සලරුවක කතාව

 බණ්ඩා සහ මාලිනී (බර්නාඩ් පෙරේරා හා නන්දා ලීලානායක) 

 

‘ඉන්දියානු පරිසරයක ඉන්දියානු නිෂ්පාදනාගාරයක. ඉන්දියානු නිෂ්පාදකයින් විසින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඊනියා සිංහල චිත්‍රපටි අතර ලංකාවේ පරිසරයක ලංකාවේ නිෂ්පාදනාගාරයක ලංකාවේ නිෂ්පාදකයින් විසින් ලංකාවේ සාර්ථක ලෙස නිෂ්පාදනය කරන ලද ප්‍රථම සිංහල චිත්‍රපටිය වූ ‘බණ්ඩා නගරයට පැමිණීම උසස් කටයුත්තක් ඉටු කිරීමට දැරූ මහඟු ප්‍රයත්නයක සතුටුද‌ායක ප්‍රතිඵලයකි.’ 


ලංකාවේ තිරගත වූ 14 වැනි කතානාද සිංහල චිත්‍රපටය වූ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටය 1952 මැයි 04 වෙනිද‌ා ප්‍රදර්ශනය වීමෙන් පසු එකල ‘ඉරිද‌ා ලංකාදීප’ පත්‍රයේ ධර්ම ශ්‍රී (ප්‍රවෘත්ති කර්තෘ ධර්මසිරි ජයකොඩි) ඉහත කී සටහන ලියා තිබුණි. 


‘බණ්ඩා නගරයට පැමිණීම’ ලංකාවේ මුල්වරට පිහිට වූ කඳ‌ානේ සුන්දර චිත්‍රාගාරයේ බිහි වූ ප්‍රථම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ පසුබිම් කතාව ද රසවත් එකකි. එහි නිශ්ශබ්ද වීරයා ජෝසප් සෙනෙවිරත්න නම් ග්‍රැමෆෝන් යුගයේ ගායකයකු මෙන්ම වේදිකා නාට්‍ය නළුවකු ලෙස (පිටිසර මම්මා, සැඟවුණු ආලය, උඩරට පෙරළිය, දුම්බර පැංචා, හිතුමතය, අවසාන හසුන, දොම්පේ ආයා, සූටි ගමරාළ හා රයිගම් බණ්ඩා) ජනප්‍රිය පුංචි මිනිසෙකි. 
 ජෝශප් ගේ පියා මෝදර කොන්ත්‍රාත් වැඩ මහා පරිමාණයෙන් කළ කෙනෙකි. තාත්තාගේ වැඩවලට ජෝශප් උදව් කළත් හිත තිබුණේ චිත්‍රපට කලාව ගැන ඉන්දියාවට ගොස් ඉගෙනීමටය. මාසයේ අන්තිමට සේවකයන්ට පඩි ගෙවීමට පියා විසින් දෙන ලද චෙක්පත බැංකුවෙන් මාරු කරගත් ජෝශප් නතර වූයේ මදුරාසියට ගොස්ය. මදුරා නගරයේ ස්ටාර් කොම්බයින් ස්ටුඩියෝවට ජෝශප් ගියේ පෙරෙයිරා නම් දන්නා හඳුනන කෙනෙකුගේ මාර්ගයෙනි. චිත්‍රාගාරය අතුගෑමෙන් පටන් ගෙන, සංස්කරණය, කැමරා ගැනත් නිෂ්පාදන අංශය ගැනත් අවබෝධයක් ලබාගත් ඔහු ලංකාවට ආවේ ‘කොහොම හරි චිත්‍රපටයක් නිපදවනවා.’ යන බලාපොරොත්තුව ඇතුවය. 
විකට චිත්‍රපටයකට සුදුසු කතා පිටපතක් ජෝශප් ලියා තිබුණි. මේ 1948 වසරය. දවසක් ​ෙජා්ශප් කැලණිය පැත්තේ සාදයක විකට ගීතයකුත් කියමින් ඉළ ඇට කැඩෙන විකට ජවනිකාවක් ඉදිරිපත් කරනු බලා සිටි ද්‍රවිඩ මහත්තයෙක් ඔහු සමඟ කතාවට වැටුණේය. 


 ‘මගෙ ගාව චිත්‍රපටයකට හරියන විකට කතාවක් තියෙනවා.’ ජෝශප් කතාවට වැටුණේය. 


‘උඹ උත්සාහවන්ත මිනිහෙක් බව පෙනෙනවා. මම උඹට උදව් කරන්නම්. මගේ නම රාමනාදන්. මගේ අයියා තමයි ලංකාවේ පළවැනි සිංහල චිත්‍රපටිය හදපු නායගම්.’ 


‘අනේ සර්, මම නායගම් මහත්තයා ගැන අහල තියෙනවා. අපිට ඉන්දියාවට යන්න ඕනෑ නෑ. අපි මෙහෙ චිත්‍රාගාරයක් පටන් ගනිමු. මම මාස හයක් එහේ ස්ටුඩියක වැඩ කරලා වැඩ දන්නවා. ඒ ඉන්න කාර්මික ශිල්පියොත් මගේ යාළුවෝ.’ ජෝශප් කතාවෙන් අපූරු චිත්‍රයක් මැවීය. 


 පසුවද‌ා ජෝසප්, රාමනාදන් සමඟ නායගම් හමු වී මේ යෝජනාව කළේය. 


‘රාමනාදන් උඹට පිස්සුද? මේ කොල්ලට පුළුවන් ද ලංකාවේ චිත්‍රපට ස්ටුඩියෝවක් හදන්න?’ නායගම්, රාමනාදන්ට කීවේ උපහාසයෙන්. 


 ජෝශප්ගේ සිත සවුත්තු විය. ඔහු බලාපොරොත්තු සුන්කර ගෙන යන්නට හැරුණේය. නායගම් අත්පුඩි ගසා කතා කළේය. 


 ‘මම උඹේ උත්සාහය අගය කරනවා. මේ රුපියල් 500 අරගෙන වැඩේ පටන් ගනින්.’ නායගම් කීවේය. 


මේ කතාවේ ඉතිරි හරිය මට ජෝශප් සෙනෙවිරත්න වරක් කීවේ මෙසේය. 


 ‘ඒ කාලේ රුපියල් 500ක් කියන්නේ ලොකු මුදලක්. මට දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම හැම තැනම ඉඩම් සෙව්වා. අන්තිමේදී අද කඳානේ පොලිසියට යාබද අක්කරයක ඉඩමක් ගත්තා. හැබැයි පරහකට තිබුණේ ඉඩමේ පස් කන්දක්. ඔන්න නායගම් හා රාමනාදන් මහත්වරු ඉඩම බලන්න ආවා. 


‘උඹ පිස්සෙක්. මේ කන්දත් එක්ක හදන ස්ටුඩියෝව මොකක්ද?’ නායගම් මහත්තයා ඔළුවේ අත තියා ගත්තා. 


‘සර් මට මාසයක් කල් දෙන්න. මම මේ ඉඩම සකස් කරලා දෙන්නම්.’ මම පින්සෙන්ඩු වුණා. 


ඒ කාලේ අද කැලණිතිස්ස බලාගාරය ඉදිකළ තැනට වෙලක් තෝරාගෙන තිබුණා ඔරුගොඩවත්තට කිට්ටුව. මේ වෙල ගොඩ කරන්න මගේ යාළුවෙකුට පස් ඕනෑ කරලා තිබුණා. කඳ‌ානේ ඉඩමේ පස් කන්ද කපලා ඒකේ පස් මම ඔහුට දුන්නා කියුබ් එක ශත 25 ගණනේ. අද තියෙන කැලණි තිස්ස විදුලි බලාගාරය ඉදිවුණේ කඳ‌ානේ ඉඩමේ පස්වලින්. 


 සමතලා ඉඩම දැක්කම නායගම් මහත්තයා සතුටු වුණා එතැන චිත්‍රාගාරයක් හදන්න. මේ අතර මම වැඩ ඉගෙන ගත්තු මදුරෙයි හි චිත්‍රාගාරය බංකොළොත් වෙලා වෙන්දේසියේ දමන බව ආරංචි වුණා. 


‘මිස්ටර් රාමනාදන් අපි මදුරාසියට ගිහින් ඒකේ කැමරාවයි, සවුන්ඩ් බඩු ටිකයි ගම්මුද?’ මම යෝජනා කළා. 


නායගම් මහත්තයා මල්ලිටයි මටයි මදුරාසියට යන්න කිව්වා. 


අපි මදුරෙයි නගරයට ගිහින් ඒ චිත්‍රාගාරයේ කැමරා, ශබ්ද උපකරණ, වගේම කාර්මිකයොත් ලබා ගත්තා. මුළු වියදම රුපියල් 75,000 යි. ඒ චිත්‍රාගාරයෙන් ආපු කඩම්ෂාඩ් රසායනාගාරය භාරවත්, මානි කැමරාව භාරවත්, ඇස්. රාමමුර්ති සහ පාර්තසාති කලා අධ්‍යක්ෂවරු ලෙසත් අපේ කඳානේ චිත්‍රාගාරයේ සේවයට ආවා. නායගම් මහත්තයා කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය පටන් අරන් ලංකාවේ චිත්‍රාගාරයක නිෂ්පාදනය කළ මුල්ම චිත්‍රපටය හැටියට 1951 වසරේ රූගත කිරීම් ආරම්භ කළා. 


ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම වාණිජ චිත්‍රාගාරයේ වැඩ නිම කළ පළමු චිත්‍රපටය ‘බණ්ඩා නගරයට පැමිණීම’ යි. මෙහි සියලුම දර්ශන 100% ලංකාවේ දර්ශන ගැනීම හා කාර්මික කටයුතු කළ මුල්ම චිත්‍රපටය මෙය බවත්, ලාංකික සිනමා කාර්මිකයන් සිංහල වෘතාන්ත චිත්‍රපටයක කාර්මික කටයුතුවලට සහභාගි වූ පළමු අවස්ථාව මෙය බවත් සිරි අබේසේකර සහ ගාමිණී ගුණතිලක OCIC වාර්ෂිකයක සඳහන් කර තිබුණි. 


හාස්‍යමය කතා පුවතක් මුළුමනින්ම වස්තු කොට ගත් ප්‍රථම චිත්‍රපටය ද ‘බණ්ඩා නගරයට පැමිණීම’ ය. මෙහි මුල් අධ්‍යක්ෂණය සඳහා කාශ්මීර ජාතික රාජ් වහාබ් කැඳවූ අතර මතභේදයක් නිසා ඔහු ගිය පසු අධ්‍යක්ෂවරයා වූයේ ඒ.බී. රාජ් ය. 


 මේ චිත්‍රපටයට පසුබිම් වූ කතාව 1940 ලංකාවේ ජනප්‍රිය වූ ‘තුම්පනේ බණ්ඩා හා කොළඹ අප්පුහාමි’. එම නාට්‍යයේ අයිතිකරු මරද‌ානේ වින්ස් ඡායාරූප ශාලාව හිමි ටී.ඩී. පියද‌ාස ගෙන් මිලයට ගෙන තිබුණි. නාට්‍යය නිෂ්පාදක පියද‌ාස ගේ මේ නාට්‍යය 1939 වසරේ සාර්ථකව ලංකාවේ වේදිකා ගත වූ බවත් එද‌ා ඒ නාට්‍යයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ ලිව්නීස් පෙරේරා බවත් මර්සලීනු ඇල්බට් ගීත ප්‍රබන්ධය කර තිබූ ගීතමය දර්ශන තමා නැරඹූ බව 1947 ලංකාදීප කර්තෘ මණ්ඩලයේ මුල්ම සාමාජිකයකුව සිටි නාට්‍ය රචක ඩී.වී. සෙනෙවිරත්න මහතා ලියා තිබුණි. 


 එද‌ා වේදිකාවේ ප්‍රධාන චරිත රඟපා ඇත්තේ වින්සන්ට් වීරසේකර හා බර්නාඩ් පෙරේරාය. මේ නාට්‍යය සඳහා ආභාසය ලබාගෙන ඇත්තේ තිස්ගණන්වල තිරගත වූ ‘මිසටර් ඩීඩස් ගෝස් ටු ටවුන්’ (Mr Deedas Goes to Town) චිත්‍රපටයෙන් බවට ඩී.වී. සෙනෙවිරත්න ලියා තිබුණි. 

 


 ​ෙජා්සප් සෙනෙවිරත්න මට කියා ඇත්තේ (2007 කළ පුවත්පත් සාකච්ඡාවකදී) ‘කොළම ආ බණ්ඩා’ නම තමා විසින් යෝජනා කොට එහි චිත්‍රපට කතාව ලියූ බවය. නායගම් මහතාට චිත්‍රපටයක් කිරීමට යෝජනා කළේ ඒ පිටපත බවය. මේ කතා පිටපත යූ.ඩී. පෙරේරා මාස්ටර් සුද්ධ කළ බවයි. පසුව හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් ද කතාවේ සංශෝධන කර ඇත. හියුගෝ චිත්‍රපටයේ දෙබස් අපූරුවට සකස් කර දී අධ්‍යක්ෂක ඒ.බී. රාජ්ට සිංහල භාෂාවත් ඉගැන් වූ බව ඔහු මට කීවේය. වැඩිදුරටත් එද‌‌ා ඔහු මෙසේ ද කීය. 


‘කොළඹ ආ බණ්ඩා නමින් තිබූ චිත්‍රපට කතාව Banda Cames to Twon- .‘බණ්ඩා නගරයට පැමිණීම.’ කියලා වෙනස් කළේ නායගම් මහත්තයා. හියුගෝ මාස්ටර් දෙබස් සකස් කරලා ගීත ප්‍රබන්ධයත් කළා. ඉන්දියාවෙන් සංගීත අධ්‍යක්ෂවරයෙක් ලංකාවට මුල් වරට ආවේ කඳානේ චිත්‍රාගාරයට. ඒ කඩවුණු පොරොන්දුව චිත්‍රපටය සඳහා ඉන්දියාවේ සංගීතය මෙහෙය වූ මලයාලම් ජාතික නාරායන අයියර්. ඔහුගේ සහාය අධ්‍යක්ෂ හැටියට ලංකාවේ සිටිය ආර්. මුත්තුසාමි මාස්ටර්ව නායගම් මහතා යෙදෙව්වා. 


 මේ චිත්‍රපටයේ ගීත ගායනා කළේ වසන්තා සන්දනායක, රුද්‍රානි ලියනගේ හා ජිනද‌ාස ගුණසේකර (පියද‌ාස ගුණසේකරගේ වැඩිමහල් සොහොයුරා) ජීවා සහ මම. චිත්‍රපටයේ කැමරාව බී.එස්. මානියම් සමඟ ලංකාවේ ඇම්.ඩී. සුමනසේකර හා හෙන්රි ප්‍රනාන්දු, ශබ්ද පරිපාලකයන් ලෙස ලංකාවේ වෝල්ටර් පී. ජයතිලක හා පී.එන්. පෙරේරා සහාය වුණා.’ 


චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ මෙසේය. 


තුම්පනේ එක්තරා ගැමි යුවළකට පුතෙකු සිටියේය. පියාගේ නම නිළමේය. මව මැණිකේ වූ අතර පුතා බණ්ඩා නම් විය. උඩරට විසූ සටකපට කම් නාඳුනන මිනිසුන් වූ ඔවුන්ට කදිම අදහසක් පහළ විණ. කොළඹ දැකීමට දොළ දුකකි. ඒ හෝ ගාන පොකුණ සත්තු වත්ත, කටුගේ, ට්‍රෑම් කාර්, සිංහාසනය, පාර්ලිමේන්තුව ආදී නගරයේ විසිතුරු දැකීමය ඒ. දිනයක් නියම කරගත් ඔවුහු තිදෙනා කොළඹ පැමිණියහ. අරුම පුදුම දේ නරඹමින් ‘ගොඩේ ගතිය’ පෑ මේ තිදෙනාට කොළඹ ප්‍රකට ගැටකපන්නෙකු වූ කොළඹ අප්පුහාමි හමුවෙයි. 


ගාල්ලේ ඉපිද, හම්බන්තොට ලුණු කා, උඩරට පොඩි කඩයක් ද‌ා ගෙන සිටි කොළඹ අප්පුහාමි කොටු අටම පැන්න කට්ටයෙකි. මොහු නිලමේටත්, මැණිකේටත්, බණ්ඩාටත් කොළඹ නොයෙක් විසිතුරු පෙන්වමින් නිලමේගේ සාක්කුවට බැසීමට වැඩි වේලාවක් ගත්තේ නැත. තම මුදල් පසුම්බිය නැති වී ඇති බව දුටු නිලමේට දවල් තරු පෙනින. බොරු ආදරයක් මවා පෑ කොළඹ අප්පුහාමි මුදලක් නිලමේ අත තැබීය. තමාට කළ උදව්වට මුව නොසෑහෙන සේ ස්තූති කොට තුම්පනේට එන ලෙස ආරාධනය කළේය. 


පසුදිනම කොළඹ අප්පුහාමි තුම්පනේ බලා පැමිණියෙන් නිලමේලා උපරිම ලෙස ඔහුට සංග්‍රහ සත්කාර පැවැත්වූහ. කොළඹ දී ගත් මුදල් ද නැවත දෙන ලදී. නිලමේගේ පුතා බණ්ඩා කොළඹ ගෙන ගොස් ඉංග්‍රීසි ඉගැන්වීමට තමාට බාර දෙන මෙන් අප්පුහාමි කළ යෝජනාවට නිලමේලා එකඟ වූහ. බණ්ඩා නගරයට පැමිණියේ ඔය ආකාරයටය. 


 අප්පුහාමිගේ ගෙදර නිතර යන එන සිල්වා බ්‍රෝකර් කෙනෙකි. මෝඩ මනමාලයකු ඔහු රවටා මඟුල් ජෝඩු කිරීමට අප්පුහාමි සමත් වූ අතර සිල්වාගේ සියලු දේ කොල්ලකා ගත්තේය. අප්පුහාමිගේ බිරිඳ මිසිනෝනා ද සිල්වාට බොරු ආදරයක් පෙන්වා ඉණ අතපත ගා ගත්තාය. කොළඹ ආ බණ්ඩාට ඉංග්‍රීසි ඉගැන්වීමට අප්පුහාමි පැවරුවේ නෝබට්ටය. ඔහු බණ්ඩාට කොළඹට ගැළපෙන ලෙස ජීවත් වීමේ කලාව ද ඉගැන්වූයේ අසීරුවෙනි. හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑම කන හැටි ඉගෙනීමට ගිය බණ්ඩා නහය කට තුවාල කර ගත්තේය. දිනක් වික්ටෝරිය පාක් එකට නෝබට් බණ්ඩා රැගෙන ගිය අවස්ථාවක යුවළක් එකිනෙකා සිප ගනු දැක. ‘අන්න අර පැංචා පැංචිගෙ මුණ හපා කනෝ.’ යි වෙව්ලමින් බණ්ඩා කෑගැසුවේය. 


කොළඹ අප්පුහාමි බණ්ඩාට ඉංග්‍රීසි හා සිරිත් විරිත් ඉගැන්වීමට කියමින් නිලමේ ගෙන් මුදල් ලබා ගත්තේය. ඒ අතර බණ්ඩාට ධනවත් තරුණියක වූ මාලිනීව ජොඩු කළේය. මාලිනී බොරු කොණ්ඩයක් දමා ගත් හිසකේ නැති තරුණියක බව දන්නෝ දනිති. බණ්ඩා මාලිනිට ආදරය කළේය. බණ්ඩා දැන් පෙම් කිරීමට උගනියි. ‘හලෝ මයි ඩාලිං මාලිනි.’ කියා ඔහු ඇය අමතයි. අප්පුහාමි මේ මඟුල ලෑස්ති කොට බණ්ඩාට කලිසන් කෝට් අන්දවා තුම්පනේ පිටත් කරන්නේ පියාගෙන් මුදල් රැගෙන ඒමටය. තම පුතාගේ දියුණුව ඇඳුමෙන් හා කතා බහෙන් වටහා ගත් මාපියෝ සතුටට පත්වෙති. 


‘තාත්තේ හෙට දවල් දොළහට පරණ රුපියල් 10 නෝට්ටු ආණ්ඩුව අවලංගු කරන්න යනවා. ගෙදර තියෙන 10 නෝට්ටු ටික මට දෙන්න.’ බණ්ඩා පියාට කීය. 


 නිලමේ ගෙදර තිබූ රුපියල් 10 නෝට්ටු මිටි බෑගයක දමා පුතාට දෙයි. එතැන රුපියල් 70,000 ක් පමණ විය. 


 නිලමේ රවටා අප්පුහාමි මුදල් වංචා කරන බව සිල්වා විසින් නිලමේට දන්වා යවයි. දෙළොව රත් වූ නිලමේ හා මැණිකේ ඉක්මනින් කොළඹට එති. ඔවුන්ට දක්නට ලැබුණේ තම පුතුගේ මඟුල් ගෙදරය. ඔවුහු මඟුල් ගෙදර මහා පෙරළියක් කළහ. මේ අතර හොර බඩු වගයක් සොරකම් කිරීමේ වරදට කොළඹ අප්පුහාමි පොලිසිය විසින් සිරභාරයට ගන්නා ලදී. 


 ‘තාත්තේ බයවෙන්න එපා. මම ගෙදරින් ගෙනා ඔක්කොම සල්ලි ආරක්ෂා කරගෙන තියෙන්නේ.’ බණ්ඩා දෙමාපියන්ට කියයි. 


කොණ්ඩය නැතත් බොරු කොණ්ඩයකින් සැරසී සිටි අහිංසක තරුණිය විවාහ කරගැනීමට බණ්ඩා කැමැති වෙයි. 


 උඩරට ගම්බද පවුලක් කොළඹ කපටියකුගේ උගුලේ අසුවුණු සැටිත්, අවසානයේ දී ඒ පවුල විනාශ මුඛයෙන් ඔන්න මෙන්න කියා තිබිය දී ගැලවුණු සැටිත් හාස්‍ය රසයෙන් පිරුණු කතා පුවතක් ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයෙන් කියවෙන බව ‘ජනතා’ පත්‍රයේ රාජා තිලකරත්න ලියා තිබුණි. 


කොළඹ අප්පුහාමි ලෙස ජෝශප් සෙනෙවිරත්නත්, බණ්ඩා ලෙස බර්නාඩ් පෙරේරාත්, මාලිනී ලෙස නන්ද‌ා ලීලනායකත් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටයේ මාලිනී රණසිංහ, සිසිර කුමාර මානික්ක ආරච්චි, පියසීලි ෆොන්සේකා, රංජනා ආරියවංශ, බර්ටි ගුණතිලක, හියුගෝ ප්‍රනාන්දු, ප්‍රේමා අමරලතා, ඩබ්ලිව්. දෙ‌ාන් එඩ්වඩ්, ජෝසප් රොජර්, චාන්දනී ගුණතිලක, ස්ටැන්ලි ආරියවංශ, කේ.ඩී. සෙබෙස්තියන්, ආර්.ජේ. පෙරේරා, ටී.එච්. කුරේ, ඩැල්මන් ද සිල්වා, ඇම්.පී. ඩයස් රඟපා ඇත. 

 


 මේ චිත්‍රපටයට ගීත 11 ක් ඇතුළත් වුවත් එකම ගීතයක්වත් ජනප්‍රිය නොවූ බවත් ගී තනු අනුකරණාත්මක බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ පවසති. ඒ ගීත මෙසේය. 


 1. සැරද සිරි සාරා සිරිනි මනහාරා (මංගල ගීතය), 2. දම් තත් දිම් තරිකිට තක පදය යොදලා (අප්පා, මීසෝ, නෝබට්, නෝනා), 3. ආයි අප්පා අප්පා කොළඹ පුරේ. (බණ්ඩාරගේ හුදකලා ගීතය), 4. ගොනේ ගොනේ (බණ්ඩාගේ හුදකලා ගීතය), 5. හෝ ඩාලිං ශ්‍රියාවි මාලිනි මැණිකේ (බණ්ඩා සහ මාලිනි), 6. නංගි නංගී එන්ඩ මල්ලී (බුලත්විට වෙළෙන්ද‌ාගේ හුදකලා ගීතය), 7. සල්ලි සල්ලි හුඟයි මේ සැරෙ (මීසෝ සහ අප්පුහාමිගේ යුග ගීතය), 8. අයිසේ මැරී මී ඕ ඩයරි (මාලිනි සහ ලියෝගේ යුග ගීතය) 9. මාව රවටලා පෙන්වන ආලේ (මාලිනිගේ හුදකලා ගීතය), 10. ශ්‍රී කමලාපති (ඩාන්ස් ගීතය), අන්ධකාරේ (අන්ධ ගායකයාගේ ගීතය) 


ලංකාවේ ඉදිකළ පළමුවැනි වාණිජ චිත්‍රාගාරයේ වැඩ නිම වූ ප්‍රථම සිංහල චිත්‍රපටය මෙන්ම ලංකාවේ සියයට සියයක් දර්ශන රූගත කළ එහි කාර්මික කටයුතු සිදුකළ චිත්‍රපටය ලෙස ‘බණ්ඩා නගරයට පැමිණීම’ ඉතිහාසයට එක්වෙන අතර මේ සියලුම කටයුතුවල නිහඬ වීරයා වූ ජෝශප් සෙනෙවිරත්නට ශ්‍රී මුරුගන් නවකලා සමාගමේ නිෂ්පාදක හා සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ අධිපති එස්.එම්. නායගම් රු. 750 කට බියුක් වර්ගයේ මෝටර් රථයක් ලබා දුන් බව ජෝශප් මට කියා ඇත. 


 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ මාලිනී ලෙස රඟ පෑ ශ්‍යාමලී නන්දා ලීලනායක පවසා තිබුණේ තමාට මේ චිත්‍රපටයේ රඟපෑමට මසකට රුපියල් තුන්සීයක් හාරසීයක් අතර වැටුපක් ලැබුණු බවය. 


විහිළු චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටයට විශාල ප්‍රචාරයක් ලබා දෙන ලදී. ‘ගොඩේ පිටිසරයකු පිළිබඳ දීප්තිමත් සිංහල විහිළු කතාන්තරය’ එහි තේමා පාඨය විය. මරදානේ එල්පින්ස්ටන්, වැල්ලවත්තේ රොක්සි, මීගමුවේ අශෝකමාලා, මහනුවර රීගල්, මරදානේ ටවර්, පංචිකාවත්තේ කැපිටෝල්, මහනුවර බෝගම්බර, තිඹිරිගස්යායේ පරාක්‍රම. බලන්ගොඩ ලක්ෂ්මී සිනමාහල්වල ප්‍රදර්ශන විය. 


මේ චිත්‍රපටයට හියුගෝව හඳුන්වා දෙන්නේ ජෝශප් සෙනෙවිරත්න විසිනි. හියුගෝ උදේ 8 සිට සවස 5 දක්වා දෙබස් පරික්ෂා කර ගීත ලිවීමට. කළ සේවයට රු. 500 ක් ඉල්ලා ඇත. 


 ‘මොකද? ජෝශප්, හියුගෝ මෙපමණ මුදලක් ඉල්ලන්නේ’ නායගම් අසා ඇත. 


 ‘සර් මෙයා ඊටත් වඩා වටින මිනිහෙක්.’ 


‘අපි එයාට රු. 350 ක් දෙමු.’ 


රැකියාවක් නැතිව සිටි හියුගෝ එයට කැමැතිවී ඇත. 


 පත්‍රකලාවේදියකු වූ සිසිර කුමාර මානික්කආරච්චි මුලින්ම නළුවකු වූයේ මේ චිත්‍රපටයෙනි. ඔහු උපහාසයෙන් පිරි සිල්වාගේ චරිතය රඟ පා ඇත. කොළඹ හාමිනේ ලෙස චරිතය රඟ පෑ රංජනා ආරියවංශ හා ස්ටැන්ලි ආරියවංශ රංගන ශිල්පිනී සමදරා ආරියවංශගේ දෙමාපියන්ය. 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර 
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්