අවුරුදු දහස් ගණනක අතීතයකදී වුව මිනිසාගේ වන්දනාමානවලට ලක්වී සිටි අදෘෂ්‍ය මාන බලවේගයක් ලෙසට ‘දෙවියන්’ හඳුන්වා දිය හැකිය. ගස්වැල් අව්, වැසි, සුළං, ගිනි කඳු ආදිය දේවත්වයේ ලා සැලකූ අතීත මිනිසා ඊට මද දියුණුවක් ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසටය දෙවි දේවතා ඇදහිලි පෙරමුණට ආවේ. ඒ අනුවම දෙවි දේවතා නාමාවලියක්ද ඔවුන්ගේ ජීවිතයට එකතු විය.  


දීපයෙන් දීපයට දෙවි දේවතාවන්ගේ ඇදහිලි සහ ඔවුන්ගේ නාමයන්ද වෙනස්ය. නමුත් සියයට සියයක්ම දෙවි දේවතාවන් බිහිවුණේ පෙරදිග දේශයන්ගේය. විශේෂයෙන්ම දේව සංකල්පනා විශාල සංඛ්‍යාවකට නිජබිම මෙන්ම වැඩිම දෙවි දේවතා පෙරහැරක් ඇති මහා භාරතය මෙහි මුල්තැන ගන්නේය. ඉන් සමහර දෙවිවරු අතිප්‍රබල ය.  


සමහරුන් දුබලය. තවත් අය නාමමාත්‍රිකයෝය. ඇතැමුන් ලොව ප්‍රබල තැනෙක වැජඹෙන මුත් කිසිදු වැඳුමක්, පිදුමක්, නොලබන්නේය. නමුත් ඔවුන් දේව සභාවල මුල්තැන හොබවති. එමෙන්ම දෙව් මිනිසුන්ට නැතිවම බැරි චරිතයෝය. එවන් අතිප්‍රබල එහෙත් කිසිදු ගරු සත්කාරයක් නැති එකම දෙවියා නම් සදෙව් ලොවටම අධිපති ‘සක්දෙවිඳු’ ය. නැතිනම් ශක්‍ර දිව්‍ය රාජයා ය.  


විශාල භාර්යාවන් ප්‍රමාණයක් පිරිවරා ගලින් නිම කළ මනහර ශෛලාසනයක වැජඹෙන, විටෙක මනුලොව වගතුග සොයමින්ද තවත් වරෙක දෙවියන්ට තෙදබල පෙන්වමින්ද සැමවිටම කාගේත් මුවග රැව්දෙන ශක්‍ර දිව්‍ය රාජයාට දෙනෙතක් නොව නෙත් දහසක්ම ඇත්තේය.  


අපේ බොදු සාහිත්‍යය ශක්‍රයාට සුවිශේෂී තැනක් ලබාදී ඇති බවක් පෙනේ. මේ බලගතු දෙවියා නොමැති කතාන්තරයක් නැති තරම් ය. එතරම්ම ඔහු ජනප්‍රිය චරිතයකි. කුස ජාතකය, සස ජාතකය, ගුත්තිල ජාතකය සහ වෙස්සන්තර ජාතකය ආදී විශාල කෘතීන් ගණනකම රැඳී සිටින සක් දෙවිඳු ඉල්ලීස ජාතකයට අනුව මහ දන් පින් පවත්වා එක්රැස් කරගත්තාවූ පින් මහිමයෙන් සදෙව් ලොවටම අධිපති වූ බවක් කියැවේ. බිරියන් දහස් ගණනකගේ සැමියෙකු වුවද කිසිදා වියපත් නොවන දරු මුනුපුරන් නැති ඔහුගේ අග බිසව ඉන්ද්‍රාණි ය. ඇය ද කිසිදාක මහලු නොවන්නී ය.  


ශක්‍රයාට දික්පති, තදිව්පති, සුරපති, දසැස් ආදී පර්යාය නාමයෝ බොහෝය. ඔහුගේ අශ්ව රථයේ රියැදුරා මාතලී ය. ඔහුගේ සංගීතඥයා සදෙව් ලොවටම අ​ෙශ්‍රෂ්වර් පන්සිළු ය. සක් දෙවිඳු ගේ ආසනය පාණ්ඩුකම්බලශෛලාසනය ය. එය සම්පූර්ණයෙන්ම පාෂාණයෙන් නිමවා ඇති නිසා ශෛලාසනය වී තිබේ. එය එසේ වුවද මිහිපිට යම් පින්වන්තයෙකුට දුකක් කරදරයක් වේ නම් එය වෙඬරු මෙන් උණු වෙන්නට පටන් ගන්නේය. ඒ අනුව ඔහු දුකට පත් පුද්ගලයා සොයා මිහිකතට බසින්නේය.  


සක් දෙවිඳුට ඇස් දහසක් ඇති නිසා දසැස් නමින්ද හඳුන්වනු ලබයි. ඔහුට එම ඇස් දහසින්ම සියලු ලෝක විනිවිද යන සේ බැලුම් හෙළීමට හැකි බව කියැවෙයි. පෙරදිග වාසීන්ගෙන් (විශේෂයෙන්ම බොදු) වැඳුම් පිදුම් ලබන එකම දෙවියෙකුටවත් ඇස් දහසක් නැත්තේය. වැඳුම් පිදුම් නොලැබුවද ඔහුට ඇස් දහසක් ලැබීමේ කතා පුවතද ඉතාමත් රසවත් ය.  


ඉතාමත් ඈත අතීතයේ විසූ ගෞතම නම් සෘෂිවරයාට රූමත් බිරිඳක සිටියේ ය. ඇය අහල්යා නම් වූවා ය. දිනක් කිසියම් අවශ්‍යතාවයක් සඳහා හිමාල වනයට ගිය සක් දෙවිඳුට අහල්යා කුමරිය මුණගැසුණේ අහම්බෙනි. රූමත්, එසේම මනා සිරුරකින් හෙබි ශක්‍ර දේවේන්ද්‍රයාගේ නෙත් හමුවේ වශීකෘත වූ අහල්යා කුමරිය ඔහු හා තහනම් ප්‍රේමයකට මුල පිරුවා ය. එහි ප්‍රතිඵලයක් ලෙසට ටික දිනකින්ම ඔවුහු අසහාය පෙම්වතුන් වූහ. නමුත් මේ කිසිවක් අහල්යාගේ ස්වාමියා වූ ප්‍රතාපවත් ගෞතම සෘෂිවරයා දැන සිටියේ නැත.  


ඔවුන්ගේ ප්‍රේමය අමරණීයත්වයට පත්කර ගැනීමට ඔවුන් දෙපළටම අවශ්‍ය විය. දෙදෙනාගේ ම හදවත් තුළ කායික ආශාවන් සතපවා ගැනීමේ ආශාව නලියමින් නැගී සිටියේ ය. එහෙත් ඊට අහල්යාගේ අසපුවෙහි ඉඩක් සහ වේලාවක් නැත්තේ ය. සෘෂිවරයා හැම විටම අසපුවේ හෝ ඒ අවට සිටින නිසා ය.  


ගෞතම සෘෂි සෑම දිනකම අලුයම් කාලයෙහි ශිව දෙවියන් (ශිව ලිංගය) වැඳීමට යයි. ගංගා නම් ගඟින් නා පිරිසිදු වී පළමු කුකුළා හඬලන පිණිබර අලුයම් වේලාවෙහි ය ඔහු ඒ සඳහා පිටත්වන්නේ. මේ සිද්ධිය ශක්‍රයා හොඳින්ම දැන සිටියේ ය. එය හා සම්බන්ධ වැඩි විස්තර අහල්යා විසින්ම සක් දෙවිඳුට කියන්නටත් ඇත. කෙසේ නමුත් මේ කාරණා කාරණා දැනගත් ශක්‍රයා දිනක් කුකුළු වෙස්ගෙන ගෞතම සෘෂිවරයා වෙසෙන අසපුව අසළ ගසක සැඟවී සිටියේ ය. මැදියම් රැය ගෙවුණා පමණි. ගසේ ලැග සිටි කුකුළා (ශක්‍රයා) හඬලන්නට පටන් ගත්තේ ය. සුව නින්දේ සිටි ගෞතම සෘෂිවරයාට කුකුළා හඬලන හඬින් අලුයම් කාලය ළඟාවී ඇතැයි සිතී වහ වහා අසපුවෙන් පිටවී දේව මෙහෙය සඳහා යන්නට ගියේ ය.  


ඔහු පිටව ගියා සමගම අසපුවෙහි තවත් කුටියක නිදා සිටි අහල්යා කුමරිය අසළට ගොස් කුකුළු වෙස් හැර නියම ස්වභාවය ගත් ශක්‍රයා එතෙක් කල් ඔවුනොවුන් අපේක්ෂා කරගත් ආශාවන් මුදුන්පත් කරගත්තේ ය. ඔවුන්ට මුළු ලෝකයම අමතක වූවා සේ ය. නොතිත් ආශාවන් මැද උනුන් එකම යහනේ සුවසේ නිදිදෙව් දුවට තුරුලු වූහ.  


ශිව දෙවියන් වන්දනාවට ගිය සෘෂිවරයා අහසේ පායා තිබුණ තරු රාශි අනුව වේලාව වැරදී ඇතැයි සිතුවේ ය. ඒ නිසාම ඔහු ආපසු අසපුව වෙතට පැමිණියේ තමාට නියමිත වේලාව වැරදුණේ කුමක් නිසා ද යන්න සිතමින් ය. තම කුටියට ඇතුළුවන විට ඔහුගේ ඇස් අදහාගත නොහෙන සේ තම බිරිඳ ශක්‍රයා සමග යහන්ගතව සිටින බැව් දුටුවේ ය. කෝපයේ ඉමක් කොණක් නුදුටු සෘෂිවරයා මේ සියල්ලටම මුල චපල වූ ගති ඇති අහල්යා යැයි කියා එක් සැණෙකින්ම ඇය ගල්වීමට ශාප කළේ ය.  


එයින් ම ඇය නොසෙල්වෙන ගල්කුළක් බවට පත්වූ අතර අනුන්ගේ බිරියන් හා රහස් ආලය පා රහස් සේවනයට පැමිණීමේ වරදට ශක්‍රයාගේ මුළු සිරුර පුරාම ස්ත්‍රී යෝනි දහසක් මැවේවායි ශාප කළේ ය. එයින්ම ශක්‍රයාගේ සිරුර පුරා ස්ත්‍රී යෝනි දහසක් පහළ විය. මනා රූ සපුවකින් පිරි සිරුර පුරා ස්ත්‍රී යෝනි දහසක් පහළවීම හා තමන්ට දෙව්ලොව බලා යෑමට නුපුළුවන් වී හඬා වැටෙන්නට පටන් ගත්​තේ ය.  


දේව සභාව මුලසුනට සිරුර පුරා යෝනි තබාගෙන යාගත නොහැකි යයි සෝබරව ගෞතම සෘෂිවරයාගේ දෙපා අල්ලාගෙන ශක්‍ර දිව්‍ය රාජයා හඬන්නට පටන්ගෙන තමාට සමාව දී මෙයින් නිදහසක් ලබාදෙන ලෙස තවදුරටත් වැඳ වැඳම ඉල්ලා සිටියේ ය. දේව සභාවේ ප්‍රමුඛයා නිසාත්, සමාව පතා දෙපා වැඳ අයැදීම නිසාත් කේන්තිය පහකරගත් සෘෂිවරයා ශක්‍රයාගේ සිරුර පුරා විසිරී තිබුණ ස්ත්‍රී යෝනි දහස ඇස් දහසක් බවට පත්වේවායි අදිටන් කළෙන් එය එසේ ම ඉටුවිය.  


එතැන් පටන් ශක්‍රයාට ඇස් දහසක් ම හිමිවිය. තවදුරටත් ඔහු එලොව මෙලොව නෙත් යොමා බලා වදාරන්නේ යෝනි දහසකින් උපන් ඇස් දහසින් ය. සැක්කරයාටවත් දැන් එය වෙනස් කළ නොහැක්කේ ම ය.  

 


ද වන්ඩර් දැට් වෝස් ඉන්ඩියා ඇසුරෙනි.  


නිකවැරටිය  
උබේසේකර කුමාරසිංහ