ක්‍රියාදාම චාරිකා

බ්‍රේකර්ස් වංගුව

 

සුදු මහත්වරුන්ගේ සමයේ නැතහොත් ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ලංකාවේ සංවර්ධනයට දියුණුවට ඉමහත් සේවයක් කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා​ගේ පාලකයන්ගේ නෙත් සිත් වගේම ව්‍යාපාරික ඥානයත් පැහැරගත් ලංකාවේ ප්‍රධානම ඉසව්ව වනුයේ මධ්‍යම පළාත නොහොත් කඳුකරයයි. සුද්දා විසින් රටට කළ සේවය හා සමානව පරිසරයට හා වනජීවීන්ට ද අවැඩක් සිදුකළ මුත් අද කථාව වනුයේ සුද්දා විසින් සොයාගත් කඳුකරයේ පාරාදීසය හා බැඳී අවශේෂ සිද්ධි හා නොඉඳුල් ස්ථාන කරා ගිය දුෂ්කර ගමන් කිහිපයක් පිළිබඳවය.   


ලංකාවේ ලොකු, කුඩා, බාල - මහලු බොහෝ පිරිසක් සංචාරයට ගිය ලංකාවේ ප්‍රධානම ස්ථාන වන සීගිරිය, සිරිපාදය හා හෝර්ටන් තැන්න අතරින් වඩා සුන්දරම ඉසව්ව කුමක්දැයි ඇසුවහොත් නිසැකින්ම ඒ හෝර්ටන් තැන්න වන බව නොරහසකි. මන්ද කොළෙං​තොට කර්කෂ පො​ළොව සේම සෙසු පළාත්වල දේශගුණය හා බලන කල කඳුකරයේ පාරාදීසයක බඳු සුන්දරත්වයක් සහ සීතලක් ඇති හොඳම ඉසව්ව හෝර්ටන් තැන්න වග විදෙස් සංචාරකයන් පවා දන්නා කරුණකි.   


හෝර්ටන් තැන්න ප්‍රසිද්ධවන්නේ ලෝකාන්තයටය. ලංකාවේ මහා ලෝකාන්තය වනුයේ හෝර්ටන් තැන්න පිහිටි ස්ථානයයි. ඒ හැර කුඩා ලෝකාන්ත දුසිමක් පමණ ලංකාවේ දක්නට ලැබේ. තවද බෙලිහුල්ඔය නදියෙන් උපදින සුන්දර බේකර්ස් ඇල්ල සහ චිමිනි ඇල්ල ද කෙළවරක් නැති සුන්දර තැනිතලා පවතින හෝර්ටන් තැන්න දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඇති ප්‍රධානතම ස්ථානයකි.   


වර්තමානය වන විට හෝර්ටන් තැන්නට ළඟා විය හැකි ප්‍රධාන මාර්ග 2 කි. නුවරඑළිය සිට අඹේවෙල හරහා පට්ටිපොළ පිවිසුම සහ අනෙක හපුතලේ, බොරලන්ද හරහා ඔහිය පිවිසුම වේ. නමුත් අතීතයේ මේ යුගලයට අමරතව මාර්ග 4 ක් තිබී ඇත. ඉන් වඩාත් කෙටි මාර්ගය නම් බෙලිහුල්ඔය සිට නන්පේරියල් මාර්ගයයි. මීට අමතරව බොගවන්තලාව සිට මාර්ගයත්, ඩයගම සිට මාර්ගයත් සහ ඔහිය - පට්ටිපොළ අතර දුම්රිය මග ඔස්සේ අඩි පාරක් ලෙස සමස්ත මාර්ග 6 ක් අතීතයේ තිබී ඇත. නමුත් ඉන් ඔහිය හා පට්ටිපොළ වර්තමාන පිවිසුම් පාර අනෙක් මාර්ග සියල්ල වසා දැමූ තහනම් කරන ලද ප්‍රවේශ වේ. එසේ කිරීමට හේතු වූයේ සංචාරකයන්ගේ නොමනා හැසිරීම, පාලනයේ සීමා සහිත වීම සහ අනවසර හා නීති විරෝධී පතල් කර්මාන්තය වේ. මින් නන්පේරියල් මාර්ගය වර්තමානය වන විට පවා අනවසරයෙන් සංචාරකයන් හෝර්ටන් තැන්නට ප්‍රවිශ්ට වීමට යොදා ගන්නා අතර අනෙකුත් සියලුම මාර්ග මේ වනවිට වල් බිහි වී මැකී ගොසිනි. තවද ඩයගම මාර්ගයද, ඇතැම් පිරිස් භාවිත කරන අතර එලෙස භාවිත කිරීම නීති විරෝධී බැව් වනජීවී දෙපාර්තමේන්තුව අපට පැවසීය.   
බේකර්ස් ආණ්ඩුකාරයා යනු හෝර්ටන් තැන්​නේ විසූ අලින් දහස් ගණනින් විනෝදය පිණීස මරා දැමූ කෙ​නෙකි. ඔහු එම අඩවියේ සිටි සියලුම අලි ඇතුන් මරා දමන ද අතර ඒ අවට තේ වතු සංවර්ධනය ද සිදු කරන ලදී. බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්නේ තිබෙනවා සේම ඒ හා සමාන තවත් ඔහුගේ නමින් ඇති ස්ථානය නම් නන්පේරියල් වත්තේ පිහිටි බේකර්ස් වංගුවයි. සුදු ජාතීන්ට අතීතයේ යාන වාහන ​​නොතිබුණු නිසාවෙන් ඔවුන් ගමන් බීමන් ගියේ අසරුවන්ගේ මතිනි. ඔවුන්ටම වෙන් වූ අශ්වයන් පිටරටින් ගෙන ආ අතර ඔවුන් සියලුම ගමන් බිමන් යන ලද්දේ අශ්වයන්ගේ පිටේය. මෙලෙස බේකර්ස් ආණ්ඩුකාරවරයා ඉහළ ගලගම ලඳු යාය ප්‍රදේශයේ සිට නන්පෙරියල් වෙත ළඟා වීමට ඉතාමත් දුෂ්කර අශ්ව මාර්ගයක් පවා භාවිත කළ අතර වාර්තමානයේ පවා එය දක්නට ලැබේ.   


අපගේ මෙම සංචාරය සිදුකරන ලද්​දේ එම වියැකී යන පැරැණි අශ්ව රථ මාර්ගය හරහාය. හාවාගල කන්දට යන මාර්ගය වනුයේ බෙලිහුල්ඔය තානායම අසලින් ඉහළ ගලගමට හා ලඳු යාය ගමට යන මාර්ගය ඔස්​​සේය. එහි ඉහළ ගලගම ආසන්නයේ කුඹුරු යායක් අසලින් පයිනස් කැලයක් හරහා වැටි ඇත්තේ එදා බේකර්ස් භාවිත කළ පැරණි මාර්යයි. කි.මී. 5 ක් පමණ දුර එම මාර්ගය නන්පේරියල් වෙත ළඟා විය හැකි කදිම කෙටි මාර්ගයකි. නමුත් කඳු නැග්මක් සහ පයිනස් කැලයේ දුෂ්කර ගමන් වන බැවින් නන්පේරියල් හා ඉහළ ගලගම ගම්මානවල වැසියන් පමණක් තම වැඩ රාජකාරීවලට අදටත් යොදාගන්නේ මෙම මාර්ගයයි.   

 

වලාකුළු වලට උඩින් යන දුෂ්කර මාර්ගය

ගල්ගම ඇල්ල


උදෑසනින්ම ගමන පටන් ගත් අපට කූඩැල්ලන්ගෙන් එතරම් බාධාවක්නොවූයේ වර්ෂාව සහිත කාලයක් එදවස නොවූ හෙයිනි. එමනිසා දුෂ්කර මග දිගේ පයිනස් කැලයට පිවිස යන්තමට හඳුනාගත හැකි අඩි මාර්ගය දිගේ අපි ඉහළටම ඇදුණෙමු. දසතම පයිනස් ගස්වලින් වටවී අප තනි වූ බවක් දැනෙන තරම් වූ අතර මුළු ප්‍රදේශයේම දැඩි නිහඬතාවක් විය. විනාඩි 20 ක් පමණ ගිය විට පයිනස් කැලය අවසන් වී අපි එළිමහන් වනපියසට ඇතුළු වුණෙමු.එය මාන පඳුරුවලින් වැසුණු දුෂ්කර කඳු තරණයක් සහිත ඉසව්වකි.   


නමුත් පරිසරයේ සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම් වූයේ හාවාගල කන්දේ සුන්දර දර්ශනයයි. සබරගමු ප්‍රදේශය තුළ සුන්දරම හාවාගල කන්​දේ සම්පූර්ණ දර්ශනය පැහැදිලිව දැක ගැනීමට ලැබුණි. ඊට අමතරව නන්පේරියල් නැගෙනහිර බෑවුමේ පිහිටි අවශේෂ කඳු කිහිපයක් ද අපට දැක ගැනීමට ලැබුණි. කෙසේ හෝ ලිස්සනසුලු බොහෝ උසට වැඩුණු මාන පඳුරු යාය පීරගෙන අප ඉහළටම ගමන් කළේ මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක පමණ උසකට ළඟා විය යුතුව තිබූ හෙයිනි.   


කෙසේ හෝ තවත් හෝරාවක් ගත වන තැන අපි තවත් අඳුරු වන පියසකට ඇතුළු වුණෙමු. වන පියස අවසන් වන ඉසව්වේ නැවතත් විවෘත පැහැදිලි මගකට පැමිණී අතර එහිදී නන්පේරියල් ඉසව්ව මුල් වරට ගමනේ දී දැක ගත හැකි විය.   


පැරණි අශ්ව මාර්ගය ඔස්සේ ​හෝරා තුනක් ඇතුළත අපි කි.මී. 5 ක පමණ දුර ගෙවා අසිරු හා දුෂ්කර කඳු තරණය කරමින් නන්පේරියල් වත්තේ අඩි 6990 සඳහන්ව අැති නාම පුවරුව අසලට පැමිණියෙමු. එතැන් සිට අපට ස්ථාන දෙකකට යා යුතුව තිබුණි. එනම් කැතිගහන ඇල්ල​ නොහොත් ගලගම ඇල්ලට සහ බේකර්ස් වංගුව පිහිටි ස්ථානයටයි. කඳු නැගීම බැසීම පදනම් කර ගනිමින් අප ප්‍රථමයෙන් තෝරා ගත්තේ හෝර්ටන් තැන්නේ මහ වනය මධ්‍යයේ පිහිටි ගලගම ඇල්ල නැරඹීමට යාමටයි. මෙහිදී අපට දැකගත යුතු දෙයක් තිබුණු නිසාවෙන් ඒ පිළිබඳව අසා දැනගත්තෙමු.   


ගලගම ඇල්ල යනු දේශීය සංචාරකයන්ගෙන් පවා සැඟවුණු ස්ථානයක් වන අතර ඊට හේතුව නම් එහි යාම පවා අතිශය දුෂ්කර සහ මග වැරදියා හැකි ඉසව්වක් හෙයිනි. තවද ඊටත් වඩා අවදානමක් එහි ඇති බවට අප පසුව සොයා ගත් අතර එය නම් බඳින තුවක්කු කැලයේ බැඳ තිබීමයි. නන්පේරියල් ආශ්‍රිත වැසියෝ වල් ඌරන්, ​​ගෝන්නු සහ ඕලු මුවන් වැනි සතුන් නීති විරෝධීව දඩයම් කිරීමට මෙවැනි උගුල් අටවා ඇති බව අප දැනගත්තේ සගයෙකු වෙනත් දිනයක එහි ගොස් අනූ නවයෙන් ඊට හසු නොවී බේරුණු නිසාවෙනි.   


මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක් උසට පැමිණි අප තිස්දෙවන වංගුව අසල දී වම් පස වූ වනපියසට ඇතුළු වූයේ ගලගම ඇල්ල සොයා යාමේ අදිටනිනි. වල් ඌරන් ගිය අඩි මාර්ග එ්මට මෙහි ඇති බැවින් නිවැරදි මග දන්නා මග පෙන්වන්නෙකු සමග අපි මෙම ගමන කල් තියාම යාමට කතිකා කර ගෙන සිටියෙමු. එම නිසාම එකී පුද්ගලයා අදාළ වෙලාවට එහි පැමිණ සිටි හෙයින් අපි ගමන පටන් ගත්තෙමු. වර්ෂාව නොමැති නිසා මෙම අධික තෙත් කලාපීය වනරොද තුළ යාම පහසු විය. මෙම කැලය කෙතරම් ​​නොඉඳුල්ද යත්නම් මුළු වන පියසම ඝන අඳුරක සැඟව තිබුණි. සෑම ස්ථානයකම පාහේ ජල පාරවල් දක්නට ලැබුණු අතර ගස් මත පාසි තිබෙනු දක්නට ලැබුණි. එම නිසාම අපි ශාක ප්‍රජාවට හානි නොවන ලෙස අඩි මාර්ගය දිගේ ඉතා ප්‍රවේසමෙන් ගමන් කළෙමු.   


ගලගම ඇල්ල යනු හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ලේ සිට පැමිණෙන ජල පහර හෝර්ටන් තැන්නේ සිට පහළට වැටෙන ස්ථානයේ නිර්මාණය වූ ඇල්ලයි. බෙලිහුල්ඔය මූලාශ්‍ර කරගත් මෙම ඇල්ල සහ එම ජලය ගලාගෙන යන මාර්ගය පිහිටියේ අසීරු ගල් කුට්ටි පිරි දුර්ගයක විය. කෙසේ හෝ තවත් හෝරාවක ගමනකින් පසුව අපි ගලගම ඇල්ල අසලට පැමිණියෙමු.   


ගලගම සුන්දරියගේ හැඩ මීට පෙර අප මිතුරෙකුගේ ඡායාරූපවලින් දැක තිබුණි. එවකට ගලගම ඇල්ල ජලයෙන් පිරී එහි මුදුනත පවා මීදුවෙන් වැසී යන තරම් සුන්දර දවසක් එහිදී තිබූ නමුත් අද අප නැරඹීමට ගිය ඇල්ල ඉතාමත් සිහින් නූල් පොටක් වන් විය. වර්ෂාව බො​හෝ කාලයක සිට ​​​නොලැබුණු නිසාවෙන් ඇල්ලේ ජලය බෙහෙවින් අඩු වී තිබුණි.  


ඇල්ල දෙපසම පිහිටියේ දැවැන්ත කළු ගල් පර්වතයයි. එය දුටු විට බිය උපදවන සුලු ගුප්ත පරිසරයක් විය. ජලය අඩු වුවද ඇල්ලේ සහ පරිසරයේ සුන්දරත්වය විඳ අපි දිවා ආහාරය එහිදී ගත්තෙමු. අප ඇල්ලෙන් පිටත්ව යන විට සුදු මීදුම් රොදක් පැමිණ මුළු ඇල්ලම වසා ගත්තේ අපව ද පුදුම කරවමිනි. අධික සීතලක් සහ සෙවණක් වූ හෙයින් ගලගම ඇල්ලට සමුදුන් අපි නැවතත් ආ මගේම වන පියස හරහා තිස් දෙවන වංගුව වෙත ගමන් කළෙමු. මේ වනවිට පරිසරය මීදුමෙන් වසා ගෙන තිබූ නමුත් එහි වූ සුන්දරත්වය ඇස් අදහා ගත නොහැකි තරම් විය. කෙසේ හෝ දහවල් දෙක පමණ වන විට අප නැග්රැක් බංගලාවට යන මාර්ගයට පැමිණි අතර ඉන්පසු අපගේ මීළඟ නැවතුම වන බේකර්ස් ආණ්ඩුකාරයාගේ අශ්වයා වැටුණු ස්ථානයට ගියේ දිගටම පැහැදිලි තාර ගැලවුණු අබලන් මගේ පල්ලම් බසිමිනි.  


බේකර්ස් ආණ්ඩුකාරයාගේ අශ්වයා ඔහුට නැතුවම බැරි සගයෙකු වැනි විය. එතරම් බේකර්ස් මහතා ඒ අශ්වයාට ඇලුම් කරන ලදී. නමුත් දවසක් බේකර්ස් මහතා අශ්වයා පිට නැගී මෙම මාර්ගය දිගේ යන විට ලිස්සා යාමෙන් ඔහු බේරුණද අශ්වයා එම වංගුවෙන් පහළට වැටී මිය ගියේය. තම අශ්වයා මිය යාම ඔහුට දරාගත නොහැකි අඩුවක් වූ අතර අශ්වයා සිහිවනු පිණිස එම වංගුව අශ්ව ලාඩමක හැඩයට ඔහු සාදන ලදී. එ් බව නන්පේරියල් ඉහළ සිට බලන විට අපූරුවට දැකගත හැකි කොළ වර්ණයෙන් දිලෙන විශාල කඳු වැටිවලට පතන ලෙසින් මාන පඳුරු වලින් වැසී තිබුණි.  

 

බ්‍රේකර්ස් වංගුව මීදුමෙන් වැසී

බ්‍රේකර්ස් වංගුවේ සිට මාර්ග පෙනෙන අයුරු

 


හෙමි හෙමිහිට අබලන් මග දිගේ අප පල්ලම් බසින්නට වූ අතර තවත් අඩහෝරාවක් ගතවන විට තේ පඳුරු අතරින් තිබූ කෙටි මං තුළින් යමින් වංගු ගැසී යන මාර්ගය මග හැරීමට අපට පුළුවන් වුණි. විශාල වංගුවක් එහි ඇති හෙයින් ඒ අසල කොන්ක්‍රීට් කොට තිබුණි. මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් උසින් පිහිටි බේකර්ස් වංගුව නන්පේරියල් සිට නැග්රැක් බංගලාවට යන විට හමුවන 23 වන වංගුවයි.  


මෙම ස්ථානයට බෙලිහුල්ඔය දැවැන්තයන්ට එනම් ආදරකන්ද සිට බලතුඩුව හා හොම්මෝලිය කඳු දක්වා තනි යායට දිවෙන කඳු වැටිය පසුබිමේ දැක ගත හැකි අතර තවත් පසෙකින් සමනල වැව දක්වා වපසරියක්ද දක්නට ලැබුණී. තවත් පසෙකින් අඩි 7000 කට වැඩි උසකින් පවතින නැග්රැක් බංගලාව සහ හෝර්ටන් තැන්නේ දකුණු මායිම් කඳු වැටියත් පැහැදිලිව දැකගත් අතර ඉතිරි පසින් ​ලෝකාන්තයේ පාමුල එනම් නන්පේරියල් වත්තේ උග්ගල් නම් කොටස ඉතාමත් ඈතින් දැක ගැනීමට හැකි වුණි.   


අංශක 360ක නන් පේරියල් වත්තේ වපසරියක් දැකගත හැකි බේකර්ස් වංගුව සැබවින්ම අලංකාර ස්ථානයකි. ඇතැම් විට ක්ෂණික මීදුමෙන් බේකර්ස් වංගුව වසාගත්තේ අංශක 240ක පමණ වංගුවට වටේ මුළුමනින්ම සුදු පැහැති වර්ණයෙන් යුක්ත වෙමිනි. සීතලට ගුලිවෙන මීදුම් ගොබ හිස් අවකාශය පුරා එහෙ මෙහෙ යන්නේ සුරපුරයක අසිරිය මට්ටමිනි.  


බේකර්ස් වංගුව අසල නැවතුණු අපි එම කොන්ක්‍රීට් ගැට්ට මත වාඩි වී ප්‍රදේශයේ ලස්සන දැක ගත්තෙමු. නන්පේරියල් යනු පුද්ගලික වතු සමාගමක් බැවින් නිසි අවසරයකින් ​තොරව එහි ගමන් කළ නොහැක. මීට පෙර අප නන්පේරියල් හරහා ලෝකාන්තය බැලීමට ගිය ආකාරය අපට සිහි වූ අත එහිදී අපි ගමන් ගත් අඩි මාර්ගය ඔස්සේ නැග්රැක් බංගලාවේ සිට උපරිම විනාඩි 45ක් තුළ ලෝකාන්තයට ළඟා වුණෙමු.   


හෝර්ටන් තැන්න යනු ලංකාවේ සුවිශේෂී ඉසව්වක් වන අතර මතුපිටින් ඔබ අපට දැකගත හකි විශාල තැනිතලාවලට එපිටින් ඉතාමත් අඳුරු ගුප්ත වන රොදක් ඇති බව අපි මීට පෙරත් අද දිනයේ ගලගම ඇල්ල සොයා යන විටත් දැක ගත්තෙමු.   


බෙලහුල්ඔය නගරය හරහා ගලා බසින් දිගු පාරවල්වල පිහිටීම ද සෙසු ප්‍රදේශවලට වඩා වෙනස් වන්නේ ගඟ දෙපස අංශක 90ක පමණ ගල් තලා හා ගල් බිත්ති පිහිටන නිසාවෙනි. එය ස්වභාවධර්මයාගේ අනුහසක් වැනිය. කෙසේ හෝ අප බේකර්ස් වංගුවේ සිට පරිසරය තව තවත් විඳිමින් බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයට ළඟා වීමට පල්ලම් බැස්සේ පැය හතරක පමණ ගමනක් පුරාවට කිලෝමීටර් 15 ක් පමණ යා යුතුව තිබූ හෙයිනි.   
සවස් යාම​යේ සුන්දර නන්පේරියල් වතු යාය සහ අහිංසක ගැමියන්ගේ සිනහව තුළ සැඟවුණු කටුක බව හා දුෂ්කර බව අපට හඳුනාගන්නට වැඩි ​වෙලා නොගියේ අප සමග පිළිසඳරක වැටුණු කෙනෙකු මගින්ය. නන්පේරියල් වත්තේ තිබූ අවශේෂ දිය ඇලි 5 ක් පමණ බලමින් හිරිකටු ඔයට සමාන්තරව ඇති අබලන් මග දිගේ අපි ගොම්මන් අඳුරේ පහළට බැස ගත්තෙමු. පරිසරය ඉතාමත් සන්දර වන අතර බොහෝ පිරිසකට මෙම සුන්දරත්වය නැරඹීමට හැකියාව නොමැති බැවින් අප මෙවරත් යම් වාසනාවක් ලද්දා දෝ සිතුණි.  


බේකර්ස් වංගුවේ සහ ගලගම ඇල්ලේ ගත කළ අද දිනයේ අප ඇවිද තිබූ සමස්ත දුර කි.මී. 28 ක් පමණ වී තිබුණි. අඳුර වැටුණු ඇසිල්ලේ ප්‍රධාන මාර්ගයට පැමිණි අප නිවෙස් බලා පිටත් වූයේ Travel In Sri Lanka - Sobasiri හි තවත් ක්‍රියාදාම ගවේෂණ චාරිකාවක් අවසන් කිරීමෙනි.   

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු