IMG-LOGO

2024 මැයි මස 28 වන අඟහරුවාදා


මගහැරුණු ‘අභිෂේක’ සමග හමු වූ රීටා රත්නායක

 

1981  අග හරියේදී එච්.ඩී. ප්‍රේමරත්න ‘අභිෂේක’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් විය.   


එහි ප්‍රධාන නළු චරිතය රඟපාන්නට තෝරාගෙන සිටියේ, අමරසිරි කලංසූරිය ය. එය ගොළු පෙම්වතකුගේ චරිතයකි. චිත්‍රපටයේ කිසිදු තැනක කලංට දෙබස් නැත.  


මේ සඳහා ප්‍රධාන නිළිය චරිතයට තෝරා ගත්තේ නවක නිළියකි. එකල ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි අවන්ති අපොන්සු ද චිත්‍රපටයට තෝරා ගැනිණි. ඒ, ප්‍රධාන නිළියගේ යෙහෙළියගේ චරිතයටය.  


සෙසු චරිත සඳහා රූබි ද මැල්, රෙක්ස් කොඩිප්පිලි, සෝමසිරි දෙහිපිටිය, රීටා රත්නායක  ගාමිණී සමරකෝන් මෙන්ම නවනන්දන විජේසිංහ ද තෝරා ගැනිණි.  


රූපගත කිරීම් සඳහා තෝරා ගත්තේ නුවරඑළියයි. කැමරා අධ්‍යක්ෂණය ලලිත් ගුණවර්ධනගෙනි. මෙය වර්ණ චිත්‍රපටයක් නිසා ලලිත් ඒ සඳහා මහත් උනන්දුවකින් දායක විය.  
එකල වර්ණ චිත්‍රපට නිෂ්පාදනය කෙරුණේ ඉඳහිටය. ඒ, වියදම් අධික බැවිනි. රීටා රත්නායක නමැති ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය මට දැන හැඳිනගන්නට ලැබෙන්නේ, ‘අභිෂේක’ චිත්‍රපටය නිසාය.  
‘අභිෂේක’ චිත්‍රපටයට සම්බන්ධව වැඩ කිරීම නිසා රූගත කිරීම් සඳහා නළු නිළියන්ගෙන් කිහිප දෙනකු නුවරඑළියට කැඳවාගෙන යෑම භාර වුණේ මටය.  


රූගත කිරීමේ කණ්ඩායමෙන් පිරිසක් කලින්ම නුවරඑළියට ගොස් තිබුණු අතර, මට භාර වුණේ රීටා රත්නායක, රූබි ද මෙල්, නවනන්දන විජේසිංහ හා කලංසූරිය ගෙන ඒමය.  
දහවල් කාලයේ කොළඹින් ගමන පටන්ගත් අතර, රූබි, රීටා හා නවනන්දන එකතු කරගන්නා විට හැන්දෑවේ හය පමණ විය. අන්තිමට ගන්නට සිටියේ කලංය. එකල ඔහු පදිංචිව සිටියේ ගෙලිඔය (ගම්පොළට මෙහා) නිසා යන ගමන්ම ඔහු ගතහැකි විය. ගමන අතරදී රීටාත්, රූබිත් කොළඹින් පටන්ගත් කතාව දිගටම ඇදී යන්නට විය. නවේත්, මාත් වෑන් රථයේ පසුපස අසුනේ සිටි අතර, කලං ද ඒ අසුනටම නංවා ගැනීම අපේ අදහස විය.  


වාහනයේ රියැදුරුගෙන් ඉන්ධන ගැන මා කිහිප වරක්ම විමසූ විට ඔහු කීවේ, “ප්‍රශ්නයක් නෑ” කියාය.  
ගෙලිඔයට යන විට රාත්‍රී නවය පමණ විය. රාත්‍රී ආහාර ගැනීමට කලංව ද සහභාගි කරගැනීමට බලාපොරොත්තු වීම නිසා නවය හමාර පමණ වන තුරුම රාත්‍රී ආහාර නොවීය. කලංව ද රැගෙන ආහාර ගැනීමට යන විට හෝටල් වහලාය. රීටා, රූබි, නවනන්දන ඇතුළු හැමෝගෙම අදහස වූයේ, රෑ කෑමට ෂොට්ඊට්ස් වඩා යෝග්‍ය බවය. ගම්පොළ ආපනශාලාවකින් වාහනයටම ෂෝට්ඊට්ස් හා තේ ගෙන්වාගෙන කා බී ගමන ආරම්භ කර අප කන්ද මුදුනට කිට්ටු වනවිට රෑ දෙක පමණ විය.  
දැන් හතර වටින්ම ඇත්තේ මීදුමෙන් පිරුණ තේ වතුය. පාර හොඳටෝම පාළුය. රෑ දෙක වුව ද රීටාත්, රූබිත් කතාව නතර නොකළහ.  


රියැදුරු හිටි ගමන්ම මගේ මූණ බලා කීවේ, වාහනයේ ඉන්ධන මදි බවය. කලංගෙන් ඒ ගැන ඇසූ විට කීවේ, යළි ඉන්ධන පිරවුම්හලක් හමුවන්නේ නුවරඑළියේදී බවය. දැන් කුමක් කරන්න ද?  
අප හෙමිහිට රියැදුරුට දොස් පැවැරුව ද රීටාටත්, රූබිටත් මේ ගැන දැනෙන්නට ඉඩ නොහැරියෙමු. ඔවුන් සුපුරුදු පරිදි කතාවේය.  


“වාහනය නැවතුණොත් මොකද කරන්නේ?” තිබුණේ එකම පිළියමකි. ඇන්ජිම පණගන්වා කන්ද ඇද, පල්ලම නියුට්‍රල් එකේ බැස්ස වීමය. ඉන්ධන පිරිමසා ගැනීමේ වෙන මාර්ගයක් නැත. පසුව ගැහි ගැහී සීතලේම උදේ පාන්දර පහට පමණ අප නුවරඑළියට ආවේ ඒ අයුරිනි. රීටාටත්, රූබිටත් මේ ගැන කිසි දින දැනගන්නට නොලැබිණ.

  
රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස ​සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ.  


රීටාට ‘අභිෂේක’ චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය.  
රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය.  
1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාත​ලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය.  
ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය ‘දස්කොන්’ නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.  


ඇයට එයට අවස්ථාව පෑදුණේ වාර්ෂික මඩු වන්දනාවේ ගොස් සිටි අවස්ථාවකය. ඇගේ අනාගතය තීරණය කළේ එම මඩු වන්දනාවේදී එඩී, රුක්මනී හා බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න හමුවීමයි. ඇයට ‘කැලෑ හඳේ’ ඩේසි අන්තනායක චරිතය රඟපාන්නට ලැබුණේ ඒ හමුවේ ප්‍රතිඵලයක් ලෙසය. ඇය එහිදී ඔවුනට කීවේ, තමා නිළියක වීමට දැඩි ආශාවකින් සිටින බවය. ඇයට එවිට වයස අවුරුදු 16ක් පමණය.  
බී.ඒ.ඩබ්ලිව්.ට ද කතුවර ඩබ්ලිව්.ඒ. සිල්වා සමග ‘කැලෑ හඳ’ චිත්‍රපටයට නගන්නට ලේසි නොවීය. ඔහුගේ මූලික ඉල්ලීම වූයේ ‘කැලෑ හඳ’ කතාවට හානියක් නොවිය යුතු බවය.  
එළිමහන් දර්ශන කතුවරයාගේ ඉල්ලීම අනුව ලංකාවේ රූගත කළ යුතු වූ අතර, ඇතුළත දර්ශන ඉන්දියාවේදී රූගත කෙරිණ. මේ හැම අවස්ථාවකටම කතුවර සිල්වා සහභාගි වූයේය.  
‘කැලෑ හඳ’ තිරගත වෙද්දී ‘සිනමාස්‍්’ සමාගම නිෂ්පාදනය කළ ‘සුජාතා’ චිත්‍රපටය ද තිරගත විය.  
‘බාරි බෙහෙන්’ යන හින්දි චිත්‍රපටය අනුව සිංහලෙන් නිපදවන ලද ‘සුජාතා’ චිත්‍රපටයේ ගීත ගැයීම සඳහා දකුණු ඉන්දීය ජනප්‍රිය ගායක ගායිකාවන් ද යොදාගෙන තිබිණ. විශාල ප්‍රචාරක අනුග්‍රහයක් ලබමින් මේ චිත්‍රපට දෙකම තිරගත වීම නිසා සිනමාශාලා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යන්නට විය.  
‘සුජාතා’ චිත්‍රපටයේ දොස්තර නිහාල්ගේ චරිතයෙන් එක රැයෙන් ජනප්‍රිය වූ ග්‍රේට් ජයන්ත ‘සිනමාවේ ප්‍රථම ආදරවන්තයා’ ලෙස ජයකෙළි නැගූ අතර, රීටා රත්නායකට ද කැලෑ හඳෙන් පසුව පෙම්වතිය ලෙස ප්‍රධාන චරිත රඟපාන්නට ලැබිණ.  


එම චිත්‍රපට අතර රීටාට ප්‍රේම් ජයන්ත සමග ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබීම ඇගේ ජනප්‍රියත්වයට බොහෝ සේ ඉවහල් විය.  
රීටා චිත්‍රපට ගණනාවකම රඟපාන්නට අවස්ථාව ලැබූ අතර, ඇය චිත්‍රපට කතානායිකාවක ලෙස ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවාය. ඇයට විශාල රසික පිරිසක් වූහ.  


‘වරද කාගෙද’ චිත්‍රපටයේ රීටා, ප්‍රේම් ජයන්ත සහ ලැඩී රණසිංහ සමග රඟපෑවාය. ‘දේව්දාස්’ කතාව ඇසුරෙන් නිෂ්පාදනය කළ ‘රම්‍යලතා’ චිත්‍රපට​යේ ද ඇය පෙම්වතිය වූවාය. එම චරිතයේ නම ‘ප්‍රභාවතී’ය.  
‘ප්‍රභාවතී’ හඳුන්වා දෙන්නට හැකි හොඳම නිදර්ශනය වන්නේ, අලුත්ම ‘දේව්දාස්’ චිත්‍රපටයේ අයිශ්චර්යා රායි රඟපෑ චරිතය ඇය රඟපෑ බවය. බෙංගාලි ජාතික සාරත්චන්ද්‍රා චැටර්ජිගේ ‘දේව්දාස්’ කතාව ඇතුළත් ඉන්දියානු චිත්‍රපට 12ක් (නිහඬ චිත්‍රපටයක් ද ඇතුළුව) පමණ වෙතැයි කියැවෙයි.  
‘දලු ලා ප්‍රේම ගඟේ පොඩි අතු රිකිලි නැගේ’ ගීතයට ඇය ප්‍රේම් ජයන්ත සමග රඟපෑවේ ‘වරද කාගෙද’ චිත්‍රපටයේය. ආනන්ද වීරකෝන් සමග ගී ගයමින් ඇය රඟපෑවේ ‘සුකුමලී’ චිත්‍රපටයේය. අරුණ ශාන්ති හා හර්බි සෙනෙවිරත්න සමඟ ද ඇය පෙම්වතිය ලෙස රඟපෑවාය.  


‘රේඛාව’ චිත්‍රපටයට ආනන්ද වීරකෝන් සමග රඟපාන්නට ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් තෝරා ගැනීමට අදහසක් තිබුණ ද ‘රදළ පිළිරුව’ චිත්‍රපටයේ රූගත කිරීම් නිසා ඇයට ඒ සඳහා සහභාගි වන්නට නොහැකි විය. මෙහිදී සිහිපත් වන්නේ, ලෙස්ටර් ‘ගම්පෙරළිය’ චිත්‍රපයට අධ්‍යක්ෂණය කරද්දී එහි රඟපාන්නට ආනන්ද වීරකෝන්ට ද ඇරැයුම් කළ ද ඔහු එකල සිටියේ එංගලන්තයේය. හරිහැටි ගෙවීමක් ද නොමැතිව අවුරුදු ගණන් චිත්‍රපට රූගත කිරීම් සඳහා ඉන්දියාවේ කාලය නාස්ති කිරීම නිසා ආනන්දට එකල චිත්‍රපට එපා වී තිබුණ බව ඔහු වරෙක පැවැසීය. ඔහු සිනමාව අමතක කර එංගලන්තයට ගියේ එහෙයිනි.  
ඇතැම් විටෙක රීටා ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑවා නම්, නිළියක ලෙස මීට වඩා වෙනස් ආකාරයකින් කතා කරන්නට හැකි වන්නට තිබිණ. ඇය සමග වඩාත්ම රඟපෑ නළුවා වන්නේ, අශෝක පොන්නම්පෙරුමය. පෙම්වතුන් මෙන්ම වැඩිහිටි චරිතවලදී ද අැය අශෝක සමග රඟපෑවාය.  


සුජාතා අත්තනායක හා ආර්. මුත්තුසාමි ගායනා කරන ‘මධුර යාමේ’ ගීතය සඳහා ‘සිතක මහිම’ චිත්‍රපටයේ රඟපෑවේ රීටා සමග අශෝක පොන්නම්පෙරුමය.රීටා චිත්‍රපට ගණනාවක රඟපාමින් ජනප්‍රියත්වය දිනා ගත්ත ද ඇයට නිසි ඇගයුමක් ලැබුණේ දැයි සැක සහිතය.  
1966 සරසවි සිනමා සම්මාන උළෙලේදී ඇයට ‘සිතක මහිම’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි විය. ඒ හැරුණු විට, 1997 ජනාධිපති සම්මාන උළෙලේදී ඇයට ‘ස්වර්ණ ජයන්ති’ සම්මානය ලැබිණි. 1998 සරසවි සම්මාන උළෙලේදී ඇයට ‘නමස්කාර ගුණ සම්මානය’ පිරිනැමිණි. රීටා 1953 සිට 1988 දක්වා චිත්‍රපට තිස් ගණනක රඟපෑවාය. ඒ අතරින් අපට තවමත් සිහිපත් වන්නේ, ‘කැලෑ හඳේ’ ඩේසි අත්තනායක ලෙස රඟපෑ ප්‍රථම රඟපෑමය. ඇය විවාහ වූයේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු හා ජනප්‍රිය ගීත හා දෙබස් රචකයකු වූ විල්ෆ්‍රඩ් සිල්වා සමගය.   


රීටා රත්නායකගේ සිනමා රංගන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් 1982 පෙබරවාරි 21-26 ඇය රඟපෑ චිත්‍රපට උළෙලක් මරදානේ ටවර් රඟහලේදී පැවැත්විණ. එහිදී ‘සුනීතා’, ‘රම්‍යලතා’, ‘සුන්දර බිරිඳ’, ‘වරද කාගෙද’, ‘සිතක මහිම’ හා ‘අමතක වුණා ද’ යන චිත්‍රපට තිරගත විය. එදා ඇය අප සමඟ පැවැසුවේ ගත වූ වසර 30 මෙන්ම ඉදිරියේදී ද රංගනයට කැපවෙන බවය.  
‘අභිෂේක’ චිත්‍රපටයේ නුවරඑළියේ රූගත කිරීම අතිශයින් දුෂ්කර විය. අපි මුලින්ම නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉවු​රේ දර්ශන කිහිපයක් රූගත කළෙමු.  


දර්ශනය පෙර පුහුණුවීම් කර කැමරාගත කිරීමට සූදානම් වූ විගසම වළාකුළක් පැමිණ හිරු එළිය මකා දමයි. තවත් පැය භාගයක් පමණ බලා සිටින්නට සිදු වෙයි. දර්ශන අතර ආලෝක සම්බන්ධතාව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා කලින් පරිදිම හිරු එළිය පතිත වන තුරු බලා සිටිය යුතු විය.  
කලං එහි ගොළු තරුණයකු ලෙස කළ රංගනය තවමත් මගේ සිත තුළ වරින් වර මතු වෙයි. නුවරඑළියේ වැවේ බෝට්ටු අනතුරකින් බේරාගත් තරුණිය ස්තුති කිරීමට ඔහු හා කතා කරද්දී කලං කිසිවක් කතා නොකර ඉතා අවිහිංසක අසරණ බැල්මක් හෙළයි. එය වචන දහසකින් වුව කියාගන්නට බැරි තරමේ නෙතට කඳුළු නංවන චරිත නිරූපණයකි. ඔහු ගොළු බව හඟවද්දී තරුණියගේ හා ඇගේ යෙහෙළියගේ නෙත් තුළ ද මතු වන්නේ අනුකම්පාවකි.  


රීටා රත්නායකගේ බොහෝ දර්ශන රූපගත කෙරුණේ ළිඳුල ප්‍රදේශයේ වතු බංගලාවක් තුළය. ඇය බොහෝ විටෙක පිටපත රැගෙන දෙබස් පාඩම් කළාය. එහිදී ප්‍රේමරත්න වරෙක කීවේ, “දෙබස් ඒ වෙලාවට අපට කටට හුරු විදිහට හදාගන්න පුළුවන්” කියාය. මුල් යුගයේ බොහෝ චිත්‍රපටවල දෙබස් පිටපතේ හැටියටම කිව යුතු විය. විශේෂයෙන්ම මා අසා ඇති පරිදි ඩබ්ලිව්.එ්. සිල්වා ඔහුගේ දෙබස් වෙනස් කරනවාට කොහෙත්ම කැමැති නොවීය. බොහෝ තිර කතා රචකයන් ද තම දෙබස් වෙනස් කරනවාට අකැමැතිය.  
රීටා දර්ශන තලයේදී ඉතාමත් නිහතමානී රංගන ශිල්පිනියක වූවාය. ඇය අවධානය යොමු කළේ තම දායකත්වය උපරිම අයුරින් ලබාදෙන්නටය. දර්ශන තලයේ සැම දෙනාටම ඇය කුළුපග වූවාය.  
‘අභිශේක’ චිත්‍රපටයේ විශේෂත්වය වූයේ ද නව පරපුර සමඟ පැරැණි පරපුර එක් කිරීමය. රීටා රත්නායක ගැන මෙතරම් කතා කෙරෙන්නේ පැරැණි පරපුරේ තිරයේ පෙම්වතියක ලෙස ජනප්‍රියත්වය ලැබූ රීටා දර්ශන තලයේ විශේෂත්වයක් වූ බැවිනි.  


සීතලේ ගැහෙමින් පට්ටිපොළ දුම්රිය ස්ථානයේ රූගත කළ දර්ශන ද මා සිත තුළ තවමත් නොමැකී පවතී. කොළඹ සිට දුම්රියෙන් පැමිණෙන රීටාත්, ඇගේ සැමියා ලෙස රඟපෑ රෙක්ස් කොඩිප්පිලිත්, දියණිය ලෙස රඟපෑ අවන්ති අපොන්සුත් පිළිගත්තේ රූබි ද මැල්, සෝමසිරි දෙහිපිටිය හෝ දඹුලුගල ඇතුළු පිරිසය. මේ සඳහා කොළඹ සිට පැමිණි දුම්රිය මඳ වේලාවක් රඳවාගෙන නැවත ධාවනය කිරීමට සිදු විය.  
සති එක හමාරටත් වැඩි කාලයක් අප ‘අභිෂේක’ වෙනුවෙන් නුවරඑළියේ රූගත කිරීම් කළ ද බලාපොරොත්තු පරිදි නිම කරගැනීමට නොහැකි වූයේ දේශගුණික ප්‍රශ්න නිසාය. වැඩ කළ කාලයට වඩා අපතේ ගිය කාලය වැඩි විය. මේ නිසා බෝට්ටු අනතුර ඇතුළු බොහෝ දර්ශන පානදුර ප්‍රදේශයේ ගඟේ රූගත කිරීමට සැලසුම් කෙරිණ.  


එහි තිබුණේ එකම එක ගීතයකි. ස්ටැන්ලි පීරිස් සංගීතය සැපැයූ එම ගීතය ගායනා කළේ, මිල්ටන් මල්ලවාරච්චි හා දමයන්ති ජයසූරිය විසිනි. ‘මල් පිරී පුරයේ’ නම් එම මිහිරි ගීතය ලීවේ කවුදැයි මට දැන් හරියටම මතක නැත. එම සිදුවීම්වලට අවුරුදු 40කටත් වඩා ගෙවී ගොස් ඇති බැවිනි. සියල්ල සූදානම් කරගෙන කොළඹ පැමිණ ටික දිනක් යද්දී එකී ප්‍රධාන නිළිය තම නිවෙසේ නොසිටියාය. හදිසි විවාහය නිසාවෙන් ඇය රඟපෑම ප්‍රතික්ෂේප කළ බව පසුව දැනගන්නට ලැබිණ.  


‘අභිෂේක’ එතැනින් නිමා විය. යළි එය රූගත කිරීමේ අදහසක් ද ඇති බවක් නොපෙනිණ. අප සිත් වැළඳගත් රීටා රත්නායක සමඟ චිත්‍රපටයකට යළි දායක වීමේ අවස්ථාවන් ද මට නොලැබිණ. 

 
මෙහිදී වඩාත්ම ශෝකජනක පුවත වන්නේ, අප සමග නුවරඑළියේදී සමීපව කටයුතු කළ සුප්‍රකට රංගන ශිල්පි සෝමසිරි දෙහිපිටියට කොළඹ පැමිණීමෙන් පසු සෙංගමාලය (හෙපටයිටීස්) රෝගය වැළඳීමයි. දින ගණනාවක් රෝගීව මහ රෝහලේ සිටි සෝමේ ඉන් ටික දිනකට පසු අප අතරින් වෙන් වූයේ නොසිතූ අයුරිනි.  
කලින් රූගත කළ චිත්‍රපට දර්ශන තලයකදී සෙංගමාලය රෝගය වැළඳුණ ගෙයකින් ආහාර පාන ගැනීම නිසා සෝමේට රෝගය වැළඳුණ අතර, නුවරඑළියේදී ඒ බව නොදැන නිසි පරිස්සමක් නොවූ නිසා එය උත්සන්න විය. මේ සියලු මතක සටහන් මැද ‘අභිෂේක’ චිත්‍රපටය ද තිරයට නොආ චිත්‍රපට අතරට එක් විය. අද මීට සම්බන්ධ වූ බොහෝ දෙනකු ජීවතුන් අතර නැත. රීටා රත්නායක, රූබි ද මැල්, සෝමසිරි දෙහිපිටිය මෙන්ම එහි අධ්‍යක්‍ෂ එච්.ඩී. ප්‍රේමරත්න ද අප අතරින් වෙන් වූයේ මීට කලකට පෙර දීය. ‘අභිෂේක’ දර්ශන තලයේ ඉතා ප්‍රසන්න චරිතයක් වූ රීටා රත්නායක ඉන් කලකට පසුව 2006 නොවැම්බර් 6 වැනිදා අප හැර ගියාය. එවිට ඇගේ වයස අවුරුදු 72කි.

 

 

රොඩ්නි විදානපතිරණ



අදහස් (0)

මගහැරුණු ‘අභිෂේක’ සමග හමු වූ රීටා රත්නායක

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 11010 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6241 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5998 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5374 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3279 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1746 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 977 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2541 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2173 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site