IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලක්දිව සංගීතය බැබළවූ ගාන්ධර්වයෝ

සිංහල සංගීතයට ඉතිහාසයක් ගොඩනැගීමෙහි ලා අත්‍යන්තයෙන් දුෂ්කර වූ ප්‍රයත්නයක අඛණ්ඩව නිරත ව සිටින මහාචාර්ය සුනිල් ආරියරත්න පසුගියදා සිය අභිනව ශාස්ත්‍රීය සම්ප්‍රදානය රසික ජන සංඝය වෙත ඉදිරිපත් කළේ ය. ඒ, මීට විසිතුන් වසරකට පූර්වයෙහි තමා විසින් ප්‍රාරබ්ධ ‘ගාන්ධර්ව අපදාන’ නමින් ප්‍රකාශිත ග්‍රන්ථකරණ කාර්යයෙහි ද්විතීය අදියර සලකුණු කරමිනි.   


 ‘ගාන්ධර්ව අපදාන’ යන නාම ශීර්ෂය යටතේ මහාචාර්ය ආරියරත්න රසිකයා හමුවට ගෙන ආවේ සිංහල ගීතයට හා සංගීතයට සුවිශිෂ්ට සේවාවක් ඉෂ්ට කළ සංගීතඥයන්ගේ ජීවිතය හා ඔවුන් විසින් නිර්මිත කෘතීන් පිළිබඳ විවරණ මාලාවකි.   


‘ගාන්ධර්ව අපදාන’ ප්‍රථම අදියරට අයත් ග්‍රන්ථ පහක් ඔහු වැය කළේ මොහොමඩ් ගවුස්, බී. එස්. පෙරේරා, ආර්. මුත්තුසාමි, ඇම්.කේ රොක්සාමි, එඩ්වින් සමරදිවාකර, ආර්. ඒ. චන්ද්‍රසේන, සෝමදාස ඇල්විටිගල, පී. ඩන්ස්ටන් ද සිල්වා, පී. එල්. ඒ. සෝමපාල හා මොහොමඩ් සාලි යන සංගීතඥයන් පිළිබඳ අපදාන කථා වෙනුවෙනි. තමා දරන ප්‍රයත්නයෙහි අධ්‍යාශය කතුවරයාගේ ම වචනවලින් එදා ප්‍රකාශයට පත් වූයේ මෙලෙසිනි.   
“අපේ ගීතය සහ සංගීතය අද පවත්නා තත්ත්වයට පත්කරන්ට ඇප කැප වූ ගාන්ධර්වයෝ බොහෝ වෙත්. ඔවුන් වැඩිදෙනාගේ නම් ගම් අප්‍රකට ය. ඔවුන් කළ කී දෑ සුප්‍රකට වුවත් ඒවායෙහි කර්තෘත්වය අප්‍රකට ය. සැබැවින් ඔවුහු කිත් පැසසුම් නොලබා ම කාලයේ වැලිතලාව තුළ සැඟ ව ගියහ. මිල මුදල් නොලබා ම අනේකවිධ දුක් දොම්නස් අනුභව කළහ. ගරු බුහුමන් නොලබා ම මිය පරලොව ගියහ. පමා වී හෝ ඔවුන්ට අපගේ කෘතවේදිත්වය පළකරනු වස් මේ ගාන්ධර්ව අපදාන පොත් පෙළ සම්පාදනය කරමි. එමගින් අධ්‍යයතන රසික ජනතාවට ඔවුන් හඳුන්වා දෙන්ට ද වැර වඩමි.”   
පූර්වෝක්ත අධ්‍යාශය මත ම පිහිටා සම්පාදිත ග්‍රන්ථ හයකින් සමන්විත ද්විතීය අදියරේ දී සංගීතඥයෝ එකොළොස්දෙනෙක් අප හමුවට පැමිණෙති. ඒ වනාහි, විශ්වනාත් ලෞජී, සාදිරිස් මාස්ටර්, රූපසිංහ මාස්ටර්, ඇම්. ජී. පෙරේරා, ලයනල් එදිරිසිංහ, ඩබ්ලිවී. බී. මකුලොලුව,සී. ද. ඇස්. කුලතිලක, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, ලයනල් අල්ගම හා ඔස්ටින් මුණසිංහ යන සංගීතඥයෝ ය.   


1993 දී මෙන් ම 2020 දී ප්‍රකාශයට පත්වන අභිනව ග්‍රන්ථ මාලාව මගින් ද සිදු වන ප්‍රමුඛතම ශාස්ත්‍රීය සේවාව නම්, නිශ්චිත වංශ කථාවකට හිමිකම් නොකියන සිංහල සංගීතයට එවැන්නක් බිහි කරගැනීම සඳහා වෙසෙසින් උපස්ථම්භක වන දත්ත සම්භාරයක් විධිමත් ලෙස ග්‍රන්ථගත කොට තිබීම ය. සංගෘහිත දත්ත මෙන් ම ලේඛකයා සපයන ප්‍රශස්ත, ප්‍රබුද්ධ විවරණය ද මගින් සිංහල සංගීත වංශය සාරාර්ථයෙන් විපුලිතව පරිපෝෂණය වීම ය. ග්‍රන්ථගත ඉතිහාසයක් පිළිබඳ රික්තයක් පවතින කල එය පුරවාලිය හැක්කේ එකී ඉතිහාසයට අදාළ ප්‍රමුඛ චරිත, සංසිද්ධි හා ප්‍රවණතා ප්‍රතිබද්ධ සකලවිධ තොරතුරු නිවැරදි ව සංග්‍රහ කිරීමෙන් හා පෘථුල පර්යාලෝකයක පිහිටා විශ්ලේෂණය කිරීමෙනි.   
‘අපදාන කථා’ යනු එක් සුවිශේෂ සාහිත්යික ලේඛන ප්‍රවර්ගයකි. රචනා විලාසය හා ආකෘතිය අතින් විවිධ වුවද අපදාන කථාවක කේන්ද්‍රීය ස්වලක්ෂණය වන්නේ ප්‍රස්තුත ජීවන චරිතය, ඊට අදාළ සංසිද්ධීන් ද සමග අනුක්‍රමිකව ප්‍රතිරූපණය කොට දැක්වීම ය. ප්‍රස්තුත චරිතයෙහි ඖදාර්යය හා අනන්‍යතාව කවරාකාරදැයි හඳුනා ගැනීමට එයින් රසිකයාට අවකාශය සැලසෙයි. ඒ සමග ම, එකී චරිතය හා ප්‍රතිබද්ධ සංසිද්ධීන් ආශ්‍රිත ඓතිහාසික තතු ද නිරාවරණය වෙයි.   


අපදාන කථාවක් රචනා කිරීමේ දී ප්‍රස්තුත චරිතය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ය. සුවිශද දෘෂ්ටියකින් අදාළ සංසිද්ධීන් විශ්ලේෂණය කරගත යුතු ය. එවැන්නක් නිවැරදි ව කළ හැක්කේ එම චරිතය ද එහි අනන්‍යතාව හා සුවිශේෂත්වය පිළිබඳ තත්ත්වානුරූප අවබෝධය ද චරිතය විසින් සේවිත විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ පරිචය ද ඇති ශාස්ත්‍රාභිලාෂියකුට ය.   
සිංහල සංගීත ක්‍ෂේත්‍රය හා එහි නූතන අවධිය පිළිබඳ සමීප සේවනයක් හා අන්වේෂණ අභිරුචියක් ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න ඊට එළඹ සිටීම සංගීතකාමී රසිකයන්ගේ භාග්‍යයකි. පන්තිස් වසරක් පුරා විහිදුණු ඔහුගේ ශාස්ත්‍රීය ග්‍රන්ථකරණ කාර්යයෙන් ද ග්‍රන්ථ සංස්කරණ කාර්යයෙන් ද සුවිශාල ප්‍රතිශතයක් වෙන් ව ඇත්තේ සංගීත ක්‍ෂේත්‍රය හා බැඳුණු ග්‍රන්ථ සම්පාදනය වෙනුවෙනි. ‘ගාන්ධර්ව අපදාන’ නමින් ප්‍රකාශිත ග්‍රන්ථාවලිය එකී සංගීත විෂයක ග්‍රන්ථ සම්පාදන කාර්යය තුළ වෙන ම ආකෘතික අනන්‍යතාවකින් හා රම්‍ය ගුණ ලාවණ්‍යයකින් උපලක්ෂිත ව දිලෙයි.   
‘ගාන්ධර්ව අපදාන’ ද්විතීය අදියරට අයත් ප්‍රථම කෘතිය වෙන් ව ඇත්තේ විශ්වනාත් ලෞජී සහ ඔහුගේ අනුප්‍රාප්තික භාරතීය සංගීතඥයන් අලළා කෙරෙන හඳුන්වාදීමක් වෙනුවෙනි. එහිදී සිංහල සංගීත වංශයෙහි සංගීතඥයන් ලෙස හඳුනාගැනෙන කලාකරුවන් පිළිබඳ ව සපයාගත හැකි තතු කවරේදැයි කතුවරයා විමර්ශනය කරයි. 19 වැනි සියවසෙහි සිට විද්‍යමාන නාඩගම් හා තදනන්තර ව බිහිවන නුර්ති යන නාටක විශේෂ සමග ප්‍රතිබද්ධ ව තිබූ නූතන සිංහල ගීතයෙහි ප්‍රාරම්භක අවධිය සලකුණු කරන ‘සින්දු’ සඳහා තනු නිර්මාණය කළ සංගීතඥයන්ගේ නම් අප්‍රකට ය.   


එමෙන් ම, නූතන සංගීත නාට්‍ය කලාවට බරපතළ ලෙස බලපෑ පාර්සී නාට්‍ය මෙරට රඟදැක්වීම ද ඒ වෘත්තීය නාට්‍ය කණ්ඩායම් සතු ව පැවැති නාට්‍යවල කර්ණ රසායන ගීත රාශියක් ශ්‍රවණය කළ හැකි වීම ද සිංහල සංගීත ඉතිහාසය සම්බන්ධ ව දිටිය හැකි වැදගත් ඓතිහාසික සංසිද්ධීන් ලෙස සැලකීමට පුළුවන. මහාචාර්ය සුනිල් ආරියරත්න පෙන්වාදෙන පරිදි ඒ පාර්සි නාට්‍යවලට ඇතුළත් වූ සිය ගණනක් සින්දු ඔස්සේ මෙරටට පැමිණියේ උත්තර භාරතීය සංගීතය යි. එහෙත්, එකී නාට්‍ය කණ්ඩායම් සමග ශ්‍රී ලංකාවට පැමිණි සංගීතඥයකු හෝ තනු නිර්මාණය කළ සංගීතඥයකු හෝ ගැන අසන්ට නොලැබේ. එබැවින් කතුවරයා මෙසමයෙහි සිංහල සංගීතය ‘ගාන්ධර්වයන්ගෙන් තොර සංගීතය’ ලෙස හඳුන්වා තිබේ.   


ඉනික්බිති ව, විශ්වනාත් ලෞජී ලංකාවට පැමිණීම හා ඔහු ජෝන් ද සිල්වාට මුණ ගැසීම පිළිබඳ විස්තරය ‘ප්‍රබන්ධ කථාවක්’ වැනි යැයි සඳහන් කරන්නේ ඇල්. ඩී. ඒ. රත්නායක විසින් රචිත ‘සංගීත ඉතිහාසය’ නමැති කෘතියෙහි ඇතුළත් වාර්තාවක් ආශ්‍රය කරගනිමිනි. ඒ අනුව විශ්වනාත් ලෞජී සහ ජෝන් ද සිල්වා මුල්වරට හමු වී ඇත්තේ 1900 වර්ෂයේ දී හිල්වීදියේ පිහිටි බණ්ඩාරනායක මහ මුදලිතුමාගේ වලව්වේ පැවැති නත්තල් දින ‘සංගීතයක’ දී ය.   
1903 සිට 1909 දක්වා වූ සය වසරක කාලය තුළ විශ්වනාත් ලෞජී විසින් ජෝන් ද සිල්වාගේ නාට්‍ය හයක් සඳහා නිර්මිත 280 ක් වූ ගීත හා රාගතාල පිළිබඳ අගනා වාර්තාවක් ද ලෞජී විසින් සම්පාදිත තනු අනුව ජෝන් ද සිල්වා කළ නිර්මාණ අලළා රචිත සංක්ෂිප්ත විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ඒ අතරින් සිරිසඟබෝ නාට්‍යයෙහි එන ‘දන්නෝ බුදුන්ගේ’ නමැති සුප්‍රකට ගීතයෙහි අග මුල කියාපාන විස්තරය වෙසෙසින් කැපී පෙනේ.   
‘ගාන්ධර්ව අපදාන’ අභිනව ග්‍රන්ථාවලියෙහි දෙවැන්න, නැතහොත් සමස්ත ග්‍රන්ථාවලියෙහි සත්වැන්න සිංහල සංගීත ඉතිහාසයෙහි සුප්‍රකට ‘මාස්ටර්’ ලා දෙදෙනකු වන සාදිරිස් මාස්ටර් හා රූපසිංහ මාස්ටර් පිළිබඳ අපදාන කථා සඳහා වෙන් වෙයි. සාදිරිස් මාස්ටර්ගේ ජීවන චරිතය හා චර්යාව මෙන් ම ගායකයකු ලෙස ඔහුගේ කුසලතාව හා අනන්‍යතාව ද කතුවරයා මෙහි ලා විවරණය කොට තිබේ.   


ඇම්. ජී. පෙරේරාගෙන් සංගීතය උගත් දීප්තිමත් ම ශිෂ්‍යයා වූ සාදිරිස් මාස්ටර් ගායනයෙහි හා වාදනයෙහි ප්‍රවීණයකු බවට පත් ව නාට්‍ය ක්ෂේත්‍රයෙහි කාර්යබහුල සංගීතඥයකු බවට පත් වූ ආකාරයත් මෙරට සංගීතඥයන්ට අභියෝග කළ ආනන්ද්බායි වැනි භාරතීය කලාකාරියක පරදවා ඇගේ ගෞරවාදරයට පාත්‍ර වූ ආකාරයත් මෙහි ලා ප්‍රකාශිත ය.   


සාදිරිස් මාස්ටර් එවක තිරගත වූ නිහඬ චිත්‍රපටවලට ද සජීව ලෙස සංගීතය සැපයුවේ ය.එච්.එම්.වී. හා කොලම්බියා ග්‍රැමෆෝන් තැටිවලට ගීත ගායනා කළේ ය. ඔහු සරල ගී ගායකයකු නොව ශාස්ත්‍රීය ගායකයකු වූ ආකාරය ද කතුවරයා පෙන්වා දී තිබේ. සාදිරිස් මාස්ටර් විවාහ දෙකකින් ලද දරුවන් පස්දෙනකුගේ පියාණ කෙනෙකි. ඒ දරුවෝ ද විවිධ පරිමාණවලින් සංගීතඥයෝ වූහ. ඒ අතරින් විශිෂ්ටතමයා වූයේ ෂෙල්ටන් ප්‍රේමරත්න ය.   
උත්තර භාරතයේ සිට ලංකාවට පැමිණි භාරතීය සංගීතඥයන්ට ප්‍රමුඛස්ථානය හිමි ව තිබූ එසමය දේශීය සංගීතඥයන්ට ‘මාස්ටර්’ ලා විය හැකි කාලයක් නොවූ බව මහාචාර්ය ආරියරත්න ප්‍රකාශ කරයි. සාදිරිස් මාස්ටර් මෙන් ම රූපසිංහ මාස්ටර් ද ‘මාස්ටර්’ යන අභිධානය ලැබූයේ ඔවුන් සතු වූ සංගීත කෞශල්‍යය ද ගුරු භූමිකාව ද හේතු කොටගෙන ය.   
රූපසිංහ මාස්ටර් ගැටවර වියෙහි දී මාතර සිට කොළඹ පැමිණ සංගීතය උගත්තෙකි. එවක ප්‍රචලිත නුර්ති සංගීතයට ආසක්ත වූ හෙතෙම ලංකාවට පැමිණි භාරතීය වාද්‍ය ශිල්පීන් ඇසුරේ තබ්ලා හා සර්පිනා වාදනය ප්‍රගුණ කළේ ය. ටවර්හෝල් වාදක මණ්ඩලයට එක් ව එවක වේදිකාගත වූ නාට්‍යවලට සංගීතය සම්පාදනය කළේ ය. එච්. එම්. වී. ලේබලයේ ග්‍රැමෆෝන් ගීත දෙසීයක් නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව රූපසිංහ මාස්ටර් වෙත හිමිවීම හා එහි සංගීත අධ්‍යක්ෂවරයා බවට පත්වීම සංගීතඥයකු ලෙස ඔහුගේ ස්ථාවරත්වය සලකුණු කළ සංසිද්ධියකි.   
නිෂ්පාදකයන් විසින් සපයනු ලබන හින්දි, දෙමළ හා වංග තනු අතරින් සිංහල ගීත සඳහා උචිත තනු තෝරා ගැනීම හා ඒවාට සිංහල ගීත රචනා කරවා ගැනීම, හඬ පරීක්ෂණ පවත්වා අලුත් ගායක ගායිකාවන් තෝරා ගැනීම හා ගීත තැටිගත කිරීමට ශිල්පීන් පුහුණු කිරීම ඇතුළු කාර්ය රූපසිංහ මාස්ටර් අතින් ඉටු විය. රුක්මණී දේවී නමැති අද්විතීය ගායිකාව බිහිවන්නේ රූපසිංහ මාස්ටර්ගේ ගීත නිෂ්පාදන කාර්යයෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.   
මේ සියලු ඓතිහාසික තතු සමග තබ්ලා වාදනය ඇතුළු වාද්‍ය සංගීතයෙහි ද ගායනයෙහි ද විශිෂ්ටත්වය අත්පත් කරගත් රූපසිංහ මාස්ටර් ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් රැසක් ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන් ආචාර්යවරයකු ලෙස ද ඔහුගේ කාර්ය සාධනය මහාචාර්ය ආරියරත්න මෙම අපදාන කථාවෙහි ලා මැනවින් සංග්‍රහ කොට තිබේ.   


‘ගාන්ධර්ව අපදාන’ ග්‍රන්ථාවලියෙහි තවත් ග්‍රන්ථයක් කතුවරයා වෙන් කරන්නේ ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යයන ක්‍ෂේත්‍රයට සුවිශේෂ සේවාවක් ඉෂ්ට කළ සංගීතඥයන් දෙදෙනකුගේ අපදාන කථා වෙනුවෙනි. සිංහල සංගීත ග්‍රන්ථකරණයෙහි පුරෝගාමියා වන ඇම්. ජී. පෙරේරා සහ ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යයනයෙහි පිතෘවරයා වන ලයනල් එදිරිසිංහ ඒ දෙදෙනා ය.   
පියාගේ ඇවෑමෙන් තමා වෙත පැවරුණු විදුලි ආලෝකකරණ උපකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඇම්. ජී. පෙරේරා සංගීතයට යොමුවන්නේ නුර්ති සංගීතය හා නුර්ති නාටක ගීත ඔස්සේ ය. ඔහු සංගීතය පළමුකොට හදාරන්නේ ජේ. ජෝර්ජ් පෙරේරාගෙනි. අනතුරු ව, උත්තර භාරතයේ හා දක්ෂිණ භාරතයේ සංගීතඥයන් දෙදෙනෙකුගෙනි. ඇම්. ජී. පෙරේරාගේ විශේෂත්වය පිළිබිඹු වන්නේ ඔහු සංගීත අධ්‍යයනයට සමකාලික ව පෘථුල ලෙස ග්‍රන්ථකරණයට එළඹීම නිසා ය.   


1912 දී රචිත‘ගීත ශික්ෂක’නමැති කෘතියෙහි සිට සංගීතය ඉගැන්වීම සඳහා ග්‍රන්ථ එකොළහක් ඔහු විසින් රචනා කරන ලදී. එමෙන් ම, සී. දොන් බස්තියන්ගේ නාට්‍යවලට වයලීන වාදනයෙන් දායක වූ හෙතෙම නාට්‍ය පරිවර්තන කාර්යයෙහි ද නියුක්ත වූයේ ය. ඇම්. ජී. පෙරේරා පිළිබඳ පාඨකයා නොදත් ඓතිහාසික තතු සමූහයක් මෙසේ වාර්තා කරමින් මහාචාර්ය ආරියරත්න ඔහුගේ කාර්ය සාධනය ඓතිහාසික ව ස්ථානගත කරයි. සංගීතය පිළිබඳ ප්‍රථම ශාස්ත්‍රීය ලිපිය රචනා කිරීම, ප්‍රථම ශාස්ත්‍රීය විවාදය ඇතිකිරීම ආදී විශේෂතා සමග ශාස්ත්‍රීය සංගීතය මැනවින් උගත් ගෝල පරපුරක් බිහිකිරීම ද අප ලේඛකයාගේ එකී අර්ඝනය තුළ අන්තර්ගත ය.   
ඇම්. ජී. පෙරේරා අපදාන කථාව තුළ ඇතැම් ඓතිහාසික සංසිද්ධීන් පාඨකයාගේ රසාවේශය කුළුගන්වයි. දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හා සිරිමාවෝ රත්වත්ත දෙපළගේ අභිමානවත් ප්‍රභූ විවාහ මංගල්‍යයෙහි දී දහහතර දෙනෙකුගෙන් සමන්විත දේශීය වාද්‍ය වෘන්දය මෙහෙයවමින් විවිධ රාග වාදනය කිරීම ඇම්. ජී. පෙරේරා අතින් ඉටුවීම පිළිබඳ අවස්ථාව ඊට උදාහරණයකි.   
මෙම ග්‍රන්ථයෙහි අපරාර්ධය ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යාපනයේ මහා පුරුෂයාණන්ගේ අපදාන කථාව සඳහා වෙන් ව තිබේ. අප ලේඛකයා වාර්තා කරන පරිදි දකුණුලක ප්‍රභූ පවුලක උපන් ලයනල් එදිරිසිංහ සිය දාරක සමයෙහි ම සංගීතයට ඇල්ම වඩාගන්නේ මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් ප්‍රථමවරට ලංකාවට පැමිණීමේ සිද්ධිය සමග ය. එයින් එකොළොස් වසරකට පසුව සංගීතය ඉගෙනීම සඳහා භාරතයේ ශාන්ති නිකේතනයට ගිය ලයනල් එදිරිසිංහ ශාන්තිනිකේනයෙහිත්, ඉනික්බිති ව ලක්නව් හි භාත්ඛණ්ඬේ ආයතනයෙහිත් සංගීතය හදාළේ ය.   


දශවර්ෂාධික සිය භාරතීය ජීවිතය තුළ භාරතයේ සම්භාවනීය සංගීත ආචාර්යවරුන් වෙතින් ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමේ දුර්ලභ වරම ඔහුට හිමිවිණ. ශාන්ති නිකේතනයෙහිත් භාත්ඛණ්ඬේ සංගීත විද්‍යා පීඨයෙහිත් සංගීතය ඉගැන්වීමේ අවස්ථා ඔහුට ප්‍රදානය කෙරුණ ද ඒවා නොපිළිගෙන ලංකාවට පැමිණ මෙරට සංගීත අධ්‍යාපනය නංවාලීමෙහි ලා ලයනල් එදිරිසිංහ ප්‍රෝත්සාහී වූයේ ය.   


මහාචාර්ය ආරියරත්න පෙන්වාදෙන පරිදි ලයනල් එදිරිසිංහ සිංහල සංගීත ඉතිහාසයෙහි ශ්‍රේෂ්ඨත්වය අත්පත් කරගන්නේ මෙරට විධිමත් සංගීත අධ්‍යාපන ක්‍රියාවලියක් ස්ථාපිත කොට එය පවත්වා ගැනීම, ශිල්පීය ඥානයෙන් පිරිපුන් සංගීත ආචාර්යවරුන් හා ශිල්පීන් බිහිකිරීම, සංගීත රසඥතාව ඉහළ තලයකට ඔසවා තැබීම යන කාරණා නිසා ය. ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය සංගීතයේත් නිර්මාණාත්මක සංගීතයේත් පදනම සකස් වූයේ ලයනල් එදිරිසිංහ විසින් උද්දේශිත මාර්ගය ඔස්සේ ගමන් ගත් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව ම බව කතුවරයා අදාළ නාමලේඛන සමග තහවුරු කරයි.   


ලයනල් එදිරිසිංහ අපදානය රසපූර්ණ ජීවන තතුවලින් සමන්විත වූවකි. ශාන්ති නිකේතනයෙහි ශස්ත්‍ර හදාරන අවධියේ දී ඔහු සමග එක ම පන්තියේ උගත් ඉන්දිරා නේරු පසු කලෙක ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය යි. ඇය හා එදිරිසිංහයන් අතර ප්‍රේමයක් පැවතිණැයි පැවසේ. එමෙන් ම, ශාන්ති නිකේතනයේ දී ඔහු සිය ථාම බලයෙන් පෑ වීරක්‍රියා නිසා එහි සිසුන්ට බොක්සිං උගන්වන්ට ඔහුට සිදු වී තිබේ. භාත්ඛණ්ඬේ ආයතනයේ දී ශාස්ත්‍ර හදාරද්දී ස්වකීය සංගීත චාතූර්යය නිසා දුර්ලභ ගෞරව බහුමාන ඔහුට ප්‍රදානය කොට තිබේ.   


මතු සම්බන්ධයි...

 

මහාචාර්ය සමන්ත හේරත් විසිනි

 



අදහස් (0)

ලක්දිව සංගීතය බැබළවූ ගාන්ධර්වයෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5238 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site