමතුන් තම වෙහෙස නිවා ගැනීමටත් වන සතුන් පලවා හැරීමටත් සමන් දෙවියන්ගේ ආදර කරුණාව ලබා ගැනීමටත් කවි ගායනා කිරීම චාරිත්‍රයක් විය. ලොකු වන්දනා නඩයක නම් දෙදෙනෙකු එකතුව හඬ නගා කවි පදයක් ගායනා කළ අතර සෙස්සෝද එය ගායනා කළහ. පළමු දෙදෙනා යළිත් මුල් පදයම ගැයූහ. සෙස්සන් යළිත් එයම ගැයූ පසුව මුල් දෙදෙනා කවියේ දෙවැනි පදය ගයන්නට පටන් ගත්තෝය. එයත් පෙර පරිදිමය. කවි ගැයුණේ එලෙසිනි. මේ සඳහා භාවිතා වූයේ ‘තුන් සරණේ’ ‘පුරාණ හිමගන වර්ණනාව’ යන කවි පොත්වල කවිය. කවි ගැයුණේ එලෙසිනි. එම කවි කටපාඩමින් ගැයීමට බොහෝ දෙනෙකුට හැකියාව තිබුණි. සිරිපා කරුණා කිරීමට ගම්බිම්වලින් පිටත්ව වාහනවල එන අතරතුරදී ජනාකීර්ණ පෙදෙස්වලදී පවා යථෝක්ත කවි ගායනය සිදුවිය. වන්දනා ගමන් යන වාහනවල ඉදිරිපස අංක තහඩුව අසල පුවක් මලක්, දෝතලු මලක් සමහරවිට ඒවා දෙක බැගින් බැඳගෙන යාම එකල සිරිත විය. ඉහත සඳහන් කළ පරිදි තම ගම් බිම්වලින් සිරිපා කරුණාව ඇරඹි මොහොතේ සිට සමන් දෙවිඳුන් උදෙසා කරනු ලබන පඬුරු බැඳීම, භාරහාරවීම් යනාදි සියලු ආවතේව වත්පිළිවෙත් කාරණා කටයුතු සියල්ල ගුරුන්නාන්සේගේ මූලිකත්වයෙන් එතුමාගේ උපදෙස් අවවාද අනුශාසනා යටතේම සිදුවිය. ඊටත් අමතරව කිරි කෝඩු, දඬු කෝඩු කාරයින්ගේ සියලු වත්පිළිවෙත් ගුරුන්නාන්සේගේ දැඩි අවධානය රැකවරණය යටතේම සිදු විය.   


හින්දු බැතිමත්හු ද එකල බහුලව සිරිපා කරුණා කළහ. එම නඩවල කෙනෙකු ‘හරෝ හරා’ යි කී විට සෙසු පිරිස ‘ගෝවින්ද‌ා’ යි ගායනා කළහ. එකල ගම්වල බාල මෙන්ම වැඩිහිටියන්ද ‘ගෝවින්ද‌ා’ යන්න වෙනුවට ‘ගේ බන්ද‌ා’ යි උච්චාරණය කළ බව තාම අපට මතකය.   


වාහනවලින් බැස පා ගමනින් කරුණා කරන මාවතේදී ගමන් විඩාව නිවා ගැනීමට ආහාර සකස් කර ගැනීමට රාත්‍රිය ගත කිරීමට වසර ගණනාවක් තිස්සේ සුපුරුදු තැන්වලටම පැමිණීමට බොහෝ ගුරුන්නාන්සේලා පුරුදුව සිටියහ. එසේ පැමිණි බොහෝ වන්දනා නඩ නිද‌ා ගැනීමට පැදුරු, අම්බලම සහ වටපිට අතුපතු ගෑමට කොසු ඉදල් ගමෙන්ම සකසා ගෙන පැමිණියහ. අම්බලමෙන් පිටත් වූයේ යථෝක්ත උපකරණ අම්බලම හිමි කඩයට/ නිවසට පරිත්‍යාග කරමිනි. එසේ එකතුවෙන උපකරණ අනෙකුත් වන්දනා කරුවන්නටද භාවිත කිරීමට නොමිලයේම සැපයිණි. මේ කඩ කුඩා වුවත් ඒවායේ වන්දනා නඩ තුන හතරකට වුවද උයා පිහා ගැනීමට අවශ්‍ය හට්ටි මුට්ටි හැළි වළං තිබුණි. මේ කිසිවකට මුදල් අය කිරීමක් නොවීය. යම්කිසි විටෙක වළඳක් බිදුණහොත් එයට මුදල් දුන්නත් කඩහිමියෝ එය ප්‍රතික්ෂේප කළහ. පිංසෙණ්ඩු වෙවී මුදල් දෙන්නට උත්සාහ කොටත් භාර නොගන්නා විට නඩේ ගුරුන්නාන්සේ නිහඬ විය. නමුත් ඊළඟ සිරිපා සමයේ දී ගුරුන්නාන්සේ පැමිණියේ බිඳුණු වළඳට සරිලන වළඳක් දෙකක් ද රැගෙනය.   


වන්නියේ ගැමි ජීවිතය ගැන කවි ලියූ නාරම්පනාවේ විමලරත්න කුමාරගම කවියා 1945 දී පමණ ලියූ ‘ආගන්තුක සත්කාරය’ නම් පැදි පෙළෙහි පැදි දෙකක් මගේ සිහියට නැගුණේ ඉහත කාරණයට යම් තරමක සබැඳියාවක් එම පැදි පෙළේ තිබෙන නිසාය. ඒ කවි දෙකේ අග පද මෙසේය.  


‘‘ගෙඩියක් කඩාගෙන ගෙමිදුල තැඹිලි ගසින්  
පිළිගැන් වීය මට සොම්නස පිරුණු හිසින්’’  
‘‘කෙලෙසද කියා කළගුණ සැළකිය යුත්තේ  
දුන් සත පනහවත් ඔහු නැත පිළිගත්තේ’’  


යනු එම කවි පද සතරය.

  
අම්බලමේ නතර වී පිස ගත් බත ඉක්මණින් නිවා ගැනීමටත්, ගුලි ගැසීම කැටි ගැසීම වළක්වා ගැනීමටත් හැළි වළං තවත් වන්දනා නඩයකට දීමටත්, ඇතුල් පත් (වට්ටි) වල තුනී කරනු ලැබීය. පොල් කොළවලින් වියන ලද ලොකු ඇතුල් පත් කඩවල තිබුණි. රම්පා කොළවලින් වියන ලද අැතුල් පත් ද තිබුණි. රම්පා කොළ ඇතුල් පත්වල බත නිවෙන්නට දැමූ විට බතේ නැවුම් සුවඳක් ඇති වන බවට අදහසක් කා අතරත් තිබුණි. අවාරයේදී ගෙවල ගැමි ළියෝ මේ ඇතුල් පත්, පැදුරු වියා තබන්නට අමතක නොකළහ. එය සිරිපා කරුණා කරන්නන්ට කරන විශේෂ උදව්වක් ලෙස එද‌ා ගැමි ළියෝ කල්පනා කළහ. ඉවුම් පිහුම් කළ උපකරණ ඉක්මණින් සෝද‌ා ගෙදර කුස්සියට ගෙන ගොස් දීමට වන්දනා නඩයේ කාන්තාවෝ යුහුසුළු වූහ. අනතුරුව නඩයේ පිරිස ආහාර අනුභව කොට අවසන් වූ පසු ඉතිරි කෑම ගෙදර කුස්සියට ගෙන ගොස් දිනි. ඒ කෑම ගෙදර අයට පමණක් නොව අහල, පහළ ගෙදරකට දෙකකටත් සෑහෙන් ප්‍රමාණයක් විය. තවදුරටත් ඉතිරිවෙන බත් වේලා තැබීමටද ගෙදර ළියෝ අමතක නොකළහ.   


වර්ෂාවෙන් තොර වියලි කාලගුණයක් ඇති දිනවල අම්බලම්වල පමණක් නොව ගස් යට ද ලිප් බැඳ ආහාර පිසූ අතර සමහරක් ගස් යට පැඳුරු එළා ගිමන් ඇරියහ. එකල පිඟන් වෙනුවට භාවිතා වූයේ පිට පැත්තේ පොත්ත ඉවත් කළ පුවක් කොල හෙවත් කොළපත්ය. වියළි කොළපතේ පිටපැත්තට වතුර බිංදු කීපයක් ඉස ගත් විට වියළි ගතිය වහා නැතිවී ඕනෑම ආකාරයකට නවා ගත හැකිය. එම කොළපතක් දෙකට කපා ගත් කළ පිඟන් දෙකකි. එකල ගැමි ගෙවල කොළ පත් වෙළෙඳ භාණ්ඩයක් විය. කොළ පත් දික් අතට නවා මිටියක් ලෙස බැඳ තිබුණි. එකල කොළ පතක මිල සතයක් පමණ විය. ඕනෑම ගමනක් යාමේදී බත් බැඳගෙන යාමට සහ කිතුල් පැණි මුලක් ලෙස බැඳ දුම් මැස්සේ එල්ලා තැබීමටද භාවිතා වූයේ මේ කොළ පතය.  


රාත්‍රියට ආහ‌ාර පිසගැනීමට නතරවෙන ස්ථානයේ පසුද‌ා පහන් වෙන තෙක් විවේක ගෙන පසුද‌ා කරුණා කිරීමට බොහෝ ගුරුන්නාන්සේලා කටයුතු කළහ. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ඉඩ ඇති ඇති පරිදි වන්දනාකරුවෝ නින්දට වැටුණහ. ගුරුන්නාන්සේ ඇතුළු කීප දෙනෙක් නිදිවර්ජිතව ගත කළහ. ඔවුහු පහන් වෙන තුරුම ආගිය තොරතුරු ගම් රටවල තොරතුරු කතා බස් කරමින් රැය ගෙවූහ. සමහර ගුරුන්නාන්සේලා කඩයේ සිටි අයත් නිදිවරමින් සිටින වන්දනා නඩයේ අයත් රැස් කර ගෙන කතාන්දර කියූහ. එළිවෙන තුරුම කියූ කතන්දරය උදේ මග නතර කොට සිරිපා කරුණා කළහ. ආපසු කරුණා කරන විට කලින් නතර වූ අම්බලමේම නතරව කලින් කතාන්දරය නැවැත් වූ තැනින් පටන් ගෙන එදින අළුයම කාලයේදී අවසන් කළහ. අප ද කුඩා කල එවැනි කතාන්දර අසා සිට ඇතත් කණගාටුවට කරුණ නම් එම කතාන්දර කිසිවක් මතකයේ නොමැති වීමයි.  

 

 


 
(මතු සම්බන්ධයි)  

 

 

 

 

 

 

 

 


ශ්‍රී පලාබද්දල කේයස්