කතරගම වන අඩවියේ අබ්රහස්

මද්දු කුඹුක්කන් ඔය මැද 

 

 

ඓතිහාසික මහකැබිලිත්ත දේවාලය බලා පිටත්වූ අප කණ්ඩායම හතළිස් දෙදෙනෙකුගෙන් සමන්විත වූහ. අඩවි වන නිලධාරී කපිල ආරියරත්න මහතාගේ උපදෙස් අනුව ලාහුගලින් ගෙන්වා ගත් ට්‍රැක්ටර් හතරක නැගී අපි ගමන් කළෙමු. කොටියාගල දෙව්පුදසිරිගමින් අප ගමන් ඇරඹුවේ සෙනසුරාදා දිනයකය. උදේ අටයි තිහට පමණ අපේ ට්‍රැක්ටර් මහකැබිලිත්ත බලා ගමන් කළේ පූජා සඳහා අවශ්‍ය පලතුරු ආදිය ද රැගෙනය.   


එදින අහස වැහි වලාකුළුවලින් බර විය. ඒ නිසා පැය එක හමාරක් දෙකක් සෙවණක් නැති පැරණි හේන් සහ කැලෑවෙන් තොර මානා පඳුරුවලින් ගහන බිම් පසුකරන්නට වඩාත් පහසුවක් විය. ඇතැම් තැන්වල මානා කැලෑව ගිනි තබා තිබුණි. ඒ අතර තිබූ මහ ගස් ඇවිළී නිවී දුම් දමමින් තිබුණි. 


“තව ටික දවසකින් මෝසම් වැස්ස එනවා. ඒ වැස්ස බලාගෙන මිනිස්සු හේන් හදන්න කැලෑව ගිනි තියනවා.” අපේ නඩේ අය ගිනි තැබූ හේන් දෙස බලමින් කියන්නට විය. නවදැලි හේනක් පසුකර යනවිට පාරේ වම්පැත්තේ පැරණි ගල් කණු සහිත නටබුන් කිහිපයක් ද පෙනුණි. මේ කැලෑව වසරක් පාසා මාස් කන්නය වගා කිරීමට ගිනි තබා ඇති ආකාරය ඕනෑම කෙනෙකුට තේරුම් යයි. 


තැනින් තැන එලෙස ගිනි තබා තිබූ ප්‍රදේශය අක්කර දෙසීය ඉක්මවන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ගින්නේ සැරට හේන මායිමේ මහ වනාන්තරයේ ගස් මැළ වී ගොසිනි. සාමාන්‍ය ගොවියකුට වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයකට වඩා විශාල කොටසක් ඇවිළී තිබුණි. මේ කැලෑ ගිනි තැබීම මහපරිමාණ ජාවාරම්කරුවන්ගේ වැඩකැයි බැලූ බැල්මට පෙනී යයි. තැනින් තැන ඉතිරි වූ ගහක් දෙකක් මත තිබූ අතහැර දැමූ පැල් කිහිපයක් ද දිස් විය. 


මන්දාරම් බව නිසා අපේ ගමන් සගයන්ට වෙහෙසක් නොදැනුණේය. ඊසාන දිග මෝසම් වැස්සට පෙර එන අන්තර් මෝසමේ ලකුණු යැයි හැමෝම විශ්වාස කළහ. හැන්දෑවට වැහි ඇදහැළුණොත් අපි හැමෝටම තෙමෙන්නට වෙයි. කතරගම දෙවියන් වැඩ වසන්නේ යැයි විශ්වාස කරන මහකැබිලිත්තට මේ යන ගමනට එසේ වුවහොත් ලොකු බාධාවක් වනු ඇතැයි නඩයේ සියලු දෙනාගේම අදහස විය. 


මහකැබිලිත්තට යන මේ ගමනේ කෝඩුකාරයෝ කිහිපදෙනෙක්ම වූහ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්, විශේෂඥ මනෝ වෛද්‍ය රවිමාල් ගලප්පත්ති, මේජර් උදය මල්ලවආරච්චි, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ නිල්මල්ගොඩ, අම්පාර අතිරේක දිසා වන නිලධාරී කේ.එච්.ඩබ්.ජී. කාරියවසම්, චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උපාධි අපේක්‍ෂක දිමුත් ගමගේ, වීඩියෝ සංස්කාරකවරයෙක් වූ චන්දු සම්ප්‍රිය යන මහත්වරු කෝඩුකාරයන් වූහ. ගමන සංවිධානය කරද්දීම ඔවුන්ට ගමනේදී අනුගමනය කරන චාරිත්‍ර විධි, පේවීම් ආදිය ගැන පැහැදිලි අවබෝධයක් ලබාදීමට කටයුතු කෙරුණි. 

 

මෙගොඩ බෝධියට රාත්‍රියේ පහන් ආලෝකයෙන් බෝධි පූජාවන් පවත්වන පිරිස 

 


ගමනේ සංවිධායකයන් වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අම්පාර දිසා වන කාර්යාලයේ දිසා වන නිලධාරී ඒ.ආර්.එන්. මුණසිංහ මහතා ඇතුළු පිරිසත් අඩවි වන, අතිරේක අඩවි වන, බීට්ටු වන ක්‍ෂේත්‍ර සහකාර යන නිලධාරීන්ගෙන් සහ තවත් කිහිප දෙනෙකුගෙන් අපේ නඩය සමන්විත විය. මුණසිංහ මහතාත්, අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ, නුවරඑළිය අතිරේක දිසා වන නිලධාරී රොෂාන් ද අල්විස් ඇතුළු පිරිස හතරපස් වතාවක් මහකැබිලිත්තට පැමිණ අත්දැකීම් ලැබුවෝ වූහ. 


පැය දෙකක් පමණ එක දිගට ට්‍රැක්ටර් ගමනේ නිරත වූ අපි මඳ විවේකයක් ගතිමු. අපේ නඩයේ පිරිස අතර සංග්‍රහ සම්බන්ධයෙන් වගකීමක් දරමින් කටයුතු කළ බීට්ටු වන නිලධාරී එල්.පී.එච්. මංජුල මහතා ඇතුළු පිරිස තේ පිළියෙල කරද්දී අසල වූ ගල්තලාවට නැග අවට පරීක්‍ෂා කළෙමි. ගල් කුළ මැද වූ ගල්කෙම වටේට අලි බෙටිය. එකත් එකටම ගල්කෙමේ ඇති වතුර බොන්නට අලි ඇවිත් ඇති බව ස්ථිරය. ගමන් ආරම්භයේ දී වූ මන්දාරම් ස්වභාවය තවමත් ඇති නිසා අපහසුවක් නැතිව ගල් කුළ නැග ගල්කෙම පිරික්සීමී. එහි දිය බිඳුවක් හෝ නැත. 


සුළඟත් සමග වනයේ ගස් වැල් හැම එකක්ම විජලනයට පත්ව ඇති ආකාරයකි. වෘක්‍ෂලතාවෝ වැස්ස අයදිති. ගමනේ යන අපි නොවසින්නැයි අයැදියෙමු. මඳ විවේකයෙන් පසු යළි ගමන් ඇරඹූ අපට එතැන් පටන් යන්නට තිබුණේ මහ ගස්වල සෙවණ ලබමිනි. වනාන්තරයේ තැනින් තැන ට්‍රැක්ටර් ආ ගිය පාරවල්ය. ඒ මහකැබිලිත්තට යන්නට එන්නට හැදූ පාරවල් බව පැහැදිලිය. පාලනයකින් තොරව එසේ ට්‍රැක්ටර් ගමන් කිරීමෙන් වෘක්ෂ මෙන්ම සතා සිව්පාවන් ද මහත් ගැටලුවකට මුහුණ පා සිටින බව නම් සක්සුදක් සේ පැහැදිලි විය. මහ කැලේ අප ගෙනා වතුර හැර කිසිදු දිය කඩිත්තක් නොවීය. දිය කඩිති යැයි සිතූ තැන් වේළි ඉරි තළා ගොසිණි. 
මහකැබිලිත්ත බලා ට්‍රැක්ටර් සහ ජීප්වලින් යන බොහෝ නඩ අප මෙන් අතරමග නැවතී විඩා නිවා තේ පානය කර හෝ දිවා ආහාරය ගෙන නැවත පිටත්වීම සිදු කරති. තේ උණු කිරීමට දැල් වූ ගිනි මැල නිවා නොදමා නඩ කිහිපයක්ම මහකැබිලිත්ත බලා පිටත්ව ගොස් තිබුණි. අපේ නඩයේ අය එවැනි ගිනි මැල කිහිපයක්ම වැලි දමා නිවා දැමූහ. 


මේ මහකැබිලිත්ත ගමන සැබැවින්ම දුෂ්කරය. වියළී ගිය මහ පොළොවේ ගැටෙන ට්‍රැක්ටරයේ ඉදිරිපස සහ පසුපස ටයර්වලින් නිකුත් වන දුහුවිලි ඇඟ පුරාමය. වැඩි දෙනෙක් කොටියාගල සිට මහ කැබිලිත්ත දක්වා යනවිටත් ආපසු එනවිටත් මේ දුහුවිලි ආඝ්‍රාණය නොවන්නට මුඛවාඩම් පැලඳ ගනිති. ට්‍රැක්ටර් ටේලරයේ ගැස්සි ගැස්සී වාඩි වී යන එන ගමනේ සමහරු කාඩ් සූදු සෙල්ලම් කරමින් ද, තව සමහරු ගී ගයමින් ද යති. එති. ඒ ගීත මෙවැනි ගමනකට සුදුසුදැයි සැක සිතේ. ඇතැම් නඩවල තරුණ තරුණියන්ය. මෙවැනි ක්‍රියාකාරකම් දැකගත හැක්කේ එවැනි පිරිස් වෙතිනි. එසේ නමුදු ඉතාම සංයමයකින් යනෙන තරුණ කණ්ඩායම් ද දුටිමි. ඔවුන් තුළ තිබුණේ වැඩිහිටියන්ටත් නොමැති වූ සංයමයකි. ඔවුන් දේව භක්තියකින් මහකැබිලිත්තට යන බව පැහැදිලි විය. 


මේ ආකාරයට ට්‍රැක්ටරයකින් පැය හයක් හයහමාරක් ගත කර මහකැබිලිත්තට ළඟා විය හැකිය. එහෙත් මේ ගමනට හුරු වූ කොටියාගල ගමේ ට්‍රැක්ටර් රියැදුරෝ ඊට පැයක් දෙකක් අඩුවෙන් ගමන නිම කරති. 
කෙසේ නමුත් මේ පැය පහක හයක ගමන තුළ පසුකර යන මහ වනයේ ට්‍රැක්ටර් යන පාර දෙපස තැනින් තැන ඇත්තේ නොදිරන කසළය. ෂොපිං කවර, ඉටි කොළ සහ ප්ලාස්ටික් ඒ අතරය. කාඩ්බෝඩ් පෙට්ටිවලට පිර වූ එවැනි දිරන සහ නොදිරන කසළ ට්‍රැක්ටර් යන පාරෙන් අඩි සියයක් දෙසීයක් වනාන්තරය තුළට ගොස් තැන තැන දමා ඇති අයුරු පෙනේ. වන අලි, වල් ඌරන්, ඒ පෙට්ටිවල ඇති කෑම සොයා ඒවා විසුරුවා දැමීමෙන් වනාන්තරය දැඩි සේ අපවිත්‍රව ඇත. 


 පරිසරයට, සතා සිව්පාවාට ආදරය කරන කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාද ලබන්නට ගොස් මෙවැනි විනාශයන් කරන පිරිස් දෙස දෙවියන් පිහිට වෙයිදෝ යන සැකය ඕනෑම කෙනෙකුට ඇතිවීම ස්වභාවිකය. ඒ නිසා මහකැබිලිත්තට යන හැම වන්දනාකරුවෙක්ම ගෙනියන අපද්‍රව්‍ය මහවනාන්තරයෙන් පිටතට ගෙන ඒමට වග බලාගත යුතුය. මේ වගකීම වන්දනාකරුවන් ගෙන යන ට්‍රැක්ටර් රියැදුරන් සහ කපු මහත්වරුන්ට ස්ථිරවම කළ හැකිය. මේ කැලේදී ඔවුන්ගේ කීමට පිටින් කිසිම වන්දනාකරුවෙක් ක්‍රියා කිරීමට මැළිවෙති.  


මතු බුදු වන බෝධිසත්වයකු ලෙස කතරගම දෙවියන් ගැන බෞද්ධ ජනතාව විශ්වාස තබයි. මහකැබිලිත්ත දේවාලයට යන්නට පෙර මෙගොඩ ගමනාන්තය වූ කුඹුක්කන්ඔය ඉවුරට වන්දනා නඩ රැගෙන එන ජීප් සහ ට්‍රැක්ටර් රියැදුරන් ඒ ආසන්නයේ ඉදිකර ඇති යුද හමුදා අනු ඛණ්ඩය අසල නැවතීමට යොදා ගැනීමට ක්‍රියා කරති. මුලින්ම එන අය අනුඛණ්ඩය ආසන්නයේ ද සෙසු පිරිස් ඊට පිටුපසට වන්නටත් ලැගුම් ගැනීමට ක්‍රියා කරති. ඒ රාත්‍රියේදී එහි එන වන අලින්ගෙන් ප්‍රවේශම් වීමටය. 


හැන්දෑවේ හතර පහ වනවිට මහකැබිලිත්ත දේවාලය පිහිටි අනෙක් ඉවුර දෙසින් කුඹුක්කන් ඔයට වන අලියෙක් බැස්සේය. ඊට ටිකකට පසු තවත් වන අලියෙක් බැස්සේය. එකෙක් කුඹුක්කන් ඔය ඉවුර දිගේ උඩහට පිය නැගුවේ ඔය මැද වැලි තලාවේ දමා ගිය පලතුරුවල ඉවත දමන කොටස් මෙන්ම මුරුතැන් බත් පිසින්නට මිරිකූ පොල් රොඩු ආදිය සොයා කමිනි. 


දෙවැනි අලියා ද ඌ අනුකරණය කරමින් යාර සියයක් පමණ ඈතකින් ගමන් කරන්නට විය. 


“අන්න අලි ඇවිත්.....” කෝඩුකාරයෝ හයියෙන් කෑගැසුවේ සැබැවින්ම බියට පත්වය. මෙතැනට කිහිප වතාවක් පැමිණි අය නිහඬව ඒ දෙස බලා සිටින්නට වූහ. ඉදිරියෙන් ආ අලියා මෙගොඩ ඉවුරටම ආවේය. උගේ නළලේ සහ කන්පෙතිවල රතු ඉරි ඇඳ නළලේ සිට හොඬ පහළට “මද්දු” යැයි ලියා තිබුණි. 


 කොටියාගලින් ආ තරුණ සහ මැදිවියේ කපුමහත්තුරු කිහිප දෙනෙක් මුලින්ම අලියාට ළංව තමන් පැමිණි ගමනේ දී කෑමට ගෙනා පාන් ආදියෙන් ඉතුරු වූ දේවල් දෙන්නට වූහ. ට්‍රැක්ටර් රියැදුරන් ද අලියාට ළංවෙද්දි නඩයේ බොහෝ දෙනෙක් එසේ නොකරන්නැයි කීවේ අලියාගෙන් කරදරයක් වුණොත් ආපසු යන්නට නොහැකි වන නිසාය. 


ඒ අතරවාරයේ කුඹුක්කන්ඔයේ පහළ තවත් අලින් දෙන්නෙක් ඔයට බැස සිටින අයුරු පෙනුණි. උන් එතැනින් ඉදිරියට නොපැමිණියෝය. ඉවුරට පැමිණි මද්දු අතගාන්නටත්, ඌට කෑම දෙන්නටත් ඉවුරේ සිටි පිරිස එකිනෙකා පරයමින් උත්සාහ කරන අයුරු පෙනුනි. 


“මේ මද්දු සැර නෑ. මූ හැමදාම මේ වෙලාවට මෙතෙන්ට එනවා. කෑම ඉල්ලන්න.” යැයි කියමින් ට්‍රැක්ටර් රියැදුරෙක් ප්ලාස්ටික් භාජනයකින් ඉවුරේ සිටි අලියා නාවන්නට වතුර ඉස්සේය. මද්දු අලියා විසින් කොන්දට දමාගෙන තිබූ දුහුවිලි ඒ වතුරට මුසු වී පහළට රූටා ආවේ ය. බලා සිටින කෙනෙකුට සිතෙන්නේ අලියාට කරදරයක් බවයි. ඇඳිරි වැටෙන තෙක් එතැන දෙන දේවල් කෑ “මද්දු” අලියා කුඹුක්කන් ඔය දිගේ තව ටිකක් ඉහළට ගොස් මෙගොඩ ඉවුරෙන් ගොඩ වී හමුදා අනුඛණ්ඩයේ කුස්සිය දෙසට ගියේය. 

 

එගොඩ බෝධියට පූජාවන් තබමින් 

 

කුඩා සියඹලා දේවාලය

වනාන්තරය ගිනි තබා ඇති අයුරු 

 

දිය සිඳුණු ගල්කෙම් 

 


“මේ මද්දු අලියාගේ නම අපි තුන්නූර්වලින් ලියන්නේ මූ කියලා හිතාගෙන අනික් අලින්ට කෑම දෙන්න ගියොත් කියලා හිතාගෙනයි. මම එගොඩ බෝධිය යට අතුගගා ඉන්නකොට ටිකකට ඉස්සර වෙලා අනික් අලියා පැන්නුවා. මම එහා පැත්තේ කෑම්ප් එකේ වැටෙන් රිංගලා බේරුණේ. මේ මගේ ඉණත් කම්බි වැටට සීරුණා.” අනුඛණ්ඩයේ සෙබළෙක් ඊට සුළු වෙලාවකට පෙර මහකැබිලිත්තේදී මුහුණ දුන් අත්දැකීමක් විස්තර කළේ කම්බියට සීරුණු ඉණ ද පෙන්වමින්ය. 


මේ නිසාම ඉර අවරට යද්දී සියඹලා දේවාලයට හෝ එගොඩ බෝධියට යාම ඉතාම අනතුරුදායක බව හමුදා සෙබළු කියති. 


“උදේ පාන්දරටයි, හැන්දෑවටයි, එගොඩ ඉවුරට යන එක එච්චර සුදුසු නෑ. එක පාරටම කැලේ ඉඳලා අලි එනවා. ඉස්සරම ආවේ මද්දු. ඌ දැන් හීලෑයි. ඊට පස්සේ දඟයා ආවා. ඌ විශ්වාස නෑ. ‘මද්දු’ කියලා ‘දඟයාට’ ළං වුණොත් ඉවරයි. මේක භයානක තත්ත්වයක්. අනික අලින්ගේ කම්මුල් තෙමෙන කාලෙට උන් ටිකක් සැරවෙනවා. ඒ කාලෙට ‘මද්දු’ වුණත් විශ්වාස නෑ.” අනුඛණ්ඩයේ හමුදා සෙබළෙක් එහි සිටි බැතිමතුන් දැනුම්වත් කළේය. 


අඳුර වැටීගෙන එද්දී තැන් කිහිපයක හැදූ ළිප්වල ඒ ඒ නඩවලට රාත්‍රී ආහාරය ඉදෙමින් තිබිණි. මස් මාංශවලින් තොරව පිසෙන ආහාරවල සුවඳින් රස නහර පිනා ගියේය. මීට හය වසරකට පෙර එනම් 2012දී මෙහි මද්‍ අඳුර වැටෙද්දී මෙගොඩ ඉවුරේ තිබූ හුදකලා බව දැන් නැත. කොල්ලෝ කුරුට්ටන්ගේ හෝ තරුණයන් උස් හඬින් කරන කතාවන් නිහඬ බව නැති කරයි. 


රාත්‍රී හත පමණ වන විට මෙගොඩ ඉවුරේ බෝධිය දෙසින් අඳුර කපාගෙන පොල්තෙල් පහන් එළියෙන් බෝධිය අවට ආලෝකමත්ව බැබළෙන්නට විය. මහකැබිලිත්තට පැමිණි හැම නඩයක්ම, ගිලන්පස සාදාගෙන තෙල් සහ එනවිට ගෙනා මල් ද රැගෙන සුදුවතින් සැරසී වෙන වෙනම බෝධි පූජා පවත්වන්නට විය. තරුණ කපු මහත්වරු මැදිවියේ කපු මහත්වරු පරදවා ඉතා සිත් ගන්නා ආකාරයෙන් ගාථා සජ්ඣායනය කළහ. ඒ සියලු දෙනාගේ හඬවල් එකට මුසු වී ගුවන් තලය සිසාරා යද්දී මහ කැලේ නිශාචරයෝ ද නිහඬ වූහ. 


කලකට පෙර මෙගොඩ බෝධියට ආවේ ගියේ ටික දෙනෙකි. හැමෝම පාහේ උත්සාහ කළේ සියඹලා දේවාලයට සමීපයේ තියන බෝධිය යටට ගොස් බෝධි පූජා පවත්වන්නටය. වන අලි නිසා දැන් එය නොහැකිය. 
“ඉස්සර මේ වගේ සෙනඟ ආවේ නෑ. දැන් සෙනඟ එන්න එන්න වැඩියි. මේ හැමෝම සියඹලා දේවාලයට යන්න තමයි උත්සාහ කරන්නේ. වන අලි නිසා දැන් ඒක ඉබේම පාලනය වෙලා. පූජාවන් තියන්න වන අලි අහකට යනකම් පැය ගණන් බලා ඉන්න සමහර දවස් තියනවා. ඉවක් බවක් නැතුව මිනිස්සු එන්න ගත්තාම නොයෙක් වර්ගයේ අය යනවා එනවානේ. ඒ හින්ද වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නේ. සමහර විට මේ එන මිනිස්සු කරන විනාශය හමුවේ ඉදිරියේ දී එගොඩ ඉවුරෙන් මෙහාට එන්න බැරිවෙන තත්ත්වයට වන අලි මෙතනට එන්න පුරුදු වෙන්නත් ඉඩ තියෙනවා.” අනුඛණ්ඩයේ සේවය කරන සෙබළෙක් එහි සැබෑ තත්ත්වය පැහැදිලි කළේය. 


“ඔයාලා ගෙනාපු පලතුරු ආදිය තියනවානම් අලියාට හොඬ දාන්න බැරි විදියට තියලා තියන්න. සමහර වෙලාවට රාත්‍රියේ අලි එන්න ඉඩ තියනවා. ඒ නිසා ඔයාලා වාහනවලින් ආවරණය වෙලා ආරක්‍ෂාව යොදා ගන්න. ඒ එන අලි අල්ලන්න යන්න එපා. උන්ට ළංවෙන්න එපා. ඔයාලගේ ආරක්‍ෂාව ගැන නිතරම හිතන්න. රාත්‍රියේ දොට්ට පිලට යන්න වුණත් යනවා නම් වටේ පිටේ සෝදිසි කරලා බලලා යන්න. විදුලි එළියක් දල්වලා තියාගන්න පුළුවන්නම් වඩාත් හොඳා. විශේෂයෙන් මේ කුඩා ළමයි එහෙ මෙහෙ යවන්න එපා. කැලේ සතා විශ්වාස නෑනේ.” අනුඛණ්ඩයේ හමුදා සෙබළු නින්දට යන්නට පෙර හැම නඩයකටම උපදෙස් දුන්හ. 


‘මහ රෑ ට්‍රැක්ටර් ටේලරයට වන අලි හොඬ දමා පලතුරු සොයති.....’ 


ඉතිරි කොටස ලබන සතියේ 

සටහන හා ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය