තරු පිරි අහස

 

සූර්යයාට ආසන්නයේ පිහිටා තිබෙන සිකුරු ග්‍රහයා විද්‍යාඥයින්ගේ විශේෂ අවධානයක් යොමු වූ ග්‍රහලෝකයකි. එසේ වීමට හේතු වූයේ එම ග්‍රහලෝකය සම්බන්ධයෙන් විද්‍යාඥයින්ට ගැටලු රාශියක් තිබීමයි. ඒ අතරින් ප්‍රධානතම ගැටලුවක් වූයේ සිකුරුගේ දිනයක දිග කොපමණද යන්නයි. 
  
ඉතා සෙමින් භ්‍රමණය හා පරිභ්‍රමණය සිදු වන නිසාත් එහි භ්‍රමණ හා පරිභ්‍රමණ වේගයන් එකිනෙකට වෙනස් නිසාත් දිනයක දිග සම්බන්ධයෙන් නිවැරදි අදහසක් ලබාගැනීමට විද්‍යාඥයෝ අසමත් වූහ. 


කෙසේ වෙතත් සිකුරු ග්‍රහයා පරිභ්‍රමණය වීමට පෘථිවි දිනවලින් දින 243කුත් භ්‍රමණය වීමට පෘථිවි දින 4 කුත් ගත කරන බව විද්‍යාඥයින් විසින් තහවුරු කර ගැනීමට සමත් වූහ. ඔවුන් පුදුමයට පත් කළ කාරණය වූයේ සිකුරු ග්‍රහයා එතරම් සෙමින් ගමන් කළත් එහි වායුගෝලය ඉතා වේගයෙන් චලනය වීමයි. 


විද්‍යාඥයින්ගේ මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමට සමත් වූයේ අකත්සුකි අභ්‍යාවකාශ යානාව මගිනි. ජපානය මගින් මෙම යානාව සිකුරු ග්‍රහයා වෙත යැවූයේ එහි දේශගුණය හා වායුගෝලය සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම සඳහායි. මෙම යානාවට අකත්සුකි යන ජපන් නම ලබාදී ඇත්තේ ‘අරුණෝදය’ යන තේරුම සහිතවයි. 2015 සිට මේ වනතුරු අභ්‍යාවකාශයේ රැඳී සිටිමින් යානාව සිකුරු ග්‍රහයාගේ තොරතුරු එක්රැස් කරමින් සිටියි. 
මෙම යානාව ප්‍රථමයෙන් අභ්‍යාකාශගත කිරීමට උත්සාහ කළේ 2010 වසරේදීය. එහෙත් එම උත්සාහය අසාර්ථක වූ අතර 2015 දී යළිත් අභ්‍යවකාශ ගත කරන ලදී. 2016 දී යානාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ​අධෝරක්ත කැමරා දෙකක් ක්‍රියා විරහිත වුවත් එය තවමත් සිකුරු ග්‍රහයා ඡායාරූප ගත කිරීමට සමත්ව සිටී. 


සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ වූ විශාල ඊතල හැඩයේ ස්වරූපයක් මෙම ඡායාරූපවල සටහන්ව තිබිණි. මෙම ස්වරූපය වරින්වර මැකී යන අයුරුත් යළි මතුවෙන අයුරුත් අකත්සුකි යානාවේ නිරීක්ෂණ කැමරාවල සටහන්ව ඇත. මෙම ස්වරූපය සැබැවින්ම වේගයෙන් චලනය වන කඳු තරංග බවට විද්‍යාඥයි සඳහන් කරයි. කඳු තරංග යනු කඳු වටා හමන සුළඟ වැනි භූ ලක්ෂණ හේතුවෙන් වායුගෝලයේ ගුරුත්වාකර්ෂණයෙන් අැතිවන තරංගයි. මෙම තරංගවල බලපෑම සිකුරු ග්‍රහයාගේ භ්‍රමණ පරිභ්‍රමණ වෙනසට හේතුවිය හැකි යැයි විද්‍යාඥයෝ සඳහන් කරති. 


සිකුරු ග්‍රහයාගේ මතුපිට ඡායාරූප ගත කිරීම බොහොම අපහසු දෙයක්. ග්‍රහයාගේ භ්‍රමණ පරිභ්‍රමන වේග වෙනස විතරක්ම නෙමෙයි ඒකට හේතුව. එහි මතුපිට නිත්‍ය ඝන වලාකුළු තට්ටුවකින් වැහිලා තිබීමත් හේතු වෙනවා. 
කැලි​ෙෆා්ර්නියා විශ්වවිදයාලයේ අචාර්යවරයකු වන තෝමස් නවාරෝ එසේ පවසා තිබේ. 


කෙසේ වෙතත් බොහෝ කාලයක් සිකුරු වටා සැරිසරමින් අකත්සුකි යානාව විසින් ලබාගත් විවිධ තරංග ආයාමවල ඡායාරූප පරීක්ෂා කොට ඒවා කඳු තරංග බවට තහවුරු කිරීමට විද්‍යාඥයෝ සමත් වූහ. මෙම තරංග සිකුරුගේ භ්‍රමණයට බලපාන අයුරුද ඔවුන් විසින් පැහැදිලි කරනු ලැබිණ. 


සුළඟ උඩට පහළට හමන්නේ කඳුවලට විරුද්ධ දිශාවලින්. මේ සුළඟේ වෙනස හමන වේගයේ වෙනස භ්‍රමණයටත් බලපානවා. කොටින්ම කියනවා නම් කන්දක් මත ශූද්ධ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තරංග ආයාමවලින් කන්දේ සිදුවන වෙනස මුළු ඝන වස්තුවටම බලපානවා. නවාරෝ සඳහන් කරයි. 


කෙසේ වෙතත් මෙම අදහස සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු යැයි විද්‍යාඥයෝ පවසති. ඒ සඳහා කඳු තරංගවල ඡායාරූප මහත් පිටිවහලක් වෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. 


වායුගෝලය හා ඝන වස්තුව එකිනෙකාට බලපෑම් කරන්නේ කොහොමද කියලත් සිකුරු ග්‍රහයා ඒ විදියට වෙනස් වෙන්නේ ඇයි කියලත් අපිට ඉදිරි පර්යේෂණ නිරීක්ෂණවලින් හොයා ගන්න පුළුවෙන් වෙයි. ඔවුහු සඳහන් කරති. 

 

 

 


පවනි උමයංගනා