මග වැරදුනු ජීවිතය යළි යහ මගට

  • ආයෙත් මේ ජරාව කටේ තියන්නෙ නෑ

‘ගණන් ගන්න එපා මචං, ඔය දුක කියන්නේ මොකක්ද කියලාවත් තේරෙන්නේ නැතුව යන බේතක් මම උඹට දෙන්නම්’ කියලා සුගත් මට කුඩු වගයක් දුන්නා. 


‘ඕක ගහලා බලපංකෝ’ එහෙම කියලා සුගත් මට ඒ කුඩු පාවිච්චි කරන හැටිත් කියලා දුන්නා. එදා ඉඳන් මම කුඩුවලට ඇබ්බැහි වුණා. ඒත් සතුට කියලා හොයාගෙන අපි දුවලා තියෙන්නේ මිරිඟුවක් පස්සේ කියලා තේරෙන්නේ දැනුයි. 


ඒ විදිහට තමන් කරපු වැරදි ගැන තමන් ගිය වැරදි පාරවල් ගැන පාපොච්චාරණයක් කරන්නා වගේ අපත් සමඟ තම අත්දැකීම් කතා කළේ හංවැල්ලේ චාමර. චාමර අපිට හම්බ වුණේ වැලිකන්දේ, කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදියි. පොළොන්නරුව පසුකර කිලෝමීටර හතළිහක් පනහක් දුර ගෙවාගෙන වැලිකන්ද, සෝමාවතිය දෙසට ගමන් කරනවිට සෝමාවතිය විහාරස්ථානයට නුදුරින් තමයි අපිට මේ මධ්‍යස්ථානය දැකගන්න පුළුවන් වුණේ. මෙහි මේ වනවිට රැඳවියන් දහසකට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනයට ලක්වෙමින් සිටිති. 


අධිකරණ නියෝග මත මෙහි පැමිණෙන බව කිව්වත් ඇත්තටම ඒ නියෝගය ගන්න ඔවුන්ට බොහෝ අවස්ථාවල මැදිහත්ව තිබෙන්නේ පවුලේ ඥාතියෙකි. තම දරුවා, සහෝදරයා, සැමියා, පියා, එහෙමත් නැත්නම් ළගම ඥාතියෙක් මත්කුඩුවලට ඇබ්බැහි වෙලා නම් එයින් මුදවාගන්නම අමාරු නම් ඔවුහු පොලිසියට දැනුම් දී අත්අඩංගුවට ගැනීමට ඉඩහැර අධිකරණයට ඉදිරිපත් කරවා පුනරුත්ථාපනයට යොමු කරවා ගැනීමට කටයුතු කරති. 
චාමර මෙහි පැමිණ තිබෙන්නේ ද අයියලා දෙන්නාගේ මැදිහත්වීම මත පොලිසියට භාරදීම නිසාය. චාමරගේ එක් වැඩිමහල් සහෝදරයෙක් නාවුක හමුදාවේ ද අනෙක් වැඩිමහල් සහෝදරයා පොලිසියේ ද සේවය කරති. චාමර ද කලක් හොඳට මුදල් ඉපයිය හැකි ක්ෂේත්‍රයක් වන හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව කළ කෙනෙකි. එහෙම කියනකොට කෙනකුට හිතෙන්න පුළුවන් ‘එහෙනම් ඉතිං අහන්න දෙයක් නෑ, එතනදී තමයි ඕක පුරුදු වෙන්න ඇත්තේ’ කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපි චාමරගේ වචනවලින්ම ඒ කතාව අහමු. 


“මම ඉගෙන ගත්තෙ උසස් පෙළ දක්වා විතරයි. ඊට පස්සේ තාත්තා මාව හොටෙල් කෝස් එකකට දැම්මා. එහෙම මාස හයක් ඉගෙන ගෙන මම අවුරුද්දක් විතර මෙහේ හෝටලයක වැඩ කරලා කටාර් ගියා. ඒත් හොටෙල් එකක වැඩට තමයි. එහෙදි හොඳට හම්බ කළා. අවුරුදු දෙකකට පස්සේ ලංකාවට ඇවිත් ඒ වෙනකොට මාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණ මාලිකාව බැන්දා. මාලිකාගේ අම්මා නෑ. තාත්තා විතරයි හිටියේ. එයාගේ නංගියි මල්ලියි ගැනත් මම හොයා බැලුවා. මම මාලිකාගේ ගෙදර එයාලගේ ලොකු අයියා වගේ තමයි හිටියේ. ලංකාවේදී මම කොළඹ තියෙන ප්‍රසිද්ධ හෝටලයක හොඳ තනතුරක වැඩ කළා. මාසෙට හැටදාහක වැටුපක් ලැබුවා. තව දීමනාත් සමඟ මාසෙට ලක්ෂයකට කිට්ටු වෙන්න අපි පඩි ගන්නවා. ඒක අපිට ඕනෑවටත් වඩා වැඩියි වගේ. මොකද ඉන්න ගෙයක් තියෙනවා. අපේ එදිනෙදා වියදම්වලට විතරයි මුදල් අවශ්‍ය වුණේ. ඉතිං අපිට කිසිම දේකින් අඩුවක් තිබුණේ නැහැ. ඒ නිසා මාලිකාලගේ නංගිටයි මල්ලිටයි දෙන්නටත් අඩුවක් වෙන්න මම ඉඩ තිබ්බේ නැහැ. 


ඔහොම අපි සතුටින් කාලය ගත කරද්දි තමයි මාලිකාගේ තාත්තා හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා නැති වුණේ. එතකොට තාත්තට අවුරුදු පනස් පහක් විතර ඇති. ඒක මාලිකාට දරාගන්න බැරි වුණා. මාලිකාට විතරක් නෙවෙයි එයාගේ නංගිටයි මල්ලිටයි දෙන්නටත් මේක දරාගන්න බැහැ. එයාලා සනසන එක මට ලේසි වුණේ නැහැ. මටත් මේක හරිම අමාරු අවස්ථාවක් වුණා. ඇත්තටම ඒ වෙනකොට මමත් මුහුකුරා ගිය කෙනෙක් නෙවෙයිනේ. මගේ වයස අවුරුදු විසිහතරක් ඇති. මම එයාලට නොපෙන්නුවට එයාලා නැති තැන හරිම දුකෙන් හිටියේ. ඒ මාලිකාලා දුක්වෙන එක ගැනයි. 


මරණේ අවසන් කටයුතු දවසේ මාලිකා තාත්තගේ වළට පනින්න හැදුවා. එයාගේ නංගිව මේච්චල් කරන එකත් ලේසි වුණේ නැහැ. කනත්තේ ඉඳලා ගෙදර ආවට පස්සේ මට ඒක ගැන හරිම අප්සෙට්. ආපහු ගෙදර ඇවිත් මම එයා ගැන හිත හිතා දුක් වුණා. එහෙම ඉන්නකොට තමයි සුගත් ඇවිත් මාව එක්ක ගියේ. එයාලගේ ගෙදරට එක්ක ගිහින් මට බොන්න දුන්නා. මම බිව්වේ නැහැ. එහෙනම් මේක ගහලා බලපං කියලා කුඩු වගයක් දුන්නා. එයා මට බලෙන්ම වගේ බොන හැටිත් කියලා දීලා මට කුඩු ඉරෙව්වා. ඊට පස්සේ ආයෙමත් පහුවදා මට ඒවායින් ටිකක් දුන්නා. එහෙම ගියාම මම දන්නෙම නැතිව ඒවාට පුරුදු වුණා.”


ඊට පස්සේ කාගෙන් ද ඒවා ගත්තේ?


 “ඒ යාළුවාගෙන්ම තමයි. එයා මේවා ගමේ විකුණන කෙනෙක්.”


යාළුවා එයාගේ බිස්නස් එකට ඔයා ඉත්තෙක් කරගත්තා?


“එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ ගැන තේරෙන්නේ දැන් තමයි. එයා අපේ ගෙදර ආවම මට දීලා යනවා. එයාව පොලිසියට අහුවෙනවා. එතනින් එයාව ගමේ හෙළිදරව් වෙන නිසා අපේ ගෙදර ආවේ නැහැ. ඒත් අපේ ගෙදර ගේට්ටුව ළඟම තියෙන අඹ ගහ මුල ගලක් යටින් පැකට් එක තියලා යනවා. මම ඒකට තදින්ම ඇබ්බැහි වුණා. දවසට තුන්දාහකින් විතර පටන් ගත්තේ. අන්තිමට දවසට හත් අටදාහක බිව්වා. අන්තිමට මෙහාට එනකොට මම රට ගිහින් හම්බ කරලා පොත්වල දාපු සල්ලියි, හොටෙල් එකේ වැඩ කරලා හම්බ කරපු සල්ලියි, අතට කනට කරට ගත්ත මගෙයි වයිෆ්ගෙයි රත්තරං බඩු සේරමයි උගස් තියලා පර්ස් එකේ ඉතිරි වුණේ ඒවායේ ලක්ෂ පහක හයක රිසිට් ටිකයි යන්න එන්න තිබුණ බයික් එකයි විතරයි.”


ඔයාගේ වයිෆ් මේ ගැන දැනගත්තේ නැද්ද?


“එයා දැන ගත්තේ මාස හය හතක් ගියාට පස්සේ. මම ඉස්සර පඩි ගත්තාම එයාට තමයි ගෙනත් දෙන්නේ ගෙදර වියදම් පාලනය කරලා නංගිටයි මල්ලිටයි අවශ්‍ය දේවලුත් අරන් දෙන්න කියලා. ඊට පස්සේ මම එයා අතට දුන්නේ පඩියෙන් කොටසක් විතරයි. ඒ ගැන එයා ප්‍රශ්න කළාම ණයකට පඩියෙන් කැපෙනවා කියලා බොරුවක් කිව්වා. නිවාඩුවකටවත් මම ගෙදර රැඳෙන්නේ නැති වුණාම එයා මාව සැක කරන්න ගත්තා. මම යන එන තැන් ගැන හොයන්න ගත්තා. මම එයාට අඩුවක් නොකළ නිසා වෙන සම්බන්ධයක් ගැන හිතන්නත් එයාට අප්සෙට්. ඒත් එහෙම නෙවෙයි නම් ඇයි ගෙදර ඉන්නේ නැත්තේ කියලා එයාට හිතෙන්න ඇති. 


ඉතිං එයා මටත් හොරා මා පස්සේ පන්නලා මම කරන දේ ගැන හොයා ගත්තා. ඊට පස්සේ මගේ අම්මට හැමදේම කියලා. අම්මා මගෙන් ඇහුවාම මම සේරම කිව්වා. අම්මා මගෙන් අහද්දී අම්මා මං හදාපු හැටි අඬ අඬ කියද්දි නම් මට මැරෙන්න හිතුණා. එදා මාත් හොඳටම ඇඬුවා. ඊට පස්සේ මම බොන්නේ නෑ කියලා පොරොන්දු වුණා. ඔය වෙනකොට මට රස්සාව එපා වෙලා හිටියේ. අම්මලත් හිතුවේ මම හොටෙල් එකෙන් මේවා පුරුදුවෙලා කියලා. ඒ නිසා මට රස්සාවට යන්න එපා කිව්වා. ගෙදර නැවතිලා වෙන රස්සාවකට යන්න හොයන කාලෙදි ආයෙමත් ගෙදරට හොරා බිව්වා. එතකොට සල්ලි නැති නිසා රත්තරං බඩු උගස් තියලා තමයි කුඩු ගත්තේ.”


රත්තරං බඩු උගස් තියන කොට ගෙදරින් දැනගත්තේ නැද්ද? 


“ඒකත් මාර වැඩේ කියන්නේ වයිෆ්ට ඕවා ඕන වෙන්නේ කොහේ හරි පාටියකට නැත්නම් වෙඩින් එකකට යනකොට විතරයිනේ. අනෙක් වෙලාවට ඕවා ගැන හොයන්නේ නැහැ. දවසක් අපේ ගමේ කෙනෙක්ගේ වෙඩිං එකක් කිව්වා. ඒකට යන්න ලෑස්තිවෙලා බලද්දි එයාගේ රත්තරං මාලේ නැහැ. මම්ම අරන් දීපු තැල්ල ඒක. මම කිව්වේ ගෙදර වියදමට කීයක්වත් නැති නිසා උගස් තිබ්බා කියලා. එයා ඒවා පිළිගත්තේ නැහැ. ඒත් ඒ වෙලාවේ මාත් එක්ක රණ්ඩු කළෙත් නැහැ. මගේ මඟුල් මුද්දත් ඒ වෙනකොට උගස් තියලා. මම දාගෙන හිටියේ ඒ වගේම පෙනුමට හදපු ඉමිටේෂන් මුද්දක්. මාලිකා මගෙන් ඒ ගැන ඇහුවම මම කිව්වේ මේක තමයි මගේ මුද්ද, ඔයාට ඒකවත් මතක නැහැ කියලයි. ඔය විදිහට මම රත්තරං බඩු එකින් එක උගස් තිබ්බා. ඒ ඒවායේ වටිනාකමටවත් නෙවෙයි. පොඩි පොඩි ගණන්වලට. ඒ වෙලාවේ මුදල හොයාගන්න. සෝදිසියෙන් හිටපු මාලිකාට මේවා සේරම අහුවුණා. අන්තිමට අම්මයි අයියලා දෙන්නයි එකතු වෙලා මාව මෙහාට එව්වා.”


ඒ කොහොම ද? 


“අයියට මම කිව්වා පුනරුත්ථාපනයට කැමැතියි කියලා. අයියා පොලිසියට කියලා මාව අත්අඩංගුවට අරන් උසාවි දැම්මා හෙරොයින් ළඟ තබාගැනීමේ වරදට. මාව පුනරුත්ථාපනයට යවන්න පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලුවාම මම ඒකට කැමැතියි කිව්වා. එහෙම තමයි මෙහාට ආවේ.”


දන් මොකද හිතෙන්නේ? 


“මෙතන ගොඩක් හොඳයි. කන්දකාඩු කිව්වාම බයෙන් තමයි ආවේ. පිට තියෙන්නේ බය හිතෙන කතා මේ තැන ගැන. අර පොඩි කාලේ දඟ කරනකොට මග්ගොන මඩමට ගෙනිහිං දානවා කියනවා වගේ තමයි කුඩුකාරයෝ වෙච්ච අපට කන්දකාඩු කිව්වාම. ඒක හිර දඬුවමකටත් එහා ගිය දඬුවමක් කියලයි හිතෙන්නේ. හිරගෙදර කියන්නේ අපට ඕනැ විදිහට කුඩු ලැබෙන, අපට ඕනෑ විදිහට ගෙවල්වලට කතා කරන්න ඉඩ ලැබෙන තැනක්. ඒ නිසා ඒකට අපි බය නැහැ මේ තරම්.”


ඉතිං දැන් මේක හිරගෙටත් එහා ගිය දඬුවමක් වගේ ද? 


“හිතාගෙන හිටිය හැමදේම ආවට පස්සේ වෙනස් වුණා. ඉස්කෝලේ යන කාලෙවත් නොලැබුණ දැනුමක් සමාජය ගැන, මත්ද්‍රව්‍ය ගැන අපේ මිතුරන් ගැන අපිට ලැබුණා. අපි ආපහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා නම් ඒකට බලපාන හේතු ගැන, ඒ ඒ හේතු දැක්වීම්වල තිබෙන බොරුව ගැන අපට හොඳට කියලා දුන්නා. ඇත්තටම අපි සතුට කියලා දුවලා තියෙන්නේ මිරිඟුවක් පස්සේ නේද කියලා දැන් තමයි තේරෙන්නේ.”


දැන් ගෙදර යන්න හිතෙන්නේ නැද්ද? 


“අපොයි ඔව්. මම මෙහාට එනකොට වයිෆ් පළවෙනි දරුවා ලැබෙන්න හිටියේ. දැන් දරුවා ඉපදිලා. දරුවටත් මාස තුනක් වෙනවා. දරුවා බලන්න ආසාවෙන් ඉන්නේ. ඒත් තව මාස හයක් තියෙනවානේ. ආයේ නම් මේ දහජරාව කිට්ටුවටවත් ගන්නේ නෑ කියලා මම අධිෂ්ඨාන කරගත්තා. මට හොඳ බිරිඳක්, දෙමව්පියෝ දෙන්නෙක්, සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඉතිං ඇයි මට වෙනස් වෙන්න බැරි. හිත තමයි හැමදේටම මුල. හිත වැටුණොත් අපිත් වැටෙනවා. එහෙම වෙලාවට අපිව පාගගෙන කුඩු මුදලාලිලා එන්න ගන්නවා. තවත් නම් මගේ ළඟ ඕවාට ඉඩක් නැහැ. මම දැන් තාත්තා කෙනෙක්. වගකීම් වැඩියි. ඒක මම හිතට අරන් තියෙන්නේ.”
කුමන තරාතිරමක, කුමන වෘත්තීය මට්ටමක, කුමන අධ්‍යාපන මට්ටමක සිටියකු වුවත් මෙතැනදී ඒ සියලු දෙනා මතට ඇබ්බැහි වීම නිසා අධිකරණ නියෝගයෙන් වසරක පුනරුත්ථාපන කාලයකට යටත්කොට එවන ලද රැඳවියන් පිරිසකි. ඒ නිසා ඔවුන් සියලු දෙනා මෙහිදී සමානයන්ය. එක සමානව කොණ්ඩය කොටට කපා, රැවුල කොටට කපා, එක සමාන ටීෂර්ට් හැඳ, එක සමාන පුටුවල හිඳ සිටිනා ඔවුන් එකම වරදක් කර එකම ලෙසට පුනරුත්ථාපනයට ලක්වූවන් යන්න හැර මෙහි පරිපාලන නිලධාරීන්ට ඔවුන්ගේ තරාතිරමේ විශේෂත්වයක් නැත. 


පුනරුත්ථාපන රැඳවියන්ගේ දේශන ශාලා වගේම නවාතැන් ගන්නා ශාලා සියල්ල සකස් කර තිබෙන්නේ ටකරන් හෝ වෙනත් එවැනි තහඩු වර්ගයකිනි. වහලයත් බිත්තිත් සියල්ල සකස් වී තිබෙන්නේ එම තහඩුවලනි. වසරේ වැඩිම කාලයක් පෑවිල්ලට හසුවන මෙවැනි දුෂ්කර පරිසරයක තහඩුවලින් අසුරන ලද ශාලාවක මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම යනු එක පැත්තකින් ඔවුන්ට ද තවත් පැත්තකින් ඔවුන් රැකබලා ගන්නා, දේශන පවත්වන පුනරුත්ථාපන කාර්යාංශයේ නිලධාරීන්ට ද දෙන දඬුවමක් වැනිය. මධ්‍යස්ථානයේ පරිපාලන නිලධාරීන්ට ද නවාතැන් ගන්නට, කාර්යාලීය කටයුතු කරන්නට සිදුව තිබෙන්නේ එවැනිම තහඩු අසුරා සැකසූ ශාලාවන්වලය. 


කුඩුවලට ඇබ්බැහි වී සොරකමට මංකොල්ලකෑම්වලට යොමුවී දරදඬු හිත් ඇත්තන් බවට පත්වූ මෙවැනි රැඳවියන් කන්දකාඩුවට එන්නේ පොලිසිය හා දෙමාපියන් ගැන ද තරහෙනි. වෛරයෙනි. එවැනි තත්ත්වයට පත්වූවකුගේ සිත් වඩාත් පහසුවෙන් පහන් කළ හැක්කේ ශාන්ත පරිසරයක් තුළිනි. ඒ නිසා ත්‍රස්වාදීන් පුනරුත්ථාපනයට යොදාගත් මේ ස්ථානයට ඊට හාත්පසින්ම වෙනස් වූ කාරණයක් වන මත්කුඩු ත්‍රස්තවාදයෙන් බේරා ගන්නට සුදුසු ස්ථානයක් නොවන බව එය දුටුවකුට එක්වරම හැඟී යනු ඇත. ඒ නිසා බලධාරීන්ගේ ඇස මෙන්ම මනස ද ඒ වෙත යොමු වන්නේ නම් වඩාත් සාර්ථක පුනරුත්ථාපනයකට මග පෑදෙනු නිසැකය. 

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත එ්වා බව කරුණාවෙන් සලකන්න) 

 


මුදිතා දයානන්ද


ඡායාරූපය - අන්තර්ජාලයෙනි