IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


සමහර නළුවන් උදේ හවස මුණ ගැහෙනවා එතකොට සම්බන්ධයක් ඇති නො​වෙනවා නම් පුදුමයක්

ඇය ලාංකේය සිනමාවේ සුරූපිනියක් ලෙස එදා මෙන්ම අද දක්වාද තම රූසපුව එසේ පවත්වාගෙන යන්නීය. ඒ නිසාවෙන්ම ඇය කාගේත් ආකාර්ෂණයට පත්වෙන බව රහසක් නොවේ. අැය මෙරට මෙන්ම පකිස්ථානයේද ජනප්‍රිය නිළිය ලෙස කිරුළු පැලඳීමට තරම් වාසනාවන්ත වූවාය. ඒවැනි වාසනාවක් ලැබු එකම හා ප්‍රථම නිළියද ඇයයි. යෞවන වියට පා තබත්ම සිනමාවට අවතීර්ණ වූ ඇය, විවිධ චරිත ඔස්සේ ප්‍රේක්‍ෂකයාගේ හදවතට සමීප වූවාය. අදටත් ඇය ඒ ආකර්ෂණය ලබමින් සිටී. අද දවසේදී මේ සුරූපිනිය ව්‍යාපාරිකාවක් බවට පත්ව සිටින්නේ තම සැමියාගේ අඩිපාරේ යමිනි. 


ඇය නමින් සබීතා පෙරේරාය. විවාහයෙන් පසුව ඇය සබීතා ජයසිංහ වන්නීය. හෙළ සිනමාවේ ප්‍රවීණ නළු නිළි යුවළක් වූ ස්ටැන්ලි පෙරේරා හා ගර්ලි ගුණවර්ධනගේ දියණියක් වන සබීතා නිතරම කතාබහට ලක්වන්නියක් බවට පත්ව සිටින්නීය. මේ ඇය ආදරය, විවාහය හා ප්‍රේමය පිළිබඳව බෙහෝ දෙනා නොදන් කරුණු මා හමුවේ දිග හැරි අවස්ථාවකි. සමහර දේවල් මා කෙරෙහි ඇති විශ්වාසය නිසාම ඇය හෙළි කළාය. ඇයගේ නිහතමානීත්වයට ගෞරව කරමින් අපේ කතා බහ මෙසේ සටහන් කරන්නෙමු. 

 

ඉතිං සබීතා ඔයා මේ දවස්වල මොකද කරන්නේ? කතාබහ එතැනින්ම පටන්ගමු නේද? 


ඔව්. ඒක හොඳයි. මේ දවස්වල විශේෂම දෙයක් නෑ. හැබැයි මේ දිනවල චිත්‍රපට තිරනාටකයක් කියවනවා. බොහෝ දුරට එය කරන්නත් ඉඩ තිබෙනවා. හොඳ දෙයක් ඉඳලා හිටලා හරි කරන්න කැමතියි. කොළඹින් පිට යන්න තියෙන ප්‍රශ්න හින්දා තමයි බොහෝ දේවල් මා අත්හරින්නේ. අනෙක් කාරණය අපේ පදිංචිය වෙනස් කරන්න යන හින්දා. ඒ නිසා අස්පස් කරන වැඩ කරනවා. එ් අතරේ ඩාන්සින් රිහසල් වගයකුත් මේ දිනවල කරගෙන යනවා. 


ඔයා ආදරය, ප්‍රේමය හඳුනාගත්තේ මොන ආකාරයටද? 


හැමෝම එක්තරා වයසකට එනකොට වෙනස්කමක් දැනෙනවා. අම්මා, තාත්තා, අක්කලාගේ ආදරයෙන් පස්සේ ප්‍රේම සිතිවිල්ලක් ඇතිවන කාලයක් එනවා. පිරිමි ළමයෙක් බලන විට අපට වෙනසක් දැනෙනවා. ඒක හැමෝටම පොදු දෙයක්. අවුරුදු 13 වෙන විට ඒවැනි හැඟීම් පහළවීම ස්වභාවිකයි. ඉතිං මටත් එවැනි අත්දැකීම් තිබෙනවා. 


ඒ කියන්නේ ඔයාට ප්‍රේමනීය සිතිවිල්ලක් ඇතිවුණේ පාසල් කාලයේ කියලා නේද? 


ඔව් මම ගියේ ගැහැණු ළමයි සිටින බාලිකා පාසලකට. ඒ කිට්ටුව පිරිමි ඉස්කෝල තිබුණා. අපි බස් එකේ එකට යනවා. දකිනවා. මගේ අක්කලාගේ යාළුවන්ගේ මල්ලිලා ඉන්නවා. ඒ අය වෙනස් විදිහට බලනකොට මට වෙනසක් තේරෙනවා. එහෙම ඉස්කෝලේ යන කාලයේ මට ලියුම් එහෙම හම්බවුණා. ඒ කාලේ මොබයිල් ෆෝන් නෑ. SMS නෑ. ලියුමක් ලැබෙනවා කියන්නේ හරි ලොකු දෙයක්. හම්බවුණාම හරි සතුටක්. මටත් එවැනි දේ ලැබුණා. මම සතුටු වුණා. මම ඔහු එක්ක මඟ තොටදී කතා කරලා තිබෙනවා. අපි පාරේ ඇවිදගෙන ගියා. බස් එ​ෙක් ගියා. මගේ හිතේ ඔහු ගැන කැමැත්තක් ඇති​ වෙලාත් තිබෙනවා. නමුත් ඒවා ​ඉතිං ලොකුවට ගියේ නෑ. 


ඒ කාලේ මගේ තාත්තා ජනප්‍රිය නළුවෙක්. හැමෝම දන්නවා. පාරේ ඇවිදගෙන ගියත් හැමෝම දන්නවා. ඒ නිසා හරියට බයෙන් බයෙන් තමයි මේ දෙවල් කළේ. ​අපේ තාත්තා ඒ දවස්වල ටිකක් සැරයි, තරහා යනවා, කෑ ගහනවා, ගහනවා. ඒ නිසා අපි බයයි. මගේ ලොකු අක්කට එහෙම තාත්තා ගහලා තිබෙනවා මට මතකයි. එහෙම ගැහුවේ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා අහුවුණ දවසෙ. මම නම් එහෙම ගුටි කෑවේ නෑ. නමුත් බය තිබුණා. ඒ වුණත් හැඟීම්, ආදර සිතිවිලි එහෙම නවත්තන්න බැහැනේ. 


ඒ ඔයාට ලියුම් දුන්න, ඔයාත් කැමති වුණ කෙනා පසු කාලයේදී හමුවුණේ නැද්ද? 


ඇයි නැත්තේ. නමුත් ඒ වෙනකොට එදා තිබූ හැඟීම මට තිබුණේ නෑ. මම විවාහ වෙන්න පෙර ම​ෙග් මිතුරියක් ඔහු මට මුණ ගැස්සුවා. නමුත් එදා තිබූ ආදරණීය හැඟීම මට ඔහු කෙරෙහි ඇති වුණේ නෑ. ඒක නිසා වැඩක් වුණේ නෑ. ඒ වන විට ඔහුත් විවාහ වෙලා හිටියේ නෑ. මගේ මිතුරිය උත්සහ කළේ අපි දෙන්නාව එකතු කරන්නයි. නමුත් මට කිසිම හැඟීමක් ඇති වුණේ නෑ. ඒ හින්දා එය එතනින්ම ඉවර වුණා. 


ඒ වුණත් ඔයාට තිබුණු ආකර්ෂණය නැති වුණේ නෑ නේද? අක්කලාගේ යහළුවන් පවා ඔයාට ආදරය කරන්න ගත්තා නේද? 


ඔව් ඒක ඇත්ත. මොකද මමත් ඔවුන් කෙරෙහි බලනවා වැඩි වුණා. අක්කලාට වඩා මගේ ආකර්ෂණය වැඩි වුණා. මගේ ඇස් ඒකට බලපාන්නැති නේද? මාත් ඉතින් වැඩියෙන් බලන හින්දා, ඔවුන් මා එක්ක නොතේරෙන්න ආදරය කරන්න උත්සාහ කළා. අපේ අක්කලාට වඩා මා ගැනයි ඔවුන් බැලුවේ. කොතරම්ද කියනවානම් අක්කලා ඉන්දැද්දී විවාහ යෝජනාවක් මුලින්ම ගෙනාවේ මටයි. පාසල් කාලයේ විතරක් නෙමෙයි ඉන් පස්සෙත් මට නිරන්තරයෙන්ම පිරිමි පාර්ශ්වයෙන් ලොකු ආකර්ෂණයක් තිබුණා. 


ඔයා රංගනයට ආවාට පස්සේ නළුවන්ගෙන් ආදර යෝජනා ආවා නේද? ඔයාත් නළුවන්ට ආදරය කරන්න ගත්තා නේද? 


නළුවන්ට මගේ කැමැත්ත ඇතිවුණත් මම ඒවා දිගටම ගෙන ගියේ නෑ. මඟ නැවතුණා. එහෙම හැඟීමක් එන්නේ නැති නම් පුදුමයක් ඒක. මම කාර්යබහුල වූ බව ඇත්ත. සාමාන්‍ය ගැහැනු ළමයි වගේ පාරේ අත් අල්ලගෙන යන්න පුළුවන්කමක් මට කවදාවත් තිබුණේ නෑ. මට අවුරුදු 13 න් පස්සේ හැමෝම මාව දන්නවා. මොකද සිනමාවට එක්වූ හින්දා. මට ඒ හින්දා සාමාන්‍ය ගැහැනු ළමයෙක් වගේ කුඩයක් යටට වෙලා, අත්අල්ලගෙන ඉන්න, පාක් එකේ ඇවිදින්න බැරිවුණා. නමුත් ඉතිං රඟපෑමේදී තව කෙනෙකුට ආකර්ෂණය වෙන එක මට තිබුණා. 


සමහර නළුවන් උදේ හවා මුණගැහෙනවා. එතකොට සම්බන්ධයක් නැතිවෙනවා නම් පුදුමයක්. මොකද හැම වෙලාවේම එකට රංගනයේ යෙදෙනවා. එතකොට සම්බන්ධයක් ඇතිවෙලා තිබෙනවා. එහෙම සම්බන්ධතා නළුවෙක් එක්ක මගේ ඇති වුණා. කිසිම අධ්‍යක්ෂවරයෙක් එක්ක සම්බන්ධ කම් තිබුණේ නෑ. නළුවෝ එක්ක විතරයි. ඒවා ගැන පත්තර වල ලියැවෙන්න ගත්තා. ඒ තරම් අපි එකට රඟපාලා තිබුණු නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ඒක ඇත්තක් බව සිතුණා. ඔවුන් සිතුවේ අපි විවාහවෙයි කියලා. මොකද ඒ වෙනවිට පත්තරවලින් අපි ඒ තත්ත්වයට පත්කරලත් ඉවරයි. ඔහුගේ නම කියන්ඩත් මම කැමති නෑ. එකට වැඩ කළාම එවැනි සබඳතා ඇති වීම වළක්වන්න බැහැ. මටත් වුණේ ඒ දේම තමයි. නමුත් ඒ සියල්ල දෛවය විසින් වෙනස් කළා. 


ඔය අතරේ ඔයා විවාහ කරගන්න රසිකයෙක් ආ බව දැනගන්න ලැබුණා. ඔහුට මොකද වුණේ? 


ඒ කතාව හරිම රසවත්. මම මේ ක්ෂේත්‍රයට පැමිණි කාලයේ තමයි ඔය සිද්ධිය සිදුවුණේ. අපි ගල්කිස්සේ ඉන්නකොට. අපේ ගෙදරට පිරිමි ළමයි කට්ටියක් ආවා. ඇවිත් ‘තාත්තා ඉන්නවාද?’ කියා ඇහුවා. අපි තාත්තා එළියට ගිහින් කිව්වාම ඔවුන් ටිකක් ඉඳගෙනත් හිටියා. ඊට පස්සේ ඔවුන් ගියා. දුරකථන අංකය ඉල්ලගෙන කතා කළා. එතනින් එහාට තාත්තාව හොයන එක ඉවරයි. ඉස්සර මාත් එක්ක අම්මා හරි තාත්තා හරි යනවා. අපි උත්සව වලට ගියාම, එතන හිටිය එක ළමයෙක් හැමදාම වගේ දකිනවා. මම යන යන තැනට ඇවිත් ඒ ළමයා මට කතා කරනවා. ඊට පස්සේ ඒ ළමයා ගෙදරටත් කතා කළා. අම්මා එක්කත් කතා කරලා යාළු වුණා. සමහර විට එහෙම දැනගන්නවා ඇති මම යන එන තැන් ගැන. දවසක් මායි තාත්තායි වාහනේ යනකොට එක පාරට ඉස්සරහට ඇවිත් බ්‍රේක් ගහලා මා දිහා බලලා යනවා. තාත්තා අහනවා කව්ද ඒ කියලා. මම දන්නවා ඒ ළමයා කියලා. තාත්තාට කියන්න බැහැනේ. 


ඔය විදිහට මට එයා පුරුදු වුණා. නිතරම දකිනවා. මට ​ෙෆා්න් කරනවා. ඔහොම කාලයක් ගියා. මට එයා ගැන පැහැදීමක් ඇතිවුණා. එයාට ඕනෑ වෙලා තිබුණේ මාව විවාහ කරගන්නයි. මට හොඳටම ඒක තේරුණා. එයා ඒ ගැන මට කිව්වා. මාත් ගැහැනු ළමයෙක් හින්දා කැමැත්තක් තිබුණා ඔහුත් එක්ක කතා කරන්න. මම එයාට කතා කළා. එයා නිතරම කිව්වා බඳින්න ඕනෑ කියලා. මම එතකොට චිත්‍රපට වලට පැමිණි මුල් කාලයේ. මම ඒ වන විට සිනමාව ගැන ලොකුවට හිතන්න ගත්ත කාලයක්. මට අවශ්‍ය වුණා එහි ඉදිරියට යන්න. අනෙක් පැත්තෙන් හිතෙනවා මේ ළමයා හොඳයි කියලා. මට ඒ ප්‍රශ්නෙත් තිබුණා. එයාට අවශ්‍ය වෙන්නැති මාව සිනමාවෙන් අයින් කර ගන්න. එයා තදින්ම මේ ගැන හිතලා ඇවිත් තාත්තාගෙන් ඇහැව්වා.


‘මම සබීතාව බඳින්න කැමතියි’ කියලා තාත්තාට කියලා. තාත්තා හොයලා බලලා. හොඳ පවුලක වැදගත් ළමයෙක්. අකමැති වෙන්න හේතුවක් නෑ. ඊට පස්සේ තාත්තා කියලා තියෙනවා මගෙන් අහලා බලලා කියන්නම් කියලා. තාත්තා මගෙන් ඇහැව්වා. ඇයි ඔයා අකමැති වෙන්නේ කියලා. මම කිව්වා නෑ ‘මට දැන්ම බඳින්න බෑ කියලා’ එයා නිතරම මට කතා කළා නමුත් එයාට තේරුණා, මට කොච්චර කතා කළත් වැඩක් නෑ කියලා.

 
පස්සේ ඔහු විවාහ වුණා. විවාහ වෙලත් මට හොරෙන් කතා කරන්න ගත්තා. මම කිව්වා ‘දැන් කතා කරන්න එපා. තේරුමක් නෑ මට කතා කරන එක’ කියලා. හැබැයි ඔහු අවංකව මාව බැඳලා ක්ෂේත්‍රයෙන් අයින් කරගන්න විශාල උනන්දුවක් දැක්වූ බව නම් කියන්න ඕනෑ. නමුත් මම සිනමාවෙන් ​ෙලාකු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඒ වෙනකොට හිටියේ. මගේ දෛවය ඔහුව විවාහ කරගන්න තිබුණේ නෑ. ඒක වෙනස් වුණා. එයා පසු කාලයේදීත් ලියුම් එවන්න ගත්තා. වෙන නම් වලින් කතා කරන්න ගත්තා. නමුත් ඉතිං එදා එතනින් ඉවර වුණා. මොකද මගේ දෛවයේ ඔහු ගැන ලියවිලා තිබිලා නෑ. ඔය වගේ ගොඩක් සිද්ධීන් මට ඇතිවුණා. 


මොකද මම ගෙදර තුන්වැනියා. මුලින්ම ගෙදරට විවාහ යෝජනාවල් ආවේ මටයි. මම දන්නේ නෑ මොකද කියලා. අක්කලා දෙන්නත් හරිම ලස්සන දෙන්නෙක්. මම සිනමාවට ඇවිත් පේන්න හිටියේ ඒක හින්දා වෙන්නැති ගොඩක් අය ඇවිත් යෝජනා ඉදිරිපත් කළේ. හැබැයි මගේ දෛවයේ එහෙම කෙනෙක්ව බැඳලා අයින් වෙන්න තිබුණේ‍ නෑ. අනෙක් එක මට තිබුණු ලොකුම දේ තමයි විවාහ වෙලා අයින් වෙන්න නොතිබීම. මම කලින් විවාහ වුණා නම්, සමහර විට ඒක හරියන්න නැති වෙන්න තිබුණා. මගේ මනසෙවත් විවාහය ගැන තිබුණේ නෑ. 


නමුත් ඔයා නළුවෙක් එක්ක විවාහ වෙන්න ගියා නේද? ඒ කාලයේ ලොකු ප්‍රචාරයකුත් ලැබුණා නේද ඒ ප්‍රවෘත්තියට? 


ඔව් ඔයා කියන විදියට ඒ කාලයේ පත්තර වල හරියට ඒ ගැන ප්‍රවෘත්ති මැවුණා. හැමෝම මගෙන් අහන්න ගත්තා. මම විවාහ වෙන්න ගියා කිව්වාට, එහෙම කවදාවත් මගේ හිතේ තිබුණේ නෑ. මොකද මට විවාහය ගැන හිතිලා නෑ. විවාහ වෙමු කියලා කතා පැතිරුණත් මගේ හිත කවදාවත් විවාහයක් ගැන සිතුවේ නෑ. මම හිතන්නේ අපි ඉපදෙනකොටම මැරෙන දවසක් ලියා ගෙනයි එන්නේ. එය ඇත්තටම මම විශ්වාස කරන දෙයක්. ඒ වගේම මගේ විවාහය බඳින කෙනා කවුද කියන ඒවත් ලියැවෙලයි තිබෙන්නේ .එහෙම එදා විවාහ වුණා නම් අද මේ වන විට මොනවා වෙලා තිබේදැයි කියන්න බැහැ. මට පිනක් තිබෙනවා, අද මේ ඉන්න තත්ත්වය, රූපය යන සියල්ල මට ලැබී තිබෙන්නේ මා කළ කුසල් අනුවයි. පිං අනුවයි. 


ඔය වගේ රසිකයන් ඇවිත් ඔයාට පොලිසියට පවා යන්න සිදු වුණා නේද? 


ඔව්. ඒ මගේ රසිකයන් හින්දා වූ දේවල්. ඒවා හරියට සිද්ධ වුණා. ඒවා අනන්තයි අප්‍රමාණයි. අපේ අම්මාට තමයි ඕවාට ගොඩක් මුහුණ දෙන්න සිද්ධ වුණේ. සමහර අය ගෙදර එනවා. අම්මාව කැමති කර ගන්න හදනවා. ඔය වගේ ​ෙගාඩාක් දේ තිබුණා. ඒවා සාමාන්‍ය දේවල්. මට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක එහෙම දේවල් සිදු නොවුණා නම් පුදුමයක්. 


ඔයා පාකිස්ථානයේදී ජනප්‍රිය නිළිය බවට පත් වුණා. ඒකේදීත් විවාහ යෝජනා හරියට එන්න ඇති නේද? 


ඔව්. ඒ රටේත් මට කැමති අය හිටියා. නමුත් ඒ කිසිම කෙනෙක් ගැන මට කිසිම කැමැත්තක් ඇති වුණේ නෑ. සමහර විට ආගම කියන දෙයක් අපට හරස් වෙන්න ඇති. මම එහෙම හිතෙන කෙනෙක් නොවෙයි. නමුත් මට ඒ අය ගැන කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ලංකාවේ දී නම් සමහර අය ගැන කැමති වෙලත් තිබෙනවා. ඒවා දිගට ඉදිරියට ගෙනියන්න බැරිවුණා. සමහර මගේ හිතගිය අය දිහා බලන කොට පරක්කු වැඩියි. මොකද ඔහු එතකොට වෙන අ​ෙයක්ගේ පෙම්වතෙක්. මම කැමති වුණාට ඔහුට වෙන ගර්ල්ස්ලා හිටියා. ඒ වගේ ගොඩාක් දේවල් තිබුණා. මොකද මාත් හැඟීම්, දැනීම් ඇති කෙල්ලෙක් හින්දා. 


එවැනි ආදර සබඳතා නැති වුණාම, ඒ කියන්නේ ආදරයේ විරහව ළඟදී ඔයාට මොකද සිතුණේ? 


මම ජිවිතේ ගොඩාක් අඬපු අවස්ථා අනන්තවත් තිබෙනවා. හැබැයි ඒ වෙලාවේ මම දුක් වුණාට මා හිතනවා අඬලා අඬලා මගේ හිත හදා ගත්තා නම් නැවත ශක්තිමත් වුණා නම් මම දිනුවා කියලයි හිතන්නේ. හැමතිස්සෙම ජීවිතේ අපට වෙන්න තිබෙන දේවල් වළක්වන්න අමාරුයි නේද? ඒක මගේ දෛවය. 


අපට දහස් ගණන් මිනිස්සු මුණ ගැහෙනවා. විශේෂයෙන් මගේ වෘත්තියේ වන සිනමාව තුළ එදිනෙදා හමුවන පිරිමි සංඛ්‍යාව ඉතා ඉහළයි. මට නිදහස තිබෙනවා. ඒ නිසා නේද ගොඩාක් කතා හැදෙන්නේ. අපි නිතරම එකට ඉන්න නිසා කතා හැදෙනවා වැඩියි. මිනිසුන්ගේ සබඳතා ඇති වෙනවා. නැති වෙනවා. සබඳතා තිබිලා නැති වුණාට පස්සේ හොඳට කතා කරන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ සබඳතා තිබෙන කාලයේ නපුරුකම්, ඊර්ෂ්‍යාකාරකම්, හතුරුකම් කරලා තිබෙනවා නම්, ඊට පස්සේ කතා කරන්නම බැරි වෙනවා. මගේ එහෙම තිබිලා කතා කරන අය ඕනෑ තරම් ඉන්නවා. කෙනෙක් සමග කතා නොකරනවා නම් නම කියන්න අකැමති නම්, ඒකට හේතුව, ඒ කාලය තුළ දී සහ ඊට පස්සේ හෝ අනවශ්‍ය විදියට ඊර්ෂ්‍යාකාරකම්, කුහකකම්, වෛරය වගේ දේවල් කළාම අපට මුහුණවත් බලන්න බැරි වෙනවා. මට එහෙම වෙලා තිබෙනවා. 


එතකොට ඔයාට විවාහ වෙන්න ඕනෑ කියන අදහස ආවේ කොයි කාලයේද? 


ඔය වගේ හැඟීම් ඇති වෙලා නැති වෙලා ගිහින් තිබෙනවා. සබඳතා තිබුණා කතා බහ කරනවා. ඒත් එතනින් ඉවර වෙනවා. මාත් සාමාන්‍ය ලෙයින් මසින් හැදුණු ගැහැනියක්. ඉතිං බොරු කියන්නේ මොකටද? මට සබඳතා තිබුණා සමහර වෙලාවට ගොඩාක් ආදරයෙන් හිටිය අවස්ථාත් තිබුණා. ඒක තමයි ඇත්ත. වැඩිදුර ගියේ නැත්තේ සිනමාවේ මට ඉලක්කයක් තිබූ හින්දා. ඉතිං සමහරුන්ට ඒක හින්දා මාව එපා වුණා. මොකද දිගින් දිගටම මගේ හිත යන්නේ සිනමාව දෙසටයි. විවාහය ගැන මගේ හිතේ තිබුණේ නෑ. ඒ කාලයේ පත්තරවලත් මා කියා තිබෙනවා. මම කවදාවත් බඳින්නේත් නෑ කියලා. මොකද මට එහෙම අවශ්‍යතාවක් තිබුණේ නැති හින්දා. 


එක්තරා කාලයකදී මගේ ​ෙක්න්දර බලන්න ගත්තා. ඒවායේ තිබෙන්නේ විවාහය වෙන්නේ පස්සේ කියලා. නමුත් පස්සේ බඳින ඒ විවාහය හොඳයි කියලා තිබුණා. මම දන්නේ නෑ කාව බඳිනවාද කියලවත්. ඔහොම ඉන්න කාලයේ අම්මලා මට හොයන්න ගත්තා මඟුල්. මම කොහේ හරි ගිහින් එනකොට කට්ටියක් ඇවිත් ඉන්නවා. මම බලන්නෙවත් නෑ. ඒ දවස්වල මට එපා වෙලා වගේ තිබුණේ. බඳින්නත් ඕන කියලා සිතුණා. මොකද මගේ වයසත් දැන් පහුවෙලා වගේ. අම්මලාටත් කරදරයක් වුණා. ඔය වගේ ​ගොඩක් දේවලට මම මුහුණ දුන්නා. ඒ එකකටවත් කැමති වුණේ නෑ. ඔවුන් එක්ක කතා කළත් බඳින්න කිසිම අදහසක් තිබුණේ නෑ. 


එතකොට අද ඔබගේ සැමියා වන උපාලි ජයසිංහ කොහොමද හමුවුණේ? ඇයි ඔහු විවාහ කරගන්න සිතුවේ? 


චිත්‍රපටයක් සම්බන්ධයෙන් උපාලිට කතා කරන්න කියලා මගේ අක්කලා කිව්වා. ඒ වගේම මගේ වාහනය විකුණන්න තිබෙනවා කියලා ඒක බලන්නත් උපාලි ආවා. ඊට පස්සේත් කතා කළා. නමුත් කිසිම හැඟීමක් ඔහු කෙරෙහි මට ඇති වුණේ නෑ. මම ඉස්සර ඉඳලා නිළියන්ට තිබුණු ප්‍රශ්නයක් ගැන දන්නවා. නිළියන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මුදල් තිබෙන ව්‍යාපාරිකයන්, මැණික්කාරයෝ උත්සාහ කරනවා කතා කරන්න. නිකම් බොරුවට මම මෙයාව දන්නවා. මෙයා එක්ක ඉඳලා තිබෙනවා. මේ නිළිය මාත් එක්ක යාළුයි. කියලා තිබෙන ඒවා ගැන මම හොඳට දන්නවා. මට නම් එහෙම ප්‍රශ්න ආවේ නැති තරම්. අම්මා තාත්තා එක්ක හිටියේ එහෙම සෝෂල් ජීවිතයක් තිබුණේ නෑ. මම එහෙම අහු වෙන්න කවදාවත් ගිහිල්ලා නෑ. මට ඉවක් වගේ තිබෙනවා. අනවශ්‍ය පුද්ගලයන් එක්ක කතා බහ කරන්න යන්නේ නෑ. 


මට උපාලි ගැන කියන්න තිබෙන්නෙත් එයා හැමෝම දන්න සමාගමක කෙනෙක් කියලවත් මම දන්නේ නෑ. මම සාමාන්‍යයෙන් ව්‍යාපාර කරන අයට කතා කරන්නේත් නෑ. මෙයා මට Call කරන කොට මම අක්කාට කිව්වා. මෙයා මට මොකටද කතාකරන්නේ. මට තිබෙන කරදර මදිවටද? කියලා තමයි Call එකට ගියේ. මෙයා සාමාන්‍ය විදියට කතා කළා. දෛවයේ ලි​යැවිලා තිබෙන්න ඇත්තේ මෙයා වෙන්නැති. මට කතා කරනවා මාත් කතා කරනවා. ඔය කතාව දුර දිග ගියා. මම හීනෙකින්වත් සිතුවේ නෑ. මෙවැනි ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙයි කියලා ඒක ඇත්තමයි. හීනෙන්වත් සිතුවේ නෑ. උපාලි එක්ක විවාහ ජීවිතයක් ගත කරයි කියලා. ඒක කොහොම වුණාද කියලා මම දන්නෙත් නෑ. මට ඒ වන විටත් විවාහ වෙන අදහසක් තිබුණේ නෑ. කොහොම හරි මගේ දෛවය ඔහු වෙනුවෙන් තමයි ලියැවී තිබුණේ. 


ඔයා මීට පෙර ඉන්දියන් ජාතිකයෙක් එක්ක විවාහ වෙන්න හැදුවා කියලත් මට මතකයි. එහෙම දෙයක් තිබුණාද? 


ඔව්. මම චිත්‍රපට ක්​ෙෂ්ත්‍රයට පැමිණි කාලයේ තමයි ඒ සිදුවීමත් වුණේ. ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයක්. නම කියන්නේ නෑ. මම මේ ක්ෂේත්‍රයේ දුටු හොඳම අවංක තරුණ කෙනෙක්. ඔහු ඉන්දියානු ජාතිකයෙක්. නමුත් ලංකාවේ ඉන්නේ. මට ඔහු සමග වැඩ කරද්දී ලොකු කැමැත්තක් ඇති වුණා. හරිම ලස්සන, සුදු හින්දි ජාතිකයෙක්. මට බොහොම කැමැත්තක් ඔහු ගැන ආවා. එයා මාත් එක්ක කතා කළා. එයා කැමති නෑ. බැන්ඳාම වයිෆ් වැඩ කරනවාට. බැන්ඳාම අයින් වෙන්න ඕනෑ කියලා. ඒක එතනින්ම ඉවරයි. මගේ ජීවිතේම හමු වූ හොඳ පුද්ගලයෙක් ඔහු. එහෙම වුණා නම් අද මම ඉන්නේ ඉන්දියාවේ. හරි හොඳ කෙනෙක් බඳින්න අදහසක් මගේ සිත තුළ ඒ කාලේ කොහොමත් තිබුණේ නෑ. 

 

 

 

විවාහ වෙන්නේ ඕනෑ කියලා උපාලි ද ඔයාට කිව්වේ. නැත්නම් ඔයාද කිව්වේ? 


අපි දිගටම කතා කරගෙන ගියා. ඔහොම යන කොට කාලයක් ගියා. මම ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටයකට ගියා. මම ඕස්ට්‍රේලියාවේම ඉන්නවා. මට කතා කරන්න එපාවෙලත් හිටියා. එහෙමත් මම උපාලිට කිව්වා. නමුත් ඒක එහෙම වුණේ නෑ. මෙයා මට ඕස්ට්‍රේලියාවට කතා කරනවා. අත හැරියෙම නෑ. එහෙම නොවුණ නම් මේ මඟුලත් නැති වෙලා යනවා. හැබැයි මට උපාලි ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒ අතරතුර දී ඔහු මාව බඳින්න ඕනෑ කියන අදහස කිව්වා. මම ලොකුවට ඒක ගත්තෙන් නෑ. ඔහොම තිබිලා කාලයක් යන විට මට සිතුණා මෙයා වෙන්නැති මම විවාහ වෙන්න දෛවයේ ලියැවී තිබී ඇති කෙනා කියලා. මට ලොකු විශ්වාසයක් ඇති වුණා. ඇත්තම කතාව නම් කාලයක් එක්ක සිදු වූ දෙයක් තමයි මගේ විවාහය. කාලය විසින්ම අපි දෙන්නාම එකතු කළා. මට නම් මගේ විවාහය දෛවෝපගත සිදුවීමක් විතරයි. වෙනම ක්ෂේත්‍ර දෙකක්. මගේ වෘත්තියේ දෙන්නෙක් නම් කියන්න පුළුවන්. මේක හිතන්න බැරි දෙයක්. මම විවාහ වෙලා පුතා ලැබුණාට පස්සේ මම ජීවිතය දිහා වෙන විදියට බලන්න අරන්. 


උපාලි හමුවීමත් සමගම මට මගේ ජීවිතය වෙනස් වෙන්න ඕනෑ වුණා. ඒක තමයි කතාව. මම ළමයා එක්ක අවුරුදු 9 ක් ගේ ඇතුළට වෙලා ඉන්න තරම් මගේ ජීවිතයේ වෙනස් කමක් තිබෙන්න ඇති නේද? උපාලි එක්ක ආවාට පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම ජීවිතේට විනෝද චාරිකා ගිහින් නෑ. අම්මලා එක්ක කුඩා කාලයේ යන්නැති. උපාලි එක්ක තමයි විනෝද ගමන් ගියේ. පාටි වලට ගියේ. සමාජ කටයුතු වලට ගියේ. වෙනස්ම ජීවිතයකට හුරු වුණා. පුතා ලැබුණාම ජීවිතේම වෙනස් වුණා. මාව පුටුවකට තියලා බැන්ඳා වගේ වුණා. පුතා එක්ක ඉන්නම වුණා. ඒ කාලයේ හොඳ චිත්‍රපටවල හොඳ චරිත දිගටම ලැබුණා. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා පුතා වෙනුවෙන් කැප වුණා. මම පුතා වෙනුවෙන් අවුරුද්දක් කිරි දුන්නා. එයා දාලා යන්න මගේ හිත දුන්නේ නෑ. විවාහයක් ප්‍රතික්ෂේප කරලා තමයි මම සිනමාවේ නමක් හදා ගත්​තේ. ඒ කාලේ විවාහ වුණා නම් අද මගේ ළමයින්ගේ ළමයි පවා විවාහ වෙලා. ඒ වුණාට ඒක නොවෙයි මගේ දෛවය වුණේ. මගේ දෛවය තිබුණේ නිළියක් විදියට ඉන්නයි. 


විවාහ ජීවිතය ගැන අද ඔයාට මොකද හිතෙන්නේ? 


හරිම වෙනස් වූ ජීවිතයක්. විවාහ වුණාට පස්සේ හැමෝම කියන්නේ ​ෙදන්නා එක්කෙනෙක් කියලා. නෑ, එහෙම එකක් නෑ. මම කියන්නේ මම. එයා කියන්නේ එයා. අපේ විවාහය තුළ තිබෙන විශේෂත්වය ඒකයි. අපි දෙන්න දෙන්නෙක්. අපි දෙන්නා එක්කෙනාක් නොවෙයි. කවදාවත් ඒක එහෙම වෙන්නෙත් නෑ. හැබැයි මගේ චරිතය ඕනෑම දෙයකට නැමෙන්න පුළුවන්. හැඩ ගැසෙන්න පුළුවන්. ඒ බව ඔහු දන්නවා. මගේ ජීවිතය ඕනෑ විදියකට ඉන්න පුළුවන්. මම ඉන්න විදියක් තිබෙනවා. සමහර වෙලාවට මම හිතුවක්කාරයි. දෙයක් සිතුවොත් ඒ දේම කරන්න හදනවා. පොඩි කාලේ ඉඳලා තිබුණු දෙයක්. දැන් ඒ ගතිය අඩුයි. උපාලි එයාගේ ගමන ගියත් මා ගැන නිතරම බලනවා. ඒක තමයි අපේ විවාහයේ වැදගත්ම දේ. එකම දේ තමා තමන්ගේ ගමන ගියත් එකිනෙකා ගැන සොයා බලන එක තමයි අද කාලයේ විවාහයකට වැදගත් වෙන්නේ කියා මා සිතනවා. 


ඔය දෙන්නාගේ විවාහය කඩාකප්පල් කරන්නත් සමහරු උත්සාහ කරන්න ඇති නේද? ඔය අතරේ ඔයාව අයිතිකර ගන්නත් සමහරු බැලුවා නේද? 


ඒවා නම් අනන්තයි. මායි උපාලියි මේ ගෙවෙන්නේ විසිවැනි අවුරුද්ද. මට අවුරුදු 17 ක පුතෙක් ඉන්නවා. නමුත් මම නම් මේ අවුරුදු 20 තුළම එයා ගැන බලාගෙන හිටියා. ඔහු ගැන මට කියන්න අමාරුයි. නමුත් එකම දේ ඔහු මා ගැන බලනවා. මම දන්නේ එච්චරයි. මම දෙයක් කරන්න ගියාම ඔහුත් එක්ක සාකච්ඡා කරනවා. නමුත් අපි දෙන්නාගේ ගමන් දෙක වෙනම ගෙනියනවා. 
පුතාගේ වැඩත්, ගෙදර වැඩත් සම්පූර්ණයෙන්ම කරන්නේ මමයි. උපාලිව එයින් මම නිදහස් කරලා තිබෙන්නේ. ඔහු දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට යන කෙනෙක්. ඒකට මගේ ලොකු දායකත්වයක් ඔහුට දෙනවා. ඒක ඔහු දන්නවා ඇති. මගේ පුතා අද හොඳ ළමයෙක්. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මම මේ අවුරුදු 20 තුළ උපාලි දෙස බලාගෙන හිටියා මිසක් වෙන කිසිම කෙනෙක් දිහා බැලුවේ නෑ කියලා නම් කිව යුතුමයි. 


දැන් වුණත් අපි දෙන්නා එක්ක සම්බන්ධ වෙන්න ගොඩාක් අය බලනවා. අපේ විවාහය නැති කරන්න ලොකු ප්‍රශ්න තිබුණා. අවුරුදු 20 තුළ දවස ගානේ අපට සංකීර්ණ ප්‍රශ්න තිබුණා. ඒ මිසක් සැහැල්ලු ගමනක් නොවෙයි මා ඇවිත් ඉන්නේ. බොහොම දුෂ්කර ගමනක්. චිත්‍රපට වල ගිය ගමනට වඩා දුෂ්කරයි මේ විවාහ දිවියේ ගමන. ඒත් අපි අන්‍යොන්‍ය බැඳීම තුළින් ඉදිරියට යනවා. ඔහොම යනවා. මල් මාවතක ඇතිරූ ජීවිතයක් කිසිම දිනක මට තිබුණේ නෑ. පිට ඉඳලා බලන අය ඒ විදියට දකිනවා ඇති. නෑ ජීවිතය කවදාවත් එහෙම නෑ. අදත් නෑ. හෙටත් නෑ අපම ජීවිතය ගැන අවබෝධය ලබාගෙන ඉදිරියට යන්න ඕනෑ. මම මේ කාලයේ බෞද්ධ දර්ශනයට නැඹුරු වෙලා ඉන්නේ. එයින් මගේ සිතට ලොකු සතුටක් සහනයක් ලැබෙනවා. මට ඒ දැනෙන සහනය ගෙදර සියලු දෙනාටම සහනයක් වෙනවා. 

 

 

 

 

 

 

 

 

 


කතා බහ කළේ 
සමන්ත යහම්පත්

 
 



අදහස් (0)

සමහර නළුවන් උදේ හවස මුණ ගැහෙනවා එතකොට සම්බන්ධයක් ඇති නො​වෙනවා නම් පුදුමයක්

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

සුන්දරත්වයෙන් අධ්‍යාපනයෙන් පොහොසත් - චාමිකා කරුණාරත්න (ෂැංග්‍රිලා සන්නිවේදන හා අලෙවිකරණ අංශයේ කළමනාකාරිනී)
2025 මාර්තු මස 20 30 0

තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.



අක්කා හරියට මගේ දෙවැනි අම්මා වගෙයි පියුමාලි අක්කා ගැන සිත්මි නංගිගෙන්
2025 මාර්තු මස 20 27 0

සහෝදරියන් දෙදෙනෙක් රඟපාන අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ‘‘පියුමාලි එදිරිසිංහ සහ සිත්මි එදිරිසිංහ මේ විදිහට අපට හමුවන තුරුණු රංගන ශිල්පිනියන් දෙ


“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 83 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 44 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 137 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 114 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1119 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site