මළ මිනිසුන් සමග නොමළ කතා

 

 

 

මහනුවර ගලහ මංසන්ධියේ මෝටර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ රියැදුරු සමග තවත් අයකු ගමන් කරමින් තිබූ අතර වෑන් රථයේ ද රියැදුරු සමග තවත් එක් පුද්ගලයකු ගමන් කර තිබිණ. අනතුර සිදුවනවිට වෙලාව අලුයම දෙකට පමණ වන්නට ඇත. ඒ අවස්ථාවේ පාරේ ගමන් කරමින් තිබූ ලොරි රථයක රියැදුරු හා සහායක එක්ව අසල්වැසියන් කිහිපදෙනකුගේ ද සහාය ඇතිව තුවාලකරුවන් රෝහල්ගත කළහ. 


රෝහල්ගත කර සුළු වේලාවකින් මෝටර් රථයේ පැමිණි එක් පුද්ගලයෙක් මරණයට පත්විය. ඔහු වාහනය පැදවූ රියැදුරු බව ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබිණ. 


තුවාලකරුවන් සිව්දෙනාගේම රුධිර පරීක්ෂාවේදී මෝටර් රථයේ පැමිණි දෙදෙනාගේම රුධිරයේ අධික ලෙස ඇල්කොහොල් තිබූ බව තහවුරු විය. රියැදුරු ලෙස හඳුන්වා දුන් මියගිය අසංකගේ රුධිරයේ මිලිලීටර් සියයක ඇල්කොහොල් මිලිග්‍රෑම් 154ක් අඩංගු විය. ඒ වාහනයේම ගමන් ගත් ජගත්ගේ රුධිරයේ මිලිලීටර් සියයක ඇල්කොහොල් මිලිග්‍රෑම් 182ක් අඩංගු විය. සාමාන්‍යයෙන් පුද්ගලයකු වෙරි මත් වූ බව සැලැකෙන්නේ රුධිරයේ මිලිලීටර් සියයක ඇල්කොහොල් මිලිග්‍රෑම් 80කට වඩා අඩංගු විටදීය. ඒ අනුව මෝටර් රථයේ ගමන් කළ දෙදෙනාම බීමත්ව සිටි බවට නිගමනය කරනු ලැබිණ. 


මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබිණ. එහිදී සුපුරුදු පරිදි අධිකරණ වෛද්‍යවරයා සිරුරේ මතුපිට තුවාල මුලින්ම පරීක්ෂා කළේය. ඔහුගේ තුවාල ගොඩක් තිබුණේ නැත. මතුපිටින් තිබුණේ එක් සීරීම් තුවාලයක් පමණි. ඒ වම් උරහිසේ ඉහළ සිට පහළට එක් සමාන පටියක් ආකාරයෙන් වූ සීරීම් තුවාලයකි. සම යම්කිසි රළ පෘෂ්ඨයක ඇතිල්ලී ඇදී යාමෙන් සිදුවන්නේ හම ගැලවී යාමය. එහෙත් මතුපිට සම මැරී යාමෙන් පෙන්නුම් කරන්නේ සමට යමක් තද වීමෙන් වූ තුවාලයක් බවය. මිය ගිය පුද්ගලයාගේ ද මේ කියන ලද ස්ථානයේ වූයේ අඟල් දෙක හමාරක් පමණ පළල අඟල් විස්සක් පමණ පහළට ගමන් කළ මතුපිට සම දුඹුරු පාට වී මිය ගිය බව පෙන්වන සීරුම් තුවාලයකි. ඒ අනුව මෙය සමට යමක් තද වීමෙන් වූ තුවාලයක් බව පැහැදිලි විය. 


මෙවැනි තුවාලයක් ඇතිවීමට තද විය හැක්කේ කුමක් ද? මෝටර් රථයක මේ ආකාරයට තද විය හැකි දෙයක් නැති බව අධිකරණ වෛද්‍යවරයා අත්දැකීමෙන්ම දැන සිටියේය. එලෙස තද වීමට හැකියාව ඇති මෝටර් රථයක තිබෙන එකම අංගය නම් ආසන පටිය බව වෛද්‍යවරයා දැන සිටියේය. එසේ නම් මෙය අනතුර සිදුවන අවස්ථාවේ ඉදිරියට තල්ලු වී පැමිණීමේදී ආසන පටියට තදවීමෙන් ඇති වූ තුවාලයක් බවට සැකයක් නැත. 


එහෙත් ඔහු මිය යාමට හේතුව කුමක් ද? එය දැනගත හැක්කේ සිරුර කපා පරීක්ෂා කිරීමෙන් පමණි. ඒ අනුව සිරුර කපා පරීක්ෂා කරන ලද අතර උදරයේ වූ කිසිම ඉන්ද්‍රියකට හානි පැමිණ තිබුණේ නැත. සිරුර මතුපිටින් පරීක්ෂා කරන විට ද ගෙල කඩා වැටුණ ස්වභාවයක් දක්නට වූයෙන් ගෙල පෙදෙසින් සිරුර කපා පරීක්ෂා කරනු ලැබිණ. එහිදී දැකගත හැකි වූයේ බෙල්ලේ කොඳු ඇට පෙළ දෙකටම කැඩී වෙන්ව ඇති බවය. මේ නිසා සුෂුම්නාව ද කැඩී ගොස් තිබිණ. ඔහු ගමන් ගත් රථයේ ඔහු අසුන් ගෙන සිටි ආසනයේ හිස හේත්තු වීමට තිබෙන කොටස (Head Dress) තිබුණේ නම් මෙලෙස කොඳු ඇට පෙළ කැඩී යා නොහැකි බව ද වෛද්‍යවරයාගේ අදහස විය. සියල්ල අනුව ඔහුගේ මරණයට හේතුව සුෂුම්නාවට සිදුවූ බරපතළ හානිය බව නිගමනය කරනු ලැබිණ. 


අනතුරුව තුවාලකරු සම්බන්ධයෙන් ද අධිකරණ වෛද්‍යවරයා පරීක්ෂා කළේය. ඔහුගේ ද මතුපිට තුවාල කිසිවක් නොවූ අතර තිබුණේ එක් සීරුම් තුවාලයක් පමණකි. එය ඔහුගේ දකුණු උරහිසේ සිට පපුව දිගේ පහළට ගොස් වම් පැත්තට ගමන් කර තිබූ අතර එය ද අඟල් විසි දෙකක පමණ දිගින් යුත් අඟල් දෙකහමාරක් පමණ පළලැති සම තදවීමෙන් වූ සීරුම් තුවාලයකි. 


එම සීරුම් තුවාල අනුව රියැදුරු කවුද යන්න අධිකරණ වෛද්‍යවරයාට නිශ්චිතවම නිගමනය කළ හැකි විය. සාමාන්‍යයෙන් ආසන පටි පලඳින විටදී රියැදුරුගේ ආසන පටිය ගමන් කරන්නේ දකුණු උරහිසේ සිට පපුව හරහා උදරයේ වම් පැත්තටය. රියැදුරු අසුනට යාබද අසුනේ ගමන් කරන අයකුගේ නම් ආසන පටිය ගමන් කරන්නේ වම් උරහිසේ සිට පපුව හරහා උදරයේ දකුණු පැත්තටය. 


අධිකරණ වෛද්‍යවරයා නැවතත් අනතුරට පත් වාහනය පරීක්ෂා කර බැලුවේය. එහි වායු බැලුනය පුපුරා ගොස් තිබිණ. අනතුරට පත්වූවන්ට බාහිර වෙනත් තුවාල ඇති නොවූයේ රථයේ වායු බැලුනය නිසි පරිදි ක්‍රියාත්මක වූ නිසා බව එයින් පැහැදිලි විය. රියැදුරු අසුනේ හා යාබද අසුනේ ආසන පටි සුපුරුදු පරිදිම විය. රියැදුරු අසුනට යාබද අසුනේ හිස තබන කොටස ගලවා ඉවත් කර තිබූ බව ද දක්නට ලැබිණ. 


මිය ගිය අසංකගේ සීරීම් තුවාලය තිබුණේ වම් උරහිසේ සිට උදරයේ දකුණු පැත්තට වන්නට බැවින් ඔහු ගමන් කර තිබුණේ රියැදුරු අසුනේ නොව ඊට යාබද අසුනේ බව පැහැදිලිවම නිගමනය කළ හැකි විය. එසේම ඔහුගේ ගෙල පෙදෙසෙහි වූ කොඳු ඇට පෙළ දෙකට කැඩී යාමෙන් හා මෝටර් රථයේ රියැදුරු අසුනට යාබද අසුනේ හිස තැබීමට වූ කොටස ඉවත් කර තැබීම යන කාරණාවලින් ද පැහැදිලි වූයේ මිය ගිය අසංක වාහනයේ රියැදුරු නොව එහි ගමන් කළ අයකු පමණක් බවය. 


එසේම යාබද අසුනේ ගමන් කළ බව කියන තුවාලකරු වූ ජගත්ගේ තුවාලය රියැදුරු අසුනේ ගමන් කළ අයකුගේ තුවාලයකට සම වූයෙන් ඔහු රියැදුරු අසුනේ ගමන් කළ අය බවට නිගමනය කළේය. ඒ අනුව ජගත් පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ බීමත්ව රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය හා එමගින් එක් පුද්ගලයෙක් මරණයට පත්කිරීම හා තවත් පිරිසකට තුවාල සිදුකිරීම හා සත්‍ය තොරතුරු වසන් කිරීම යන චෝදනා යටතේය. 


(මෙහි එන නම් ගම් මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.) 


හලාවත මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලද්දේ 

 


මුදිතා දයානන්ද